ඉම්රාන් සමග විරසක වූ බුද්ධි ප්‍රධානියා පාකිස්තානයේ නව හමුදාපති වෙයි

454

නව හමුදා ප්‍රධානියා හෙට සිය ධුරයේ නිල කටයුතු ආරම්භ කරන අතර ඔහුගේ පත්වීමේ ලිපියට එරට ජනපති අරීෆ් අලෙවි විසින් අත්සන් කරනු ලැබුවේ පසුගිය සතියේය. නව හමුදාපතිවරයා අන්තර් සේවා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ එනම් 2019 පෙබරවාරි මාසයේදී පුල්වාමා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඉන්දියාවේ භටයින් 40 දෙනකු ඝාතනයට ලක්විය. ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ පවුල දූෂිත ක්‍රියාවන්හි යෙදී සිටින බව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමත් සමග ඛාන්, මුනීර් සමග කෝපයට පත් වූ බව පැවසේ.

සිමෙන්ති නිෂ්පාදනය කරන, අශ්වයන් සහ කිරි ඇතුළු ගොවිපළ මෙන්ම අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන පාකිස්තාන හමුදාව සතු සමූහ ව්‍යාපාර ජාලයන් හරහා ඩොලර් බිලියන ගණනින් ආදායම ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එරට සිවිල් ආණ්ඩුව බංකොලොත් වුවද හමුදාව ආර්ථික අතින් ශක්තිමත්ය. පසුගිය සතියේ මාධ්‍යවේදී අහමඩ් නූරානි විසින් කරන ලද විමර්ශනයකින් හෙළි වූයේ හෙට දිනයේ විශ්‍රාම යෑමට නියමිත හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වාගේ පවුල ඔහුගේ වසර හයක නිල කාලය තුළ ඩොලර් මිලියන 56ක් වටිනා වත්කම් – ප්‍රධාන වශයෙන් නාගරික ඉඩම් – රැස් කර ගෙන ඇති බවයි.

ඉම්රාන් සමග විරසක වූ බුද්ධි ප්‍රධානියා පාකිස්තානයේ නව හමුදාපති වෙයි

ජෙනරාල් බජ්වාගේ පවුලට කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් යන නගරවල හිමිව ඇති දිගු දේපළ ලැයිස්තුව මාධ්‍ය මගින් හෙළිකර ඇත්තේ ඔහු එරට බලවත්ම තනතුරෙන් විශ්‍රාම යන නිසාද?

ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා 2016 නොවැම්බර් 29 වන දින පාකිස්තානයේ බලවත්ම පුද්ගලයා බවට පත් වූ අතර 1960 නොවැම්බර් 11 වන දින කරච්චියේ උපත ලැබූ ඔහුගේ 56 වැනි උපන්දිනය සැමරීමෙන් දින කිහිපයකට පසු ඔහුගේ වෘත්තීය දිවියේ උච්චතම ස්ථානයට පැමිණ ලොව එකම න්‍යෂ්ටික සන්නද්ධ මුස්ලිම් බහුතරයක් සිටින රටේ වගකීම භාරගත්තේය. අර්බුදකාරී කාෂ්මීරයේ සටන් විරාම සීමා තීරයේ රැඳී සිටින සුවිශේෂී එක්ස් බළකායට අණ දෙනු ලැබුවේ ලුතිතන් ජෙනරල් ජාවේඩ් බජ්වා ය. බජ්වාට පෙර හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ ජෙනරල් රහීල් ෂරිෆ්ය. ජනතාවගේ ආදරයට ලක්ව සිටි එවක හමුදාපති ජෙනරල් රහීල් ෂරිෆ්, එරට දේශපාලනඥයන්ට ද වඩා ජනප්‍රිය බව ඉම්රාන් ඛාන් විසින් හඳුන්වා දී තිබුණේ 2016 දීය. ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අතර පසුකාලීනව යහපත් සම්බන්ධයක් නොතිබූ අතර හිටපු ක්‍රිකට් නායකයා බලයෙන් පහකිරීම පිටුපස සිටියේද හමුදාව හා ඇමෙරිකානු ආණ්ඩුව බව ප්‍රකට රහසකි. නමුත් 2018 දී හමුදාව ඉම්රාන් පිටුපස සිටියත් කලක් යද්දී ජෙනරාල්වරු සිවිල් ආණ්ඩුව සමග උරණ විය.

කෙසේ නමුත් මාසයක ආන්දෝලනයකින් පසුව, පාකිස්තානයට ඔවුන්ගේ නව හමුදාපති පත්කරනු ලැබුවේ පසුගිය සතියේය. මේ නව හමුදාපතිවරයා කවුද යන්න පිළිබඳව ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවත් වඩා උනන්දුවෙන් සිටි බව රහසක් නොවේ. නව හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් සයිඩ් අසීම් මුනීර්, වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් පසුගිය 24 වැනිදා තෝරාගනු ලැබුවේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදියා වන ඉම්රාන් ඛාන්ගේ කැමැත්තට එරෙහිව ය. නව ජෙනරාල්වරයා වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි බලාපොරොත්තු වේ. ලුතිනන් ජෙනරාල් මුනීර් ඉම්රාන් ඛාන්ට එරෙහිව සිටින පුද්ගලයෙකු ලෙස දැනටමත් ජනප්‍රිය වී ඇත්තේ, ඉම්රාන්ගේ බිරියගේ යැයි කියන දූෂණ තොරතුරු හෙළිකිරීමෙන් පසු ඔහු අයිඑස්අයි ප්‍රධානි තනතුරෙන් පහකරනු ලැබූ දා සිටය. පක්ෂපාතීත්වය අනුව, ලුතිනන් ජෙනරාල් අසීම් මුනීර් යනු ඔහුගේ පූර්වගාමියා වූ ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වාගේ ගෝලයෙකි.

නව හමුදා ප්‍රධානියා හෙට සිය ධුරයේ නිල කටයුතු ආරම්භ කරන අතර ඔහුගේ පත්වීමේ ලිපියට එරට ජනපති අරීෆ් අලෙවි විසින් අත්සන් කරනු ලැබුවේ පසුගිය සතියේය. නව හමුදාපතිවරයා අන්තර් සේවා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ එනම් 2019 පෙබරවාරි මාසයේදී පුල්වාමා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඉන්දියාවේ භටයින් 40 දෙනකු ඝාතනයට ලක්විය. ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ පවුල දූෂිත ක්‍රියාවන්හි යෙදී සිටින බව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමත් සමග ඛාන් මුනීර් සමග කෝපයට පත් වූ බව පැවසේ. ලුතිනන් ජෙනරාල් සයිඩ් අසීම් මුනීර් පාකිස්තානයේ කුප්‍රකට ඔත්තු ඒජන්සිය වන අන්තර් සේවා බුද්ධි අංශයේ කෙටිම සේවා ප්‍රධානියා විය. එය මාස අටකට සීමා විය. අගමැතිගේ උදහස ලක්වීම නිසා මේ තනතුරෙන් ඉවත්කළ අතර පසුව බුද්ධි ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ හිටපු ක්‍රිකට් නායකයාගේ හිතවතෙකු වූ ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් මහතාය. මෙය ජෙනරාල් බජ්වාගේ සතුටට හේතුවූයේ නැත. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම පිටිපස ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් විශේෂ කාර්යයක් ඉටුකළද ටික කාලයකින්ම ඔහුව බුද්ධි ප්‍රධානි තනතුරෙන් ඉවත් කිරීමට හමුදාපතිවරයා තීරණය කිරීම ඉම්රාන්ගේ ආණ්ඩුව හා හමුදාව අතර ගැටුමක් ඇතිකරන්නට හේතුවිය. මේ සියලු අර්බුද නිසා ඉම්රාන්ට පසුගිය අප්‍රේල් මාසයේදී අගමැති තනතුර අහිමිවිය.

ඇත්තෙන්ම ඉම්රාන් ඛාන් වෙත සිය අගමැතිකම අහිමි වන්නේ සිය පක්ෂය මහ මැතිවරණයෙන් වැඩි බලයක් ලබාගෙන සිටිය ද ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි නොවීම සහ මිලිටරි අනුශාසකත්වයට සවන්දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව කිව හැකිය. පාකිස්තාන හමුදාව සේම එම පාලනය සඳහා එක්සත් ජනපදයේ ඇති කැමැත්තේ වැදගත්භාවය ඉම්රාන් නොසලකා හරින ලද්දේ, තමන් එසේ නොසලකා හැරීම සඳහා සවිමත් වූ තත්ත්වයක නොසිටියදීය. විශේෂයෙන්ම ඔහුගේ රුසියානු හිතවාදය, කෙතරම් දුර දිග ගියාදැයි පවසතොත්, ඒ සඳහා ඇති හොඳම සංඛේතාත්මක සිද්ධිය වන්නේ, යුක්රේනය සඳහා රුසියාව පහර දෙන දිනයේ, ඉම්රාන් සහ පුටින්, ක්‍රෙම්ලිනයේ සාකච්ඡාවක යෙදී සිටීමය. මෙය පාකිස්තාන ජෙනරාල්වරුන් බලවත් කෝපයට පත්කළ සිද්ධියක් විය. ජනාධිපති ජෝ බයිඩන් තනතුරට පත්වූ මුල් දිනවල අගමැති ඛාන්ට දුරකථන ඇමතුමක් හෝ ලබානොදුන්නේ, ඔහුගේ මෙම එක්සත් ජනපද විරෝධී මනසට දක්වන ප්‍රතිචාරයක් ලෙස විය යුතුය. ඇමෙරිකාවට පාකිස්තාන සිවිල් ආණ්ඩුවට වඩා වැදගත් වන්නේ හමුදාවයි. හමුදාව වෙනුවෙන් ඇමෙරිකානු බදු මුදල් ඩොලර් බිලියන ගණනින් රාවල්පින්ඩි වෙත පොම්පකරන බව රහසක් නොවේ. 1947 දී පාකිස්තානය බිහිවූ දා සිට, එරට තේරී පත් වූ කිසිදු අගමැතිවරයකු සිය වසර පහක නිල කාලය සම්පූර්ණ කර නොමැති අතර, ඉම්රාන් ඛාන් මෙම ලැයිස්තුවේ 19 වැනි පුද්ගලයා බවට පත්විය. විශ්වාසභංග යෝජනාවක් හරහා නිලබලයෙන් පහ කළ පළමු අගමැති වන්නේ මේ හිටපු ක්‍රිකට් නායකයාය.

කෙසේ නමුත් ඉම්රාන් රට පුරා දේශපාලන රැලි පවත්වමින් පාගමන් යමින් නැවත බලයට පැමිණීමට උත්සාහ කරන විට, ලුතිනන් ජෙනරාල් මුනීර් හමුදා ප්‍රධානියා බවට පත්වී එරට බලවත්ම පුද්ගලයා වීම හිටපු ක්‍රිකට් නායකයාගේ ඉදිරි දේශපාලනයට කිසිසේත් යහපතක් නම් ඇති නොකරයි. හමුදා ප්‍රධානියා පත්කළ යුත්තේ කුසලතාව මත බව තමා දිගින් දිගටම ප්‍රකාශ කළ බව මීට පෙර ඉම්රාන් ඛාන් පවසා තිබිණි. නමුත් වත්මන් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ලන්ඩනයට ගොස් සිය සොහොයුරු හිටපු අගමැති නවාස් ශරීෆ් ද හමුවී නැවත සිය රටට පැමිණ මේ වැදගත් පත්වීම සිදු කළේය. එය වැළැක්වීමට ඉම්රාන් අසමත් විය. වත්මන් ජනපතිවරයා ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයකු වුවත් ඔහුට අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ලබා දෙන නියෝගය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ප්‍රධාන තනතුරු දෙකක් පත් කිරීම සඳහා පාකිස්තාන අගමැතිවරයාට හමුදා ප්‍රධාන මූලස්ථානයෙන් නම් හය දෙනකුගේ ලැයිස්තුවක් ලැබී තිබුණේ පසුගිය 22 වැනිදාය. ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපතිවරයාගෙන් පසුව එන මීළඟ හමුදා ප්‍රධානියා නම් කළ යුතුව තිබුණේ මේ හය දෙනාගෙනි. එම ලයිස්තුවේ මුලින්ම නම සඳහන්ව තිබුණේ ලුතිනන් ජෙනරාල් මුනීර් වේ. හිටපු අගමැති ඛාන්, බහවල්පූර් හි වත්මන් සේනාංකාධිපති ෆයිස් හමීඩ් හමුදාපති වනු ඇතැයි බලාපොරොත්තුව සිටියද එය සඵල වූයේ නැත. නමුත් ෆයිස් හමීඩ් ගේ නම් මේ හයදෙනාගේ ලයිස්තුවේ තිබිණි. සම්ප්‍රදායට අනුව, අගමැතිවරයාගේ අවසන් පත්වීමට පෙරාතුව, ඉවත්ව යන හමුදා ප්‍රධානියා සමග අගමැතිවරයාගේ සමීපතම උපදේශකයන් සමඟ සාකච්ඡා කිරීම සිදුවේ. ඉවත්ව යන හමුදා ප්‍රධානියා තමාගෙන් පසු වඩාම සුදුස්සා කවුරුන්ද යන්න පිළිබඳව පුද්ගලික තොරතුරු සපයයි.

කවරෙක් පාකිස්තාන හමුදාපති ධුරයට පත්වුවද ලංකාව හා පාකිස්තානය අතර පවතින සබඳතාවලට බාධාවක් නැත. දෙරටේ ආරක්ෂක මිත්‍රකම වඩාත් ශක්තිමත්ය. ශ්‍රී ලංකා රජය, දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළ බවට නිල වශයෙන් ප්‍රකාශ කොට සුළු මොහොතක් ඇතුළත, පාකිස්තානය සිය සුබ පැතුම් ලංකා රජයට පිළිගන්වන ලද බව අපට මතකය. ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් 2000 වසරේදී, යාපනය තමන් නතු කර ගැනීමට උත්සාහ කළ අතර එම අවස්ථාවේදී එවක පාකිස්තාන ජනපති මුෂාරෆ්, ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි ආධාර උපකාර සිදු කරන ලදී. 2006 අගෝස්තුවේදී, දෙමළ කොටි ත්‍රස්තවාදියෙකු විසින් එවක ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති වූ බෂීර් වාලි මොහොමඩ් මහතාව ක්ලේමෝ බෝම්බයක් මගින් කොළඹ දී ඝාතනය කිරීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ විය. තානාපතිවරයා ඉන් දිවි ගලවා ගත්තද, බෝම්බය නිසා පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. 2009 අප්‍රියෙල්, එනම් ශ්‍රී ලංකාවේ යුද ගැටුම් වල අවසන් සමයේ ලංකා රජයට අවශ්‍ය වූ හදිසි ආයුධ සැපයීමට පාකිස්තානය පියවර ගන්නා ලදී. ශ්‍රී ලාංකික බුද්ධි අංශ නිලධාරීන් පුහුණු කරවීමටද පාකිස්තානය සිය දායකත්වය ලබා දී තිබෙන අතර ශ්‍රී ලාංකික පොලිස් භටයින්ටද පුහුණුව ලබා දීමට කටයුතු කරනු ලබයි. ඇත්තෙන්ම පාකිස්තානය දුකේදී මෙන්ම සැපේදීත් අප සමග ඉන්නා මිතුරෙකි. ඉන්දියාව මෙන් දෙපැත්ත කන වැඩ නොකරයි. රෝ ඔත්තු සේවය අරගලයටද මුදල් පොම්පකර ඇති බව දැන් රහසක් නොවේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment