ඉරාක විරෝධතාකරුවන් දහස් ගණනක් එරට ජනපති මැඳුරට කඩා වදිති

285

ඉරාකයේ හටගෙන ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් කෝපයට පත් දහස් සංඛ්‍යාත වූ ජනකායක් ඊයේ (30දා ) ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ පිහිටි ජනාධිපති මැඳුරට කඩා වැදී තිබේ. බැග්ඩෑඩ් නගරයේ කොල කලාපයේ පිහිටි ‘පබ්ලිකන්’ මාලිගය යනුවෙන් හැඳින්වෙන ජනපති මැඳුරේ ආරක්ෂක වැට කඩොලු බිඳලමින් ජනපති මැඳුරට කඩා වැදී ඇති විරෝධතාකරුවන් එහි ඇති පිහිනුම් තටාකයේ ස්නානය කරන අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විට ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල වෛරසයක් මෙන් හුවමාරු වීමට පටන් ගෙන තිබේ. රජයක් පිහිටුවීමට කිසිවෙකු සහය නොදීම හේතුවෙන් ඉරාක පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගෙන සිටින මොක්ටඩා අල් සඩීර් දේශපාලනයෙන් සමු ගන්නා බවට පෙරේදා (29දා) නිවේදනය කිරීමත් සමගම කෝපයට පත් ඔහුගේ ආධාරකරුවන් මෙසේ ජනපති මැඳුරට කඩා වැදී සිය විරෝධය පළ කර තිබේ.

අල් සඩිර් ගේ ආධාරකරුවන් ජනපති මැඳුරට කඩා වැදීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් බෝම්බ හා ග්‍රෙනේඩ් ප්‍රහාරයන් විරෝධතාකරුවන් වෙත එල්ල කර ඇතත් එම බාධක මධ්‍යයේ විරෝධතාකරුවන් මැඳුරට කඩා වැදී තිබේ. විරෝධතාකරුවන් විසින් ඉරාක ජනපති මැඳුරට කඩා වැදීමේ සිද්ධිය ඉකුත් ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ අරගලකරුවන් විසින් ජනපති මැඳුරට කඩා වැදීම අනුකරණය කිරීමක් ලෙස විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ. අල් සඩිර්ගේ ආධාරකරුවන් හා ආරක්ෂක භටයන් අතර පසුගිය දින කිහිපය තුළ ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ් නගරයේ වීථිවල පැවති සටන්වලදී පුද්ගලයන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් බලයෙන් නෙරපීමෙන් පසු අසල්වැසි ඉරානය හා ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වූ 48 හැවිරිදි වියෙහි පසුවන සඩිර් නියෝජනය කරන සාඩ්ඉරිස්ට් ව්‍යාපාරය ඉකුත් වසරේ පැවති ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් දිනාගත් වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දිනා ගත්ත ද ඔහුට රජයක් පිහිටුවීම සඳහා සෙසු පක්ෂවල සහය නොලැබීම බොහෝ ඉරාක වැසියන්ගේ නොසතුටට හේතු වී තිබේ. ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටින ඉරාකයේ හටගෙන ඇති මෙම දේශපාලන අර්බුදයට විරෝධය පාමින් දහස් සංඛ්‍යාත වූ අල් සඩිර් ගේ අනුගාමිකයන් මෙයට පෙර ඉරාක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද කඩා වැදුණු අතර සති කිහිපයක් මුළුල්ලේ පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳ විරෝධතාවයේ නිරතව සිටිති.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment