ඉරුවරදය විනාඩි දෙකෙන් හඳුනාගන්න පුළුවන් උපකරණයක්! දොස්තර බණ්ඩාර හදයි….

365
මහාචාර්ය ටෝලස් එස් ජෙන්සන් සමග වෛද්‍ය රත්නසිරි බණ්ඩාර

පේටන්ට් අයිතියත් වෛද්‍ය බණ්ඩාරට…
මෙරට ලක්‍ෂ හතළිහකට ඉරුවරදය තියෙනවා…

ඉරුවරදය අතිශය වේදනාකාරී රෝගයකි. උග්‍ර හිසේ වේදනාව උහුලා දරාගැනීමට නොහැකි ඇතැම් රෝගීන් සියදිවි හානි කරගන්නා අවස්ථා ද ලොව පුරා එමටය. එම රෝගය ගැන අත්දැකීම් නැති මුත්, විටින් විට ඉරුවරදය වැළඳෙන මගේ මිත්‍රයෙක් විඳින වේදනාව දෑසින් දැක ඇත්තෙමි. දෙසවනින් අසා ඇත්තෙමි.

‘ඔළුව ඇතුළෙ ගිනි පුපුරු විසි වෙනවා වගෙයි. ඔළුව උස්සගෙන ඉන්නම බෑ. මේ නම් පෙර කරුමයක් පඩිසම් දීමක්. සතෙකුටවත් මෙවැනි වේදනාවක් නම් උරුම වෙන්න නරකයි…’ හිසේ වේදනාවෙන් සිටින විට පමණක් නොව, එම රෝගය සුවපත් වී සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරන අවස්ථාවලදී ද මගේ මිත්‍රයා ඉරුවරදය ගැන කියනුයේ එවැනි කතාය.

වෛද්‍ය විද්‍යාවට අනුව වයස අවුරුදු එකහමාරේ බිළිඳාගේ සිට ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයකුට ඉරුවරදය වැළඳීමට ඉඩ තිබේ. වයස අවුරුදු දහයේ සිට තිස්පහ දක්වා වයස් කාණ්ඩවල පුද්ගලයන්ට ඉරුවරදය හටගැනීමට වැඩි ප්‍රවණතාවක් ඇති බව ද ලෝක වෛද්‍ය විද්‍යාව මගින් සොයාගෙන ඇත. මේ වනවිටත් මෙරටින් වාර්තා වන ඉරුවරදය රෝගීන් ලක්‍ෂ හතළිහකට ආසන්නය. එමෙන්ම ඉරුවරදය වර්ග කිහිපයකි. සාමාන්‍ය ඉරුවරදයේදී පූර්ව ලක්‍ෂණ දැනෙන සහ නොදැනෙන දෙකකි. පූර්ව ලක්‍ෂණ පෙන්නුම් කරන අයට ඇස්වල ඉරි ඇඳීම, දෑස් මත තරු විසිවන වෙනස්කම් ඇති වී විනාඩි විස්සකට පමණ පසුව තද හිසරදය ඇති වේ. එවැනි තත්ත්වයකදී ප්‍රතිකාර ලබානොගැනීම තුළ එම හිසරදය පැය හැත්තෑදෙකක් පමණ එක දිගට තිබේ. ඒ වේදනාවත් සමඟ ඇතැම් රෝගීන්ට වමනය යන්නේය. ශබ්දවලට ඇහුම්කන් දීමට අපහසු වන්නේය. එළිය බැලීමට අපහසු වන්නේය. එම රෝග ලක්‍ෂණ කාලයත් සමඟ යටපත් වී නැවත ඉස් මතු වේ. එමෙන්ම හිසරදයක් නොමැතිව ඉරුවරදය මතුවන රෝගීහු ද සිටිති.

ඉරුවරදය විනාඩි දෙකෙන් හඳුනාගන්න පුළුවන් උපකරණයක්! දොස්තර බණ්ඩාර හදයි….
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර

ඉරුවරදය යනු හිසරදය පමණක් නොවේ. නිතර, නිතර තරහ ඒම, අවධානය පවත්වාගෙන යෑමට නොහැකිවීම, අධික නිදිමත වැනි රෝග ලක්‍ෂණ කිහිපයකි. එහෙත් ඉරුවරදය මිනිස් ශරීරය තුළ කොතන හටගන්නේද? කොතනින් එන්නේද? යන්න සොයාගැනීමට ලෝකයේ වෛද්‍යවරුන්ට මහා අභියෝගයක් වී තිබිණි. උග්‍ර හිසේ කැක්කුම ඉවසා දරාගැනීමට නොහැකිව ඇතැම් රෝගීන් සියදිවි නසා ගන්නා තත්ත්වයකදී, ලෝකය පුරා ඉරුවරදය රෝගීන් ශීඝ්‍රයෙන් වර්ධනය වන පසුබිමක එම රෝගය සුවපත් කිරීමට ලොව පුරා වෛද්‍ය පර්යේෂකවරු ප්‍රතිකාර සෙවීමට උනන්දු වූහ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා ද 1998 වර්ෂයේ සිට ඉරුවරදය රෝගයට සැබෑ හේතුකාරකය සෙවීමට පර්යේෂණ සිදු කරගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2009 වර්ෂයේදී ඔහු විසින් ‘කෝටරාභ ඔක්සිජන් ඌණතා නයිටි්‍රක් ඔක්සයිඩ් සිද්ධාන්තය’ යන මැයෙන් ඉරුවරදය රෝගය වැළඳීමට බලපාන හේතු කල්පිතයක් ලෙස විස්තර කර තිබේ. වෛද්‍ය රත්නසිරි බණ්ඩාර විසින් එම සිද්ධාන්තය මෙරට වේදනා අධ්‍යයන සංගමයට ඉදිරිපත් කිරීමෙන් පසුව, එම සංගමය විසින් ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවට ඉදිරිපත් කර තිබිණි. එම සමුළුවේදී ඉහළ පිළිගැනීමකට ලක් වූ එම සිද්ධාන්තය ඩෙන්මාර්කයේ ස්නායු රෝග පිළිබඳ මහාචාර්ය ටෝලස් එස් ජෙන්සන් මහතාගේ මඟපෙන්වීම මත ජාත්‍යන්තර වෛද්‍ය උපකල්පන සඟරාවේ (medical Hypotheses Journal) සඟරාවේද පළ කර තිබිණි. එම වෛද්‍ය සඟරාවට ගිය වෛද්‍ය රත්නසිරි බණ්ඩාරගේ ‘ඉරුවරදය සුවපත් කිරීමේ සිද්ධාන්තය’ එවකට මෙරට පුවත්පත්වල මෙන්ම රූපවාහිනී නාලිකාවල ද විශේෂඥ ප්‍රවෘත්තියක් වී තිබිණි. ඉරුවරදය රෝගය සුවපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ලොව පිළිගත් සිද්ධාන්තයක් බවට පිළිගෙන තිබෙන ‘කෝටරාභ ඔක්සිජන් ඌණතා නයිටි්‍රක් ඔක්සයිඩ් සිද්ධාන්තය’ ලොවට හඳුන්වා දුන් වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා දැන් අප ඉදිරියේ සිටී. අපේ කතාව මොහොතකට නතර කර එම සිද්ධාන්තය සොයාගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා කියන කතාවට අපි සවන් දී සිටිමු.

“ඉරුවදරය රෝගය ගැන පර්යේෂණ කරන්න මම උනන්දු වුණේ 1998 වර්ෂයේදී. ඒකට පාදක වෙච්ච විශේෂ සිද්ධියක් තියෙනවා. එවකට සේවය කළ කෑගල්ලේ, උදුගොඩ දිසා රෝහලට ඉරුවරදය වැළඳුණු තරුණ යුවළක් ප්‍රතිකාර ගන්න ආවා. ඔවුන්ගේ රෝගී තත්ත්වය දරුණුම අතට හැරිලා තිබුණේ. වේදනා නාශක ප්‍රතිකාර ලබාදීලා, රෝගය සමනය වුණාට පස්සෙ, මහ නුවර රෝහලේ ස්නායු රෝග සායනයටත් ඔවුන්ව යොමු කළා. ටික දවසකින් නැවත ඔවුන්ට ඉරුවරදය හැදිලා ඉවසගන්න බැරි වේදනාවත්, තරහත් පාලනය කරගන්න බැරිව දෙදෙනාම සියදිවි හානි කරගෙන තිබුණා. ඒ යුවළගේ මරණ පරීක්‍ෂණ සිදු කළෙත් මමයි. අවුරුදු විසි ගානක, තරුණ යුවළක්. ඒ මරණ දෙක මගේ සිතේ ලොකු කම්පනයක් ඇති කළා. ඉරුවරදය නිසා මේ විදිහට තරුණ ජීවිත නැති කරගන්න ඉඩ දෙන්න බෑ කියලා එදා මම හිතාගත්තා…”

“ඉරුවරදය සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යනකොට 2000 වර්ෂයේදී මහනුවර රෝහලේ ස්නායු ඒකකයට මාව අනුයුක්ත කළා. මගේ පර්යේෂණ කටයුතුවලට ඒක ලොකු උපකාරයක් වුණා. ඉරුවරදය රෝගය සම්බන්ධයෙන් මූලික වාර්තා අධ්‍යයනය කරමින් 2004 වර්ෂයේදී අලුත් කල්පිතයක් මහනුවර ස්නායු රෝග සංගමයට ඉදිරිපත් කළා. මගේ කල්පිතය වුණේ නාසය අවට තියෙන කෝටරාභවල වායු පීඩනය, ජල වාෂ්ප පීඩනය වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයක් නිසා ඉරුවරදය ඇති වන බවයි. එවකට එම සංගමයේ සිටි ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මගේ කල්පිතය විවේචනය කළා. ඒත් මගේ උත්සාහය ඔවුන් අගය කළා. මගේ කල්පිතය විවේචනයට ලක් වුණා කියලා මම සැළුණේ නෑ. පෙරටත් වඩා උනන්දුවෙන් පර්යේෂණ කටයුතු කරගෙන ගිහින් 2009 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රධානත්වයෙන් මහනුවර පැවැති වේදනා අධ්‍යයන සංගමයේ ජාත්‍යන්තර සමුළුවට ඉරුවරදය රෝගය සම්බන්ධයෙන් අලුත්ම කල්පිතයක් ඉදිරිපත් කළා. එම සමුළුවට සහභාගි වී සිටිය ඩෙන්මාර්කයේ ස්නායු වෛද්‍ය මහාචාර්ය ටෝලස් එස් ජෙන්සන් මහතා මගේ ඉදිරිපත් කිරීමට හොඳින් සවන් දී, පසුව පර්යේෂණ වාර්තාවත් කියවා බලා ‘ඉරුවරදය රෝගය සම්බන්ධයෙන් ලෝකයේ ඉදිරිපත් වෙලා තියෙන හොඳම කල්පිතය මේක තමයි. ඔය විවරණ වාර්තාව ජාත්‍යන්තර වෛද්‍ය උපකල්පන සඟරාවට යවන්න’ කියලා එතුමා මට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් කෝටරාභ ඔක්සිජන් ඌණතා නයිටි්‍රක් ඔක්සයිඩ් සිද්ධාන්තයට අනුව ඉරුවරදය රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ගැනත් ඇතුළත් කොට විස්තරාත්මක විවරණ වාර්තාවක් 2014 වර්ෂයේදී ජාත්‍යන්තර වෛද්‍ය උපකල්පන සඟරාවට යැව්වා. එම වෛද්‍ය සඟරාවේ එක කලාපයක ප්‍රධාන පුවත විදිහට මුල් පිටු දහතුනක් පුරාවට මගේ කල්පිත විවරණ වාර්තාව පළ කරලා තිබුණා. කෝටි හතරකට වැඩි පිරිසක් කියවන එම වෛද්‍ය උපකල්පන සඟරාවේ මගේ විවරණ වාර්තාව ප්‍රධාන පුවත විදිහට ඉදිරිපත් කිරීමෙන් අපේ රටට විශාල කීර්තියක් අත්වුණා. පසුව මෙරට විද්‍යා පදනම් ආයතනය විසින් එම කල්පිත විවරණ වාර්තාව අගයමින් කුසලතා සම්මානයක් මට පිරිනැමුවා…”

“කෝටරාභ ඔක්සිජන් ඌණතා නයිටි්‍රක් ඔක්සයිඩ් සිද්ධාන්තය සොයාගන්න තෙක් ඉරුවරදයට ප්‍රතිකාර කළේ රෝගය වැළඳීමට නිශ්චිත හේතුවක් හඳුනානොගෙන. ඩෙංගු උණ වැළඳෙන්නෙ ඩෙංගු වෛරසය ශරීරගතවීමෙන් බව දන්නවා. කොරෝනා හැදෙන්නෙ කොවිඩ් වෛරසය ශරීරගතවීමෙන් බව දන්නවා. ඒත් ඉරුවරදය හැදෙන හේතුව කිසිදු වෛද්‍ය පර්යේෂණයකින් නිශ්චිතව සනාථ වෙලා තිබුණේ නෑ. මගේ කල්පිත විවරණය පාදක කරගෙන පර්යේෂණ තුනක් සිදු කර ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවල පළ කර තිබෙනවා. එම පර්යේෂණවලට අනුව ඉරුවරදය හටගන්න ඔක්සිජන් ඌණතාවය මඟහරවන්න ශල්‍ය වෛද්‍ය, කායික වෛද්‍ය ප්‍රතිකාර සහ ව්‍යායාම ප්‍රතිකාර ක්‍රමත් හඳුන්වා දීලා තියෙනවා. ඉරුවරදය රෝගීන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලබාදිය යුතු ප්‍රතිකාර ක්‍රමය නිගමනය කරන්න පුළුවන්. නිවැරදි වෛද්‍ය උපදෙස් මත නිශ්චිත ප්‍රතිකාර ලබාගන්න ඉරුවරදය රෝගීන් විශාල පිරිසක් මේ වන විටත් නිට්ටාවටම සුවපත් වෙලා ඉන්නවා…” වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා දිගු සුසුමක් පිට කළේය. ඒ ඇසිල්ලෙන් නැවත අපි කතාව පටන් ගත්තෙමු.

ඉරුවරදය විනාඩි දෙකෙන් හඳුනාගන්න පුළුවන් උපකරණයක්! දොස්තර බණ්ඩාර හදයි….

වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතා විසින් ඉරුවරදය රෝගයට හේතු සාධක සොයාගැනීමත් සමඟ 2014 වර්ෂයේ සිට දෙස්, විදෙස් ඉරුවරද රෝගීහු ඔහු හමුවට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නාහ. එමෙන්ම ලෝකයේ විවිධ රටවලින් වෛද්‍ය බණ්ඩාර මහතාට වෛද්‍ය සමුළුවල දේශන පැවැත්වීමට ආරාධනා කර තිබිණි. ඒ අනුව 2014 වර්ෂයේ ජපානයේ පැවැති ජාත්‍යන්තර ස්නායු සම්බන්ධ සම්මේලනයට ද වෛද්‍ය රත්නසිරි බණ්ඩාර සහභාගි වෙමින් ‘කෝටරාභ ඔක්සිජන් ඌණතා නයිටි්‍රක් ඔක්සයිඩ් සිද්ධාන්තය’ ගැන පුළුල් දේශනයක් පවත්වා තිබිණි. ජපානයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙන්ම, එම සමුළුවට සහභාගි වී සිටි ලොව පුරා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නොමද පැසසුමට පාත්‍ර වූ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර ලෝකයේ රටවල් රාශියක පැවැති වෛද්‍ය සම්මේලනවලට ඉදිරිපත් වෙමින් ‘කෝටරාභ ඔක්සිජන් ඌණතා නයිටි්‍රක් ඔක්සයිඩ් සිද්ධාන්තය’ ගැන දේශන පවත්වා තිබේ. නැවත අපි වෛද්‍යවරයාගේ හඬට සවන්දී සිටිමු.

“ඇතැම් මානසික රෝගීන්ටත් ඉරුවරදය තියෙනවා. ඉරුවදරයට ප්‍රතිකාර කරනකොට ඒ මානසික රෝගත් සුවපත් වෙනවා. අනතුරුව ඒ සම්බන්ධවත් තොරතුරු අධ්‍යයන කරමින් ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවල පළ කළා. තවදුරටත් අධ්‍යයන කරගෙන යනකොට ඉරුවරදය සහ මානසික රෝග මෙන්ම සෙසු ස්නායු රෝග අතර ලොකු සම්බන්ධයක් තියෙන බව සොයාගන්න පුළුවන් වුණා. ඉරුවරදය මූලික කොටගෙන ඇතිවන මානසික රෝග සුවපත් කිරීමට ප්‍රධාන ප්‍රතිකාරය ඉරුවරදයට ප්‍රතිකාර කිරීම බව මම සොයාගත්තා. ඒ අධ්‍යයන විවරණ වාර්තාව ගැනත් 2015 වර්ෂයේදී ජාත්‍යන්තර වෛද්‍ය උපකල්පන සඟරාවේ ලිපියක් පළ කළා. ඒ වගේම ඉරුවරදය රෝගීන්ගේ නයිටික් ඔක්සයිඩ් වායුව ඉවත් කිරීමට භෞතික උපකරණයක් හඳුන්වා දුන්නා. සහසක් නිපැයුම් 2015 නව නිර්මාණ ප්‍රදර්ශනයේදී වෛද්‍ය අංශයේ පළමු ස්ථානය එම නිර්මාණයට හිමි වුණා. එම උපකරණ භාවිතයෙන් විනාඩි දෙකෙන් ඉරුවරදය අඩු කරන්න පුළුවන්. ජිනිවා නුවර පැවැති ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ එම උපකරණයට ලෝකඩ සම්මානය හිමි වුණා. එම උපකරණය සඳහා පේටන් බලපත්‍රයත් 2015 වර්ෂයේදී ලැබුණා. ඒ වගේම එම උපකරණ භාවිතයත් සමඟ සාමාන්‍ය නීරෝගී කෙනෙක්ට වඩා ඉරුවරදය තියෙන කෙනෙක්ගේ කෝටරාභවල තිබෙන නයිටි්‍රක් ඔක්සයිඩ් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි බව හඳුනගන්න පුළුවන් වුණා. ඉරුවරදය රෝගීන්ගේ කෝටරාභවල තිබෙන කාබන් මොලොක්සයිඩ් වායු ප්‍රමාණයත් ඉතා වැඩි බවත් හඳුනාගන්න පුළුවන් වුණා. ඒ වගේම එම අධ්‍යයනයේදී ඉරුවරදය වැළඳී ඇති බව හඳුනාගැනීමට කායික පරීක්‍ෂණය සොයාගන්නත් පුළුවන්කම් ලැබුණා. හිසරදය තිබෙන කෙනෙකුගේ ඇස් උඩ මහපටඟිල්ලෙන් තද කරන විට ඇහි බැමි යට වේදනාවක් මතු වෙනවා නම් එම රෝගියාට ඉරුවරදය හටගෙන ඇති බව හඳුනාගැනීමේ පරීක්‍ෂණයි. මේ සියලු අධ්‍යයන කටයුතු කරගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් විශාල ශක්තියක් මට ලැබුණා. ඉදිරියටත් ඉරුවරදය රෝගය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කරගෙන යනවා. එම පර්යේෂණ කටයුතු කරගෙන යෑමට ලෝකයේ වෛද්‍ය පර්යේෂණ ආයතන කිහිපයක්ම උදව් කිරීමට එකඟ වී තිබෙනවා…” අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් දිනා දුන් වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහතාගේ ඉදිරි අධ්‍යයන කටයුතු ද අති සාර්ථකත්වයට පත් වෙන්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

එමෙන්ම මිනිස් ශරීරයේ රුධිර නාල ප්‍රසාරණයවීම, ෆෙෂර් පාලනය කිරීම සිදුවනුයේ ස්නායු උත්තේජකයක් වූ නයිටි්‍රක් ඔක්සයිඩ් වායුව මගිනි. නාස් කුහර තුළින් ශරීරගත වන විෂබීජ විනාශ කිරීමට ඇති ප්‍රධානතම අවිය වන්නේ ද නයිටි්‍රක් ඔක්සයිඩ්ය. සෞඛ්‍ය සම්පන්න දිවිපෙතෙක් ගත කිරීම සඳහා නයිටි්‍රක් ඔක්සයිඩ් අත්‍යවශ්‍යය. එහෙත් එම වායුව අධික ලෙස වැඩිවීම තුළ ඉරුවරදය හටගැනීම සිදුවීමට ඉඩ තිබේ. නින්ද අඩුවීම, ශීතල ආහාර බහුලව අනුභව කිරීම, අධික ලෙස මහන්සිවීම සහ හෝමෝනවල ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම, ජානමය බලපෑම් වැනි විවිධ හේතු මත කෝටරාභ තුළ නයිටි්‍රක් ඔක්සයිඩ් වැඩි වී ඉරුවරදය රෝගය හටගැනීමට ඉඩ තිබේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම මත ඉරුවරදය රෝගය වැළඳීමට වැඩි ප්‍රවණතාවයක් තිබේ. එහෙයින් නයිටි්‍රක් ඔක්සයිඩ් වායුව වර්ධනය වන සාධක ගැන සැලකිලිමත් වෙමින් ජීවත්වීම තුළ ඉරුවාරදයෙන් වැළකී සිටිය හැකිය. එහෙත් නොවළැක්විය හැකි කාරණයක් මත ඉරුවරදය හැදුන ද බිය වෙන්න අවශ්‍ය නැත. ඉරුවරදය සුවපත් කිරීමට දැන් ප්‍රතිකාර තිබේ. රෝගය සඟවාගෙන ප්‍රතිකාර නොලබා සිටීම ජීවිත අවදානමකට ද හේතු විය හැකිය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment