ඉරණවිල ගෙවල් මුහුදේ යයි  – මෙහෙම විනාශයක් කලින් දැකලා නෑ!

307

මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හා අයහපත් කාලගුණය හේතුවෙන් හලාවත, ඉරණවිල වෙරළ තීරය උග්‍ර ලෙස මුහුදු ඛාදනයට ලක්වීමෙන් වෙරළ තීරයේ නිවාස රැසක් මුහුදට බිලි වී ඇත. තවත් නිවාස රැසක් කැඩී යෑමේ තර්ජනයට ලක්ව තිබේ.

ඉරණවිල ගෙවල් මුහුදේ යයි  - මෙහෙම විනාශයක් කලින් දැකලා නෑ!

මේ වන විට ස්ථිර නිවාස තුනක් මුළුමනින්ම මුහුදට බිලි වී තිබේ. තවත් නිවාස දහයකට වැඩි සංඛ්‍යාවක් කැඩී යෑමේ තර්ජනයට ලක්ව ඇත.

ඉරණවිල මෝය හරහා ඉදිකර ඇති පාලම අසල සිට උතුරු දෙසට කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් මෙසේ වෙරළ ඛාදනයට ලක්ව තිබේ. ඛාදනය හේතුවෙන් පොල් ගස් රැසක් ද මුහුදට කඩා ගෙන ගොස් ඇත.

ඉරණවිල ගෙවල් මුහුදේ යයි  - මෙහෙම විනාශයක් කලින් දැකලා නෑ!

දරුණු ලෙස වෙරළ ඛාදනය වීමෙන් මුහුද හලාවත, වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගය ආසන්නයට පැමිණීම ඇත. ඒ හේතුවෙන් ඉදිරි දින කීපයේදී අයහපත් කාලගුණ තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් එම මාර්ගය ද කැඩී යෑම වළක්වා ගත නොහැකි බව ජනතාව පවසති.

 ඉරණවිල තොටුපළ ද මුහුදු ඛාදනයට ලක්වීම හේතුවෙන් ධීවර යාත්‍රා ගාල් කිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව ධීවරයෝ පෙන්වා දෙති.

 මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදි කර ඇති ගල්වැටි ද විනාශ වී ඇත.

 දින ගණනාවක් තිස්සේ පවතින මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරි දින කීපයේදී විශාල අලාභ හානි සිදුවීමට ඉඩ ඇති බව ධීවර ජනතාව කියති.

 අයේෂා සමන්ති මෙසේ කීවාය.

 අපි මෙතැන ගොඩනැගිල්ලෙ පේස්ටි ෂොප් එකක් කරගෙන ගියේ. පසුගිය දින කීපයේ ඇදහැළුණු වර්ෂාවත් එක්ක මුහුද රළු වෙලා මෙතන තිබුණ ගෙදරයි පේස්ටි ෂොප් එක පවත්වාගෙන ගිය කඩ කෑල්ලයි මුහුදට ගියා. ඊට පස්සේ මේ පෙට්ටි කඩේ අපි සුළුවෙන් ව්‍යාපාරය කරගෙන යනවා. ඉතින් බලධාරීන්ට කියන්නේ කඩිනමින් මේකට පිළියමක් කරන්න කියලයි.

 ඩිවෝන් දීප්ත මෙසේ කීවේය.

 මම මේ ධීවර තොටුපළේ ධීවර රැකියාව කරන්න ඇවිල්ල අවුරුදු තිහක් විතර වෙනවා. වාරකන් කාලෙට වරින් වර මුහුද කඩාගෙන යනවා. හැබැයි මේ වගේ විනාශයක් නම් වුණේ නෑ. මේ තොටුපළට එහා පැත්තේ ගෙවල් තුනක් මුහුදට  ගිහිල්ලා. ඉස්සරහට තව ගෙවල් ගණනාවක්ම ළඟටම මුහුද ඇවිල්ලා. ඒවත් අද හෙටම කැඩිලා යන තත්ත්වයක් තියෙන්නේ. පොල් වගාව ගන්නම දෙයක් නෑ. විනාශ වෙලා. දැන් මේ මුහුද පාරට ළං වෙලා තියෙන්නේ. මේ විදිහට බලාගෙන හිටියොත් ලොකු විනාශයක් වෙනවා. ඒ හින්දා අපි කියන්නේ මේ ගැන හොයලා බලලා ඉක්මනින්ම විසඳුමක් ලබා දෙන්න කියලයි.

 රමේෂ් ප්‍රනාන්දු මෙසේ කීවේය.

 මේ තොටුපළේ ධීවර කටයුතු කරන්න අපි ලයිට් අරන් තියෙන කණු මුහුදට බිලි වෙන හින්දා කීප වතාවක් ම මෙහාට කෙරුවා. දැන් තව ඉඩක් නෑ. මොකද එහෙම වුණොත් පාර අයිනේ තමයි හිටවන්න වෙන්නේ.

 සමීර ප්‍රනාන්දු මෙසේ කීවේය.

 ඇත්තටම කියන්න කනගාටුයි මේ වෙරළ කැඩී ගෙන ආවෙ අද ඊයෙක නෙවෙයි. මාස කිහිපයක ඉඳන්. එක සැරයක් මේ පාර උඩින් රැළි

 ගිහිල්ලා පාර කැඩුණා. ඊට පස්සේ ගමේ උදවිය තමයි වැලි කොට්ට දාලා මේ වෙරළ ආරක්ෂා කර ගත්තේ. එදා මේ වෙරළ තීරයට බලධාරීන් අවධානය යොමු කරලා පිළියමක් යෙදුවා නම් අද මේ වගේ විනාශයක් වෙන්නේ නෑ. මේ තත්ත්වය දිගින් දිගටම තිබ්බොත් මේ ගමේ ගොඩක් දෙනෙකුට ඉන්න තැනක් නැතුව යනවා.

advertistmentadvertistment
advertistmentadvertistment