ඉල්ලා අස්කර ගත්තේ කාගේ බලපෑමකින්ද? – විපක්‍ෂ නායක සජිත් සහ   වසන්ත සමරසිංහ අසති

293

ඔළුගෙඩි මාරුවක් වුවද මේ සිදුවෙමින් තිබෙන්නේ පරණ ආකාරයේ වංචාකාරී රාජපක්‍ෂ ආණ්ඩුවේම දිගුවක් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කළ හෙළිදරව්ව අතිශයින් බරපතළ බව පැවසූ විපක්‍ෂ නායකවරයා අද ඔහු එය ප්‍රතික්‍ෂේප කරන්නේ කාගේ බලපෑමට දැයි කිවයුතු බව ද පැවසීය.

ජනාධිපතිවරයා විදුලිබල මණ්ඩල සභාපතිවරයාව කැඳවා ඉන්දියාවේ අගමැති මෝදි බලකරන බව කියා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය ඒ මොහොතේ පත්ව සිටි පීඩනය හේතුවෙන් කළ බවට ඔහු අද කියන බව පැවසූ විපක්‍ෂ නායකවරයා මෙලෙස වගකීම් විරහිත ප්‍රකාශ කෝප් කමිටුව අබියස කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය. ඒ නිසා සභාපතිවරයා පැවසූ සත්‍ය වෙනුවට ඔහුම නැවත අසත්‍ය ප්‍රකාශ කරමින් කරන නාඩගමෙන් රටේ මහජන නියෝජිතයන්ගේත් ජනතාවගේත් වරප්‍රසාද කඩ වූ බව ද කීය.

සුපුරුදු පරිදි අදත් සිදුවෙමින් පවතින්නේ ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් හොරාකෑම සහ ගසාකෑම බව ද විපක්‍ෂ නායකවරයා කියා සිටියේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමෙන් අනතුරුව විපක්‍ෂනායකවරයා ඊයේ (12 වැනිදා) මේ බව කියා සිටියේය.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ දුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ කාගේ හරි බලපෑමකට ද යන්න සොයා බැලිය යුතු යැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඉන්දියාවේ අදානි සමාගමට මෙගාවොට් 500 ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා අවසර දුන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට බව කෝප් කමිටුව හමුවේ විදුලිබල සභාපතිවරයා කළ ප්‍රකාශය පසු දින ඉල්ලා අස්කර ගැනීම හෘදසාක්‍ෂියට අනුව සිදුවී ඇති ද යන්න සොයා බැලිය යුතු බව ද සමරසිංහ මහතා පැවසීය.

මන්නාරම දූපත අදානිට ලබාදී තිබේ නම් එහි විදුලිය නිපදවීම හෝ නොකිරීම අදානි සමාගම විසින් කළ යුතු නිසා ඔහු විදුලිය නිපදවීමක් සිදුනොකර දූපත නිකරුණේ තබාගතහොත් එහි අවාසිය සිදුවන්නේ මෙරට ජනතාවට බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment