ඉඳුල්වලට කෑදර අලි මහ පාරේ නටයි බලි… දමයි වලි…

403

වන අලින්ට බය සතුන්ට කෑම දීමට නුහුරු අය බුත්තල – කතරගම මාර්ගයේ ගමන් කරන්න එපා…
වන අලින්ට ආහාර දෙන හිරිහැර කරන පුද්ගලයන් අත්අඩංගුවට…
හබරණ – මින්නේරිය, උඩවලව, බුත්තල – කතරගම මාර්ග පිහිටා ඇත්තේ වන උද්‍යාන මැදින්…
මෙරට ජීවත්වන අලි, ඇතුන් සංඛ්‍යාව පන්දාහට අඩු වෙලා…
වන සතුන් ගැන සංවේදී නගරයේ මිනිසුන්ට වන අලින්ගේ කෲරත්වය පේන්නෙ නෑ…

මිනිසුන්ගේ අනුකම්පාව හමුවේ ඇතැම් වන සතුන් හුරතල් වෙමින් සිටිති. පැණි රසට ගිජු වූ වන අලි කෑම නොදුන් විට පාරේ යන වාහන පවා පෙරළා දමන තත්ත්වයට වල්මත් වී සිටිති. පසුගිය දිනෙක කතරගම, බුත්තල මාර්ගයේදී වන අලියෙක් විසින් ලොරි රථයක් කනපිට පෙරළමින් කෑම සොයන වීඩියෝවක් අන්තර්ජාලයේදී ඇස ගැටිණි. එම මාර්ගයේදීම තවත් දිනෙක වන අලියකු විසින් වන්දනාවේ යන වෑන් රථයක් තුළට හොඬ වැල ඔබාගෙන කෑම සොයන සිද්ධියක් ද වාර්තා විය. එමෙන්ම අක්කරපත්තු, මඩකලපුව මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක රියැදුරු ආසනය අසල ජනෙල් කවුළුවෙන් හොඬවැල දැමූ වන අලියකු කෑම සොයන වීඩියෝවක් ද අපි දුටුවෙමු. ඒ අල්ලපනල්ලේ වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලාගෙන ගෝමරන්කඩවල ගොවීන් වීථි බැස සිටින අයුරු ද රූපවාහිනියෙන් ඇස ගැටිණි. මේ පිළුණු පුවත් නොවේ. පසුගිය දින කිහිපයේදී පමණක් වාර්තා වූ අලි කරදරය.

මේ අලි කරදර අද ඊයේ ආරම්භ වූවක් නොවේ. වසර හතළිහකට ආසන්න කාලයක සිට මෙරට දැවෙන ගැටලුවකි. වනාන්තර, වන උද්‍යාන මායිම් ගම්මානවල මිනිසුන් සමග වන සතුන් ඇති කරගන්නා ආරවුල මේ වන විට මහ මඟට පැමිණ තිබීම මහා ඛේදවාචකයකි. එහෙත් මේ ගැටුමට ප්‍රධාන වැරදිකරුවන් අසරණ සතුන් නොව, මිනිසුන්ය. රටේ ජනගහනය වැඩි වන විට කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කරමින් සතුන්ගේ වාසභූමි තම පරිභෝජනයට යොදාගනු ලැබුයේ මිනිසුන්ය. මහා කැලෑ, වන උද්‍යාන මැදින් මහා මාර්ග තැනුවේ මිනිසුන්ය. මේ වෙනකොට නිතර ගැටලු මතු වන මින්නේරිය – හබරණ මාර්ගය, උඩවලව, බුත්තල – කතරගම මාර්ගය ඉදිවී ඇත්තේ වන සතුන්ගේ වාසභූමි වූ වන උද්‍යාන මැදිනි. මහ මඟට එන වන අලි විසින් ලොරි පෙරලුව, වෑන් රථ පෙරළන්න වළි කෑ බුත්තල කතරගම මාර්ගය කිලෝමීටර් දහහතක් සම්පූර්ණයෙන්ම දිවෙනුයේ යාල කලාප අංක තුන, හතර, පහ ප්‍රදේශ මැදිනි. තවත් කිලෝ මීටර් තුනක් ගෝනඅංආර ප්‍රදේශයේදී මාර්ගයේ එක් පසෙක මහා කැලෑව සහ අනෙක් පස නිවාස මැදින් දිවෙනු ඇත. එම මාර්ගයේදී කැලෑවට පිවිසුමේ අටවාගෙන තිබෙන පලතුරු තට්ටුවල වෙළෙඳුන් පාරෙ ඉන්න අලින්ට කෙසෙල් නොදී යන්න බැරි බව පවසමින් වන්දනාවේ යන මිනිසුන්ව බියට පත් කර පලතුරු විකුණන අයුරු ද අප දැක තිබේ. එම වෙළෙඳුන්ගේ වහසි බස්වලට බිය වන නොදන්නා මිනිසුන් පාරෙ ගැවසෙන අලින්ට පලතුරු ලබාදීමට ගොස් කරදරේ වැටෙන අවස්ථා ද එමටය.

ඉඳුල්වලට කෑදර අලි මහ පාරේ නටයි බලි… දමයි වලි…

එම මාර්ගයේ වාහනවල ගමන් කරන මගීන් කවුළු තුළින් දෑත් එළියට දමා අලින්ට කෑම දෙන විට ඒ සතුන් කවුළුවෙන් වාහන තුළට හොඬවැල ඔබා තව කෑම සොයති. මිනිසුන් බිමට දාපු කෑම උගෙ විත්තිය අලි දනිති. වාහනය තුළ තිබෙන තව කෑම එකතු කරගැනීම ඌගේ වෑයමය. එවැනි අවස්ථාවල බියට පත්වන මිනිස්සු මරළතෝනී දෙමින් වාහනවලින් පැන දුවති. එසේ දුවන මිනිසුන්ට අලි පහර නොදෙති. අලින්ගේ අවශ්‍යතාව වාහනවල තිබෙන ආහාර කොල්ලකෑම පමණි. ඒ ගැන දැනුවත් අලි ගැවසෙන මාර්ගවල නිතර යන එන අය අතේ තියාගෙන අලින්ට කෑම දෙන ආකාරය අපගේ නෙත ගැටුණු වාර අනන්තය. දෙන දේ කා එම අලින් පාඩුවේ පාරෙන් ඉවත් වී වාහනවලට ගමන් කිරීමට ඉඩ දෙන අයුරු ද අප දැක තිබේ. එමෙන්ම පාරෙ ගිය වාහනවලට අලි පහරදී වීදුරු කුඩු කර දැඩි අලාභහානි සිදු කිරීමේ සිද්ධි විටින් විට වාර්තා වුවද, පාරට හුරු අලි මිනිසුන්ට පහරදී මරා දැමීමේ සිද්ධි වාර්තා වී නැත.

බුත්තල – කතරගම මාර්ගයේ යනෙන විට වාහනවල වීදුරු කුඩු වී පාර පුරා සී, සී කඩ විසිරී තිබෙන ස්ථාන නිරන්තරයෙන් ඇස ගැටෙන බව සැබෑය. එමෙන්ම එම මාර්ගයේ ගමන් කරන වාහන සියයකින් එකක්, දෙකක් අනිවාර්යෙන්ම අලින්ගේ පහරකෑමට ලක්වන බව වනජීවී නිලධාරීන්ගේ අදහසය. එවැනි අකරතැබ්බයන්ට මුහුණ පෑමට සිදුව ඇති වාහනවල ගමන් කර ඇති බහුතරය අලින්ට බය, උන්ට කෑම දීමට හුරු නැති මගීන්ය. එහෙයින් වන අලින්ට බියේ යන මගීන් සහිත වාහන බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර හරහා කතරගමට දිවෙන මාර්ගයේ ගමන් කිරීමෙන් ගැටලුවක් නොමැතිව ගමනාන්තයට ළඟා විය හැකිය. වන සතුන් දැක සතුටු වී උන්ට කෑම ලබාදී පිනක් කරගෙන යන්න කැමැති උදවිය යාල මැදින් දිවෙන මාර්ගයේ ගමන් කිරීමේ කිසිදු වරදක් නැත. එමෙන්ම රජයට ආදායමක් ලබාගැනීමට, සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදීමට රාත්‍රියට සතුන් නැරඹීමට යාල මැදින් දිවෙන බුත්තල කතරගම මාර්ගය භාවිතා කළ හැකි බව ද අපගේ යෝජනාවකි. එම මාර්ගයේ සෙල්ලකතරගම සහ ගෝනඅංආර පිවිසුම් දොරටු දෙකෙහි පිහිටි වනජීවී ප්‍රවේශ පත්‍ර කාර්යාල දෙකට බලය වැඩි කිරීම තුළ එම රක්‍ෂිත ප්‍රදේශවලට තිබෙන රැකවරණය ද වැඩිවනු ඇත. රජයට කිසිදු ආදායමක් නොලැබී නීති විරෝධී ආකාරයෙන් දැනටත් එම මාර්ගයේ සිදු කෙරෙන නයිට් සෆාරි නීත්‍යනුකූල කිරීම තුළ රාත්‍රි කාලයට දඩයමේ යන මස් වැද්දන්ට බාධාවක් මෙන්ම වාහනවල හැපී මියැදෙන සතුන් සංඛ්‍යාව ද අඩුවන බව වනජීවී නිලධාරීන්ගේ අදහසය.

හබරණ – මින්නේරිය මාර්ගය, උඩවලව, බුත්තල – කතරගම මාර්ගය පිහිටා ඇත්තේ වන සතුන්ගේ වාස භූමිවලය. එහෙයින් වන සතුන්ගේ නිවහන තුළ උන්ට රිසි සේ සැරි සැරීමට අයිතියක් තිබේ. එමෙන්ම වනසතුන් විවෘත භූමිවල වාසය කිරීමට කැමැත්තක් දක්වති. විශේෂයෙන්ම අලි, ඇතුන් විවෘත තණපිටිවලට ප්‍රිය කරති. මහා කැලෑව තුළ වුවද අලි ඇතුන් නිතර ගැවසෙනුයේ වාහන ගමන් කිරීමට ඉදිකර ඇති මංතලාවේ සහ තණපිටිවලය. ආහාර ගැටලුව විසඳේ නම් එම ප්‍රදේශවල අලි, ඇතුන් ගැවසෙති. අලි වඩාත් ප්‍රිය කරනුයේ අලුත්වන කැලයක ජීවත්වීමට සහ අලුත්වන ආහාර භුක්තිවිඳීමටය. හේන් අස්වැන්න නෙළාගෙන අතහරින ඉපනැල්ල අලින්ගේ රජදහනකි. මින්නේරි වැවේ ජලය අඩු වී හොඳින් තණ පිටිය හැදුණු කාලයට අලි හාරපන්සිය තණපිටියට එකතු වෙති. අලි, ඇතුන් ඇතුළු වන සතුන්ට කැලෑව වෙන් කළ පමණින් උන් ඒ තුළ ජීවත් නොවෙති. වන සතුන් ජීවත් වන්නේ කෑම, වතුර බහුල පරිසර සුපෝෂණයක් තුළ පමණි. වන මැදින් දිවෙන මාර්ග දෙපස විවෘත තණපිටි පිහිටා තිබීම නිසා අලි, ඇතුන්ගේ පැමිණීම වැඩිය. බුත්තල කතරගම මාර්ගය දිගට මේ දිනවල අලි, ඇතුන් දහයක් පමණ නිතර ගැවසෙති. ඒ අතරින් අලි හතරදෙනෙක් අඛණ්ඩව එම ප්‍රදේශයේ ගැවසෙති. ඉතිරි වන අලි කාලයකට පාරට එන අලි, ඇතුන්ය. මේ දිනවල ස්කන්ද රාජා ඇතා බුත්තල – කතරගම පාර අද්දර ගැවසෙති. නේවාසිකව සිටින අලි හතරදෙනාගෙන් එක් අලියෙක් නිරන්තරයෙන්ම වාහනවලට පහර දෙති. කාලෙන්, කාලයට එන යන අලි ඇතුන්ගේ හැසිරීම ගැන නිශ්චිතව කිව නොහැක.

කාර්මික දෝෂයක් හේතුවෙන් හබරණ මාර්ගයේ නතර වී තිබුණු ලොරි රථයක් අලියෙක් විසින් පසුපසින් තල්ලු කර ඇන්ජිම පණ ගැන්වීමට රියැදුරුට උපකාර වන වීඩියෝවක් මුහුණුපොතේ හුවමාරු වන අයුරු පසුගිය දිනක ඇස ගැටිණි. එහෙයින් මාර්ගයේ සිටින වන අලි, ඇතුන්ගෙන් නරක මෙන්ම හොඳත් සිදු වෙති. එමෙන්ම පාරෙ ඉන්න අලින්ට බියේ මිනිසුන්ගේ කළබලවීම මත ඒ සතුන් කුලප්පු නොවෙති. බුත්තල – කතරගම මාර්ගයේ වන අලියෙක්ට පලතුරු නොදීම නිසා උරණ වී වෑන් රථය තුළට හොඬ වැල දමා කෑම සොයන විට ඇති වූ තත්ත්වයේදී ‘මගේ රත්තරං දුව බේරා දෙන්න’ කියමින් මවක් හඬා වැළපෙමින් කෑමෝර දුන්නාය. එහෙත් ඒ දරුවාට අලියාගෙන් සිරීමක් හෝ සිදු නොවිණි. එම වෑන් රථයේ ගමන් කරමින් සිටි කිසිදු මගියෙක්ට කරදරයක් සිදු නොවිණි. එහෙත් ඔවුහු වෑන් රථයෙන් පැන හිස හැරුණු අත දිවූහ. එම අලියා මිනිසුන්ට පහරදෙන සතෙක් නම් එම වෑන් රථයේ පැන දුවපු අයට පහරදී, පාගා චප්ප කරන්නට අවස්ථා තිබිණි. නිතර මහ මඟ ගැවසෙන අලි ඇතුන්ට වාහන සහ මිනිසුන් හොඳට හුරුය. එම අලින්ගෙන් බොහෝවිට කරදරයක් වෙන්නෙ කෑම නිසා පමණි. එහෙයින් මහ කැලෑව මැද, සත්ව නිවහන දෙපලු කරගෙන දිවෙන මාර්ගයට එන වන සතුන් පළවාහැරීමට වෙඩි දැමීම ද සතුන්ට කරන අසාධාරණයකි.

ඉඳුල්වලට කෑදර අලි මහ පාරේ නටයි බලි… දමයි වලි…

වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්යභාරය විය යුත්තේ කැලෑ මාර්ගයේ ගැවසෙන අලින්ට වෙඩි ගැසීම නොව, වන සතුන්ට ඉඳුල් කෑම ලබාදෙන මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමය. බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ප්‍රදේශවලදී වන අලින්ට කෑම ලබාදෙන පුද්ගලයන්ට හා වන අලින්ට හිංසාවන ආකාරයට හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙසට වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් පසුගිය දිනෙක වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබිණි. වසර ගණනාවක් තිස්සේ සිට කාලයෙන් කාලයට එවැනි නීති නිකුත් කෙරුණු බව සැබෑය. එහෙත් ඔය කියන මාර්ගවලදී අලින්ට කෑම ලබාදී හෝ වන සතුන්ට හිංසා කර මිනිසුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති බවක් වාර්තා නොවේ. එවැනි නීති ක්‍රියාත්මක වූවා නම් අද මෙවැනි ගැටලු මතුවීමට නොවීමට ඉඩ තිබිණි. යාල, කුමන, උඩවලව, විල්පත්තුව, වස්ගමුව ආදී මෙරට සියලු වන උද්‍යානවලින් සැලකිය යුතු ආදායමක් ලැබෙන වනජීවී දෙපාර්තමේන්තුවෙන් වන අලි ගැවසෙන මාර්ගවල ‘වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැළකී සිටින්න’ කියා දැන්වීම් පුවරුවක් හෝ සවි කිරීමට අපොහොසත්වීම එම නිලධාරීන්ගේ අඳබාලකමකි. වනජීවී දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කාලයක් සිදුවෙමින් ඇත්තේ මිනිසුන් සතුටු කිරීමට වන සතුන් විනාශ කිරීමකි.

එමෙන්ම අලි – මිනිස් ගැටුමේදී අලි වෙනුවෙන් සංවේදී වන බහුතරය සිටිනුයේ නරගයේය. වන්දනාවේ, විනෝද සවාරි යන විට පාර අද්දර සිටින වන අලින්ට පළතුරු, රසකැවිලි කෑමට හුරු කළේ ද නගරයේ මිනිසුන්ය. වන අලි විසින් ගම්වැසියන්ගේ දේපළවලට කරන හානියේ බරපතළකම නගරයේ මිනිසුන්ට නොතේරෙති. වන අලි ගම්වැදී වගාබිම් පාළු කරන විට, නිවාස කුඩුපට්ටම් කරන විට, ගමේ කෙනෙක් පාගා මරා දමන විට ඇති වන වේදනාව දැනෙනුයේ ගැටලුවට මැදිව සිටින ගමේ මිනිසුන්ට පමණි. එම වේදනාව උහුලා දරාගැනීමට නොහැකි අසරණ මිනිසුන් වීථි බසින විට ගැටලුවට විසඳුම් ලබාදිය යුතු ආයතනවල මහ පුටු රත් කරනුයේ ද වන අලි වෙනුවෙන් සංවේදී නගරයේ මිනිසුන්ය. වන අලින්ගේ කෲරත්වය නොදැනෙන එම නිලධාරීන් පෙනී සිටිනුයේ වන සතුන් වෙනුවෙනි. එවැනි පසුබිමක වන අලි නිසා බැට කන අසරණ මිනිසුන්ට කිසිදු සරණක් නොලැබේ. ගැටලුව මතුව ඇත්තේ එතැනය. ප්‍රථමයෙන් සිදු විය යුත්තේ අදාළ බලධාරීන් සහ නිලධාරීන් මධ්‍යස්ථවීමය. එමෙන්ම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ වර්තමානයේ සිටය.

1824 වර්ෂයේ පළමු සංගණනයේදී මෙරට ජනගහනය මිලියන දෙකකි. අද මෙරට ජනගහනය දෙකෝටි විසිදෙලක්‍ෂයකි. එහෙත් මේ දූපතේ වර්ග කිලෝ මීටර් හැටපන්දහස් හයසිය දහයක් වූ භූමිය වැඩි වී නැත. එවැනි පසුබිමක වැඩි වන මිනිස් ජනගහනයට සාධාරණයක් ලැබිය යුතුය. එමෙන්ම අසරණ වන සතුන්ට ද අසාධාරණයක් නොවිය යුතුය. අලි – මිනිස් ගැටුමේ කාලකණ්ණි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අලි, ඇතුන් ග්‍රහණය විශාල ලෙස අඩු වී ඇත. අලි අම්මෙක්ට පැටියෙක් පිළිසිඳ ගන්නේ වසර පහක් හතක් වැනි කාලයක් තුළය. 2011 වර්ෂයේ සිදු කෙරුනු අලි සංගණනයට අනුව මෙරට ජීවත් වන අලි සංඛ්‍යාව පන්දාහස් හයසීය අසූනවයකි. 2021 වර්ෂයේදී අලි හාරසිය පනහක් මිය ගොස් තිබිණි. මිනිසුන් ලබාදෙන පොලිතින් සහිත ආහාර අනුභව කර, සහ වන සංරක්‍ෂණ සහ රක්‍ෂිත ප්‍රදේශවලට ගොඩගසන කුණු කා බඩවැල්වල ඇති වන විවිධ රෝගාබාධ උත්සන්න වී මියැදෙන අලි සංඛ්‍යාව ද වැඩි වී ඇත. ඒ අනුව මේ වෙනකොට මෙරට ජීවත්වන අලි, ඇතුන් පන්දහසකට ආසන්න සංඛ්‍යාවකට අඩු වී ඇත. එමෙන්ම මිනිස් ක්‍රියාකාරම් නිසා වන සතුන්ට නිදහසේ ජීවත්වීමට තිබෙන රක්ෂිත, වන සංරක්‍ෂණ ප්‍රදේශ ද විශාල වශයෙන් අඩු වී ඇත. වන සතුන්ට සිදු වන විවිධාකාර හිරිහැරවල කිසිදු අඩුවක් නොමැති බව ද වාර්තා වේ. එහෙයින් මේ අසරණ සතුන්ගේ ජීවිත සුරක්‍ෂිත කරමින් නිදහසේ ජීවත්වීමේ පසුබිම සකස් කර දිය යුත්තේ ද බුද්ධියක් ඇති මිනිසුන්මය. අසරණ තිරිසන් සතුන්ට අවැසි කෑම, බීම නිදහසේ ජීවත්වීමට පරිසරයක් පමණි.

ඉඳුල්වලට කෑදර අලි මහ පාරේ නටයි බලි… දමයි වලි…

වන සතුන්ට කෑම බීම ලබාදෙමින් ඡායාරූප, වීඩියෝ ගත කිරීම ද නූගත්කමකි. එවැනි මන්දබුද්ධික මිනිසුන් කරන ඔලමොට්ටල වැඩ නිසා අලි ගැවසෙන මාර්ගවල යන එන සියලු මගීන්ට අවදානමකි. වන සතුන්ට ද හිංසාවකි. පිනට දීමට අකුල් හෙළීමක් නොවේ, යථාර්ථය අවබෝධ කරදීමකි. ඒ නිසා අපට පව් නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment