ඉපැරණි මොරපේ දේවාලයේ ඉතිහාසයට එබී සුන්දර මොනරාගල කඳු මුදුනට…

225

පුරාවෘත තෝතැන්න කෝතමලේ සංචාරයේ තවත් දිනක උදාවය. හාත්පස සිසාරා විහිදුණු ඝන මීදුම තවම පහව ගොස් නැත. භාවනාවකට සම වැදුණු පරිසරයෙන් අධ්‍යාත්මික ස්වරයක් සේ ඇසෙන්නේ ‘ඩෙල්ටා ෆෝල්ස් ‘කඩා හැලෙන හඬය. ශ්‍රී මවුන්ට් හෝටලයට වම් පසින් අත මානයේ ඇති එහි චමත්කාරය සිත වෙලාගන්නේය. පුළුල් සොබාදහම් වින්දනයකට අත වනන මේ පරිසරයේදී අද අපේ ඉලක්කය මොරපේ කතරගම දේවාලයේ ඉතිහාසයට එබී සුන්දර මොනරගල කන්ද තරණය කිරීමය.

මොරපේ කතරගම දේවාලයේ උප්පත්ති කතාව ඉතා රසවත්ය. එය ගම්පොළ රාජධානියේ හතරවන වික්‍රමබාහුගේ රාජ්‍ය කාලය දක්වා දිගුය. ආර්ය චක්‍රවර්තිගේ සහය ඇතිව කැරැල්ලකින් පස්වන පරාක්‍රමබාහු බලයෙන් පහකර රාජ්‍යත්වයට පත්වන වික්‍රමබාහු කුමාරයාගේ අග මෙහෙසිය බවට පත්වන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියයි. රූපශ්‍රීයෙන් දේවඟනක් බඳු ඇය සහ කතරගම දෙවියන් සම්බන්ධව ඇති ජනප්‍රවාද කතාවක් මොරපේ දේවාලය හා බැඳී ඇත. හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය රූපශ්‍රීයෙන් සුරඟනන් හා සමාන බව කියති. දකුණු ලක වැඩ සිටි කතරගම දෙවියන් හෙනකඳ බිසෝවුන්ගේ රූපශ්‍රීය ගැන සිත් බැඳී ඇයව ලබා ගැනීම සඳහා ගම්පොළ රාජධානියේදී විවිධ වේශයන්ගෙන් ප්‍රාදුර්භූත වන්නට විය. තමන් වසඟයට ගැනීමට කතරගම දෙවියන් දරණ මේ උත්සාහය හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කිහිප වරක්ම සිහිනයෙන් දුටුවාය. එයින් බියට පත් දේවිය ගම්පලින් හොර රහසේම පලාවිත් කොත්මලයට වී සැඟව සිටියේ කතරගම දෙවියන්ගෙන් බේරීම සඳහාය.

දේවියගේ මේ පලායෑම දේව ඇසින් වසන් කරන්නට නොහැකි විය. ඇය කොත්මලය ප්‍රදේශයේ සැඟව වාසය කරන බව දැනගත් කතරගම දෙවියන් කොත්මලය ඔයට ඉහත්තෑවේ දේව විමානයක් මවාගෙන වැඩ සිටියේය. එවැනි එක් දිනකදී කොබ්බෑවෙල නිලමේවරයෙක් මුව දඩයමට ගොස් තිබුණේ මේ දේව විමානය අයත් ඝන කැලෑවේය. නිලමේවරයා ගෝනෙකු දුවනු දැක ඌ පසුපස ලුහු බැඳ ඉලක්කය තබා විද්දේය. කිසිදා නොවැරදි ඔහුගේ ඉලක්කය දිගේ යන හීය එදා ගෝනාට නොවැදී කඹුක් ගසක ඇණුනේය. නිලමෙවරයා හීය ගන්නට කොතෙක් උත්සාහ කරද දඩයමේ පැමිණි කිසිවෙකුට හීය ඇද ගැනීමට නොහැකි විය. එය දේව හාස්කමක් බව සිතූ නිලමේවරයා එහිම සිට මොර ගසකින් අත්තක් කඩා පේ කර දෙවියන්ට පූජා කළේය. මොර පේ කර පූජා කළ එම ස්ථානය එදා පටන් කොත්මලේ ගැමියන් අතර “මොරපේ” ලෙස ව්‍යවහාර වෙන්නට පටන්ගෙන ඇත. පැරණි මොරපේ කතරගම දේවාලය ඉදවීමේ මුල් අඩිතාලම වැටී තිබෙන්නේ එසේය. ඒ එක් ජනප්‍රවාද කතාවකි. අනෙක නම් හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය සොයා පැමිණි කතරගම දෙවියන් වෙනුවෙන් මොරපේ කතරගම දේවාලය ඉදි වූ බවට වන කතාවය.

ඉපැරණි මොරපේ දේවාලයේ ඉතිහාසයට එබී සුන්දර මොනරාගල කඳු මුදුනට…

හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කොත්මලයේ සැඟව සිටියදී දිය ස්නානය කළ කොත්මලේ ඔයේ නාන තොට ඇත්තේ මොරපේ ස්ථානයට ආසන්නවය. දේවිය නිතර එහි ගැවසෙන බව දැන කතරගම දෙවියන්ගේ බැල්ම මේ ස්ථානයට වැටී ඇත. මෙයින් බියට පත්වන දේවිය කතරගම දෙවියන්ට අසුවෙනවාට වඩා දිවිනසා ගැනීම යහපතකැයි සිතා කොත්මලේ ඔයට පැන දිවි නසා ගත් බවටද ජනප්‍රවාද කතාවක් තිබේ. දේවියගෙ අභාවයෙන් පසු ඇගේ දේහය කහට කොටයක බහා පා කර හැර ඇත. එම දෙණ සහිත දේවියගේ දේහය ගොඩ ගසා ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ කහට පිටිය නමැති ස්ථානයටය. දෙණ ගොඩ ගැසූ ස්ථානයේද දෙවොලක් ඉදි වූ බවට කතාවක් ඇත. වර්තමානයේදී මේ ස්ථානය අසල හාස්කම් ඇති මුස්ලිම් බැතිමතුන්ගේ පල්ලියක් දක්නට ලැබේ. අතීතයේ සිට සිංහලයන් පවා මේ ස්ථානයේ පඬුරු බැඳ බාර හාර වී ඇත්තේ එහි ඇති යම් ආනුභාව සම්පන්න කමක් නිසා බව අදටත් මේ ප්‍රදේශයේ ජනයා විස්වාස කරති.

කෙසේ නමුත් පැරණි මොරපේ කතරගම දේවාලය තිබී ඇත්තේ කතරගම දෙවියන් හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය දුටු ස්ථානයේ බව සඳහන්ය. එම ස්ථානය ඇත්තේ වර්තමාන මොරපේ දේවාලය ඇති ස්ථානයේ සිට මීටර් සියයක් පමණ පහළට වන්නට ඇති කොත්මලේ ජලාශ පතුලේය. මේ දෙවොලේ සිදුකෙරෙන දුරාතීතයේ සිට පැවැත චාරිත්‍රයක් හා බැඳි රසවත් ජනප්‍රවාද කතාවක්ද අපට මේ ගමනේදී අසන්නට ලැබුණි. එය විජයගෙන් පසු රජ වූ පඬුවස් දෙව් රාජ්‍ය පාලන කාලයේ වූවකි. කුවේණියගේ සාපය නිසා විජය රජ්ජුරුවන්ට කළු ව්‍යාඝ්‍ර දෙනක් සිහිනයෙන් නිතර පෙනෙන්නට ගත් කතාව ඔබ අසා තිබෙනවා ඇත. විජයගෙන් පසු රජ වූ පඬුවස් දෙව් රජුටද එම සාපය පැමිණ නිතර විකාර රූපී සිහින පෙනෙන්නට පටන් ගත්තේය. රජතුමා අසහනයට පත් කළ මේ දිවි දෝෂය සුව කිරීම සඳහා පැමිණි මලය රජු පැමිණියේ ඉන්දියාවෙන් නොව මේ කොත්මලය ප්‍රදේශයෙන් බවටද කතාවක් ඇත. මලය රජු පඬුවස් දෙව් රජුගේ දිවි දෝෂය දුර කර ඇත්තේ මහා යාගයක් මගිනි. එම යාගය සිදු කළ ස්ථානය ගන්නොරුව කඳු මුදුන බවත් වර්තමානයේද එම කන්ද දිවිදොස් කන්ද යනුවෙන් හඳුන්වන්නේ එම සිදුවීමෙන් පසු බවත් කියති. එදා එම යාගය ලෙස සිදුකර තිබෙන්නේ අදටත් යාතු කර්මයක් ලෙස ගැනෙන කොහොඹා දෙවියන් මුල් කරගෙන සිදු කෙරෙන “කොහොඹා කංකාරියයි”. කොත්මලේ සිට පැමිණි මල රජුගේ මේ යාගයෙන් පඬුවස් දෙව් රජුගේ දෝෂය සුව වීම නිසා එයින් සතුටට පත් රජු තම හිස පැළඳි ඔටුන්න ගලවා මල රජුට ත්‍යාග කර ඇත. පඬුවස් දෙව් රජුගේ එම ඔටුන්න යැයි හෝ එය සංඛේතවත් කරන කෞතුක වස්තුවක් මොරපේ දේවාලයට පෙරහැරකින් රැගෙන ගොස් පුද පූජා පවත්වන චාරිත්‍රයක් මේ ජනතාව වාර්ෂිකව සිදුකර ඇත. මොරපේ දේවාලය අසලදී අප සමග කතා කළ ගැමියන් කීවේ “හඟුලේ” නමැති එම පූජනීය වස්තුව අදටත් තිබෙන බවයි.

ඉපැරණි මොරපේ දේවාලයේ ඉතිහාසයට එබී සුන්දර මොනරාගල කඳු මුදුනට…
හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය(වම)

අද අපි මොරපේ දේවාලය ලෙස දකින්නේ කොත්මලේ ජලාශය ඉදිකිරීම නිසා දියට යට වූ පැරණි දේවාලය වෙනුවට ඉදිකළ නව දේවාලයයි. මේ දෙවොල දැන් අයත් වන්නේ කොත්මලේ රන්තලාව ග්‍රාම නිලධාරි වසමටය. වර්තමාන දේවාලය ඉදි වූ පසුද අතීතයේ මෙන් එහි සිදු කළ පෙරහැර මංගල්‍ය ඔක්තෝබර් මාසයේදී නොකඩවා සිදුකරන්නේ කුඹල් පෙරහැර හතරක් සහ රන්දෝලි පෙරහැරක්ද සමගය. වප් පොහෝ දිනට පෙර දිනයේදී ගැමුණු කුමරු අස්වැද්දූ මාවෙල යතුරුලියද්ද සමීපයේ ඇති යතුරුගහ ලියද්ද පන්සලට පෙරහැර පැමිණ පසුදා පෞරාණික රණමුණේ පිහිල්ලෙන් දිය කැපීමෙන් එම ඓතිහාසික පෙරහැර මංගල්‍යය නිම වේ.

මොරපේ දේවාලයේ ඉතිහාසයට එබිකම් කර අපි ඉක්මනින්ම “පීකොක් හිල්” නමින් සුපතල මොනරගල කඳු මුදුනට යන ගමනට පිටත් වුණෙමු. කොත්මලේ සංචාරයේ උපරිම පරිසර වින්දනයක් ලබා ගත හැකි ගමනාන්තය එයයි. මොනරගල කන්දට ප්‍රවේශ වීමට ඇත්තේ සුප්‍රසිද්ධ මහවැලි මහා සෑය පසු කර දොරගලිනි. ඔබ පොදු ප්‍රවාහන සේවයක් මේ ගමනට භාවිත කරන්නේ නම් දොරගල යනු අවසන් නැවතුම් පොළයි. එතැන් සිට වැටී තිබෙන්නේ වගා බිම මැදිනි. එයද ටික දුරකින් අවසන්ව නිහඬ පරිසරයක කොටස් කරුවෙකු වී හිඳින සුන්දර ෆයිනස් කැලයක අද්දැකීමක් විඳීමට ඔබට හැකිවන්නේය. කැලය මැදින් ඇති එම අඩි පාර ඔස්සේ මොනරගල කන්දට ළඟා වීම වෙනත් කඳු තරණ කිරීම තරම් දුෂ්කර ගමනක් නොවේ. කන්දට ඇති ප්‍රවේශ මාර්ගයේ සිට විනාඩි විසි පහක් වැනි කෙටි කාලයකින් මොනරගල කඳු මුදුනට ළඟා වීමට අපට හැකියාව ලැබිණි. එය කෙතරම් මනස්කාන්ත පරිසරයක් දැයි විස්තර කිරීමට අපේ ශබ්ද කෝෂය දිළිඳු යැයි මට සිතේ. සූර්ය උදාවේ සිට හෝරා කිහිපයක්ම ගෙවී තිබුණු බැවින් මීදුම් සේල දිය වී මුළු පරිසරයම රිසි සේ දැක ගැනීමේ හැකියාවක් ඒ මොහොතේ උදා වී තිබිණි. මෙම ලිපි පෙළේ මීට පෙර සඳහන් කළ රම්බොඩ, ගැරඩි සහ පූනා දිය ඇලි ඈතින් කඩා හැලෙන දර්ශනීය දසුන එක් පසකිනි.

ඉපැරණි මොරපේ දේවාලයේ ඉතිහාසයට එබී සුන්දර මොනරාගල කඳු මුදුනට…
ෆයිනස් කැලය මැදින් මොනරගල දක්වා ඇති පාර

කඳු මුදුනේ සිට එක එල්ලේ ඇති මහා ප්‍රපාතයෙන් ඔබ්බෙහි ඇත්තේ සිතුවමක් සේ ඇඳි කොත්මලය ජලාශයයි. කඳු බෑවුම් අතරින් වැටී ඇති නුවර නුවරඑළිය මාර්ගයේ කුහඹුවන් සේ පෙනෙන වාහන තැනකදී පෙනී නොපෙනී ගොස් යළි මතුවේ. ලොකු කුඩා කඳු වැටි දර්ශන මානයේ කෙළවර බොඳ වී යන තෙක් විහිදී තිබේ. කොත්මලය ජලාශය ඉදිකිරීමට පෙර එදා මේ සුන්දර කොත්මලය ඔය නිම්නයේ කෙතරම් ඉතිහාසගත සිදුවීම් සිදුවෙන්නට ඇතිද? කීප වතාවක්ම දළදා වහන්සේ ආරක්ෂිතව සඟවා තබා තිබූ කොත්මලය නිම්නය පරසතුරු උවදුරු වලදී ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයූ භූමියක් වී ඇත. මොනරගල කඳු මුදුනේ සිට ඈතින් පෙනෙන අම්බුළුවාව, දොළොස්බාගේ සහ කිළිමාන කඳු වැටි දකිද්දි නිරායාසයෙන් එකී ඉතිහාස කතා සිහිපත් වේ. නමුත් අවාසනාවක මහත නම් මොනරගල කඳු මුදුනට ළඟා වන විට අප සතු එකම කැමරාවේ බැටරි ආරෝපණය සෘණ අගයක් වී තිබීමයි. මේ නිසා මෙම ලිපියේ මොනරගල කන්දේ ඔබ දකින ඡායාරූප ආන්තර්ජාලයෙන් ලබාගත් එකකි. කඳු නැගීමේ ක්‍රියාදාම සංචාරයෙන් වෙනස් වන මොනරගල කන්ද සැබවින්ම පරිසර සුන්දරත්වය විඳීම සඳහාම වැදගත් සංචාරයකි. මේ කන්දට මොනරගල යන ලැබී ඇත්තේ එම කඳු මුදුනට නැග ගත් පසු එහි පිහිටීම දිස්වන්නේ මොනරෙකුගේ හැඩය නිසා යැයි කියති. ඒ කුමක් වෙතත් මොනරගල කඳු මුදුණේ සිට දර්ශනය වන පරිසර සුන්දරත්වය සිත මෝහනය කරන සුළු එකකි. එය භාෂාවකින් විස්තර කළ හැකි නොවේ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment