ඉල්ලීම් නොතකා හැට පැන්න තානාපතිලා ආපසු කැඳවයි

258

අවුරුදු හැට සම්පූර්ණ කර ඇති තානාපතිවරුන් සිව්දෙනකු සහ මහකොමසාරිස්වරයකුගේ සේවය අවසන් නොකරන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් කර ඇති ඉල්ලීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

තානාපතිවරයකුගේ නිල කාලය වසර තුනකි. වයස හැට සම්පූර්ණ වීම නිසා පෙරකී තානාපතිවරුන් සිව්දෙනා සහ මහකොමසාරිස්වරයාගේ නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. එහෙත් රජයේ සේවකයන් අවුරුදු 60 ඉක්මවීමෙන් පසු විශ්‍රාම ගැන්වීමට ගෙන ඇති තීරණය අනුව යමින් ඉහත සඳහන් තානාපතිවරුන් සිව්දෙනා සහ මහකොමසාරිස්වරයා ආපසු කැඳවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව රියාද්හි ශ්‍රී ලංකා තානාපති පී. එම්. අමාස්, බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වාදම්, ඕමාන්හි ශ්‍රී ලංකා තානාපති ඒ. සබරුල්ලා ඛාන්, පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති එස්. ඩී. කේ. සේමසිංහ සහ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එම්. ජේ. සධික් යන මහත්ම මහත්මීහු මෙසේ ආපසු කැඳවීමට තීරණය කර ඇත. එසේම ඉදිරියේදී තානාපති ධුර සඳහා විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් පත්කිරීමට ද රජය තීරණය කර තිබේ. දැනට විදේශවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගෙන් 50% ක් විදේශ සේවයෙහි නිලධාරීහු වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment