ඉබි ගමනේ ගිය රග්බි පිටියට උදා වූ වසන්තය

184

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ‘‘නිපෝන් පේන්ට්’’ අභියෝග කුසලාන අන්තර් ක‍්‍රීඩා සමාජයීය ලීග් ශූරතා රග්බී පාපන්දු තරගාවලියේ මූලික වටයට අයත් අවසන් තරගය අද (20) ප: ව: 04.00 ට නිත්තවෙල ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරෙන අතර එහි ජයග‍්‍රහණය පතා මහනුවර ක‍්‍රීඩා සමාජය සහ අගනුවර හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වෙති. පසුගිය වර ශූරතාව තහවුරු කර ගෙන සිටින ප‍්‍රබල මහනුවර ක‍්‍රීඩා සමාජයට එරෙහිව අගනුවර හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය අතර ක‍්‍රියාත්මක වන මෙම තරගය ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් උසුලනු ඇතැයි අනුමාන කෙරේ. මෙම තරගයේ ජය හිමිකර ගන්නා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන හෙයින් දෙපිලම ජයග‍්‍රහණය පතා උපරිම උත්සාහයක නිරත වනු නොඅනුමානය. ආරක්ෂාකාරී ක‍්‍රීඩා රටාවේ දී මෙන්ම ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවේදී ද ඉහළ දක්ෂතා ප‍්‍රදර්ශනය කළ හැකි අත්දැකීම් බහුල ක‍්‍රීඩකයන් දෙපිලම සතු වීම හේතුවෙන් ක‍්‍රීඩා ලෝලීන්ට හොඳ තරගයක් නැරඹීමේ අවස්ථාව අද දිනයේ දී උදාවනු ඇත.

මෙතෙක් පැවැති තරග ආශ‍්‍රිතව ප‍්‍රසාද ලකුණු 35 කට හිමිකම් කියන මහනුවර කණ්ඩායම නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් ද ප‍්‍රසාද ලකුණු 33 කට හිමිකම් කියන හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සෙනාල් ඞීලක සිල්වාගේ නායකත්වයෙන් ද අද තරගයට අවතීර්ණ වෙති. තරග 06 බැගින් ක‍්‍රීඩා කර ඇති මෙම දෙපිලම තම අපරාජිත බව සටහන් කර ගනිමින් අද තරගයට එක්ව සිටීම ද විශේෂත්වයකි. මෙම තරගයේ ප‍්‍රතිඵලය මොන ආකාරයෙන් විසඳුනත් කණ්ඩායම් 04 ක් අතරේ ක‍්‍රියාත්මක කෙරෙන දෙවන හා අවසන් වටය සඳහා මහනුවර ක‍්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය මේ වන විට ද සුදුසුකම් ලබා තිබීම කැපී පෙනේ. එකී තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට මෙට්ලන්ඞ් පෙදෙසේ සී. එච් ඇන්ඞ් එෆ්. සී පිල සමත්ව සිටී. ඒ ප‍්‍රසාද ලකුණු 27 ක් සහිතවය. සී.එච්. පිල ලත් ජයග‍්‍රහණ සංඛ්‍යාව 04 කි.

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඞ් – 19 තත්ත්වය හේතුවෙන් පසුගිය දෙවසරක කාලයක් තිස්සේ දේශීය ලීග් රග්බි ශූරතාවලිය දැක ගන්නට නොහැකි විය. ඒ හේතුවෙන් මෙවර තරගාවලියේ මූලික වටය ක‍්‍රීඩා ලෝලීන් සෙනෙහසින් වැළඳගත් ආකාරයක් ද පෙනෙන්නට තිබුණි. වසර දෙකක නිහඬතාවයකින් පසුව ක‍්‍රියාත්මක වූ රිස්ලි ඉල්ලීයාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය මෙවර තරගාවලිය සංවිධානය කිරීමට ගත් උත්සාහය ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව යමින් ආරම්භ කළ මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා එක්වූ කණ්ඩායම් සංඛ්‍යාව 08 කි.

මහනුවර ක‍්‍රීඩා සමාජය, පොලිස් ක‍්‍රීඩා සමාජය, යුද හමුදා සමාජය, ගුවන් හමුදා සමාජය, නාවික හමුදා සමාජය, හැව්ලොක් ක‍්‍රීඩා සමාජය, සී.එච්. ඇන්ඞ් එෆ්.සී. සහ සී.ආර් ඇන්ඞ් එෆ්.සී එම කණ්ඩායම් වෙති. මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ වාර්ෂිකව පැවැත්වෙන තරග මාලාවන් අතරේ අන්තර් සමාජයීය රග්බී පාපන්දු ලීග් ශූරතාවලියට ඇත්තේ ඉහළම පිළිගැනීමකි. ක‍්‍රීඩා සමාජ අතර ඇති තරගකාරීත්වය හේතුවෙන්ම ඒ සඳහා ඇති පේ‍්‍රක්ෂක සහභාගිත්වයද පසුගිය දශක කිහිපය තුළ කැපී පෙනුණි.

ඒ අනුව යමින් සංවිධානය වූ මෙවර තරගාවලියේ මූලික වටයටත් වඩා දෙවන වටය හා අවසාන වටය තියුණු හා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානය. සෑම ක‍්‍රීඩාංගණයකම පේ‍්‍රක්ෂක ධාරිතාවයෙන් හරි අඩක් (50%) පමණක් කැඳවා ගැනීමට සෞඛ්‍ය අංශය අවසර දී තිබීම හේතුවෙන් පසුගිය වසරවලට වඩා අඩු ක‍්‍රීඩා ලෝලීන්ගේ සහභාගිත්වයක් වාර්තා වුවත් රග්බි ලීග් ශූරතාවලියේ රිද්මයට හානියක් නොවිණි. සෑම ක‍්‍රීඩකයෙක්ම කොවිඞ්-19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ක‍්‍රීඩා කිරීමට මෙවර තරගාවලිය තුළ බැඳී සිටීම විශේෂත්වයක් වූ අතර එය ක‍්‍රීඩකයන් මෙන්ම නිලධාරීන්ද අකුරටම ඉටු කරන ආකාරයක් දිස් වීම අගය කළ යුතුය.

වසර ගණනාවකට පසුව නිල අනුග‍්‍රාහක ආයතනයක පිහිට නොමැතිව මෙවර ලීග් ශූරතාවලියට මුලපිරීමට රග්බි පාපන්දු බලධාරීන් කටයුතු කිරීම ද ප‍්‍රශංසනීය ය. මෙවර තරගාවලියට එක්ව සිටින ක‍්‍රීඩා සමාජය ඒ සඳහා දැක්වූ ධෛර්යය ද ප‍්‍රශංසනීය ය. එය අපහසු කාර්යයක් වුවත් ඔවුන්ගේ උත්සාහයට සාධාරණත්වයක් ඉෂ්ට කරමින් මූලික වටයේ අවසන් භාගයේ දී නිල අනුග‍්‍රහක ආයතනයක් රග්බී සම්මේලනය සමග එක් වීම ද විශේෂත්වයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත ක්ලිෆඞ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම සත් සාමාජික ශූරතාවලිය ද කලට වේලාවට පැවැත් වීමට
රග්බී සම්මේලනයට හැකියාව ලැබෙනු නොඅනුමානය.

අනුරුද්ධ
හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment