ඉල්ලූම වැඩිවෙලා ඒ නිසා ධීවරයන්ට සහ ගොවියන්ට භූමිතෙල් වැඩියෙන් ලබා දෙනවා – – බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

115




එරික් ගාමිණී ජිනපි‍්‍රය

කර්මාන්ත සහ බස් හිමියන්ට භූමිතෙල් සහන මිලට ලබාදිය නොහැකි නිසා ධීවර සහ ගොවි ප‍්‍රජාව නොමැති ප‍්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම සීමා කිරීමට සිදුවූ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ වර්තමානයේ භූමිතෙල් හිඟයක් ඇතිවීම සඳහා බලපා ඇති හේතු සාධකයන් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (9දා* බලශක්ති අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ශී‍්‍ර ලංකාවේ භූමිතෙල් භාවිතය ඉතාම සීමිතව තිබුණේ. ධීවර ප‍්‍රජාව තමයි භූමිතෙල් බහුලව භාවිතා කරන්නේ. ඒ වගේම ආලෝකය සඳහාත් කෘෂි උපකරණ කි‍්‍රයාකරවීමටත් සුළු වශයෙන් භාවිතා කරනවා. ආනයනය කරන්න ලෝක වෙළෙඳ පොළේ භූමිතෙල් නෑ. ගුවන් යානා තෙල් තමයි භූමිතෙල් වලට ලෝක වෙළෙඳ පොළේ තිබෙන ආදේශය වෙන්නේ. ඒක භූමිතෙල්වලට වඩා මිල අධික ඉන්ධන වර්ගයක්. දේශීය භූමිතෙල් අවශ්‍යතාවය දැනට ලබාගන්නේ අපේ පිරිපහදුවෙන්.

මේ දිනවල දවසකට භූමිතෙල් මෙටි‍්‍රක් ටොන් 550 ක් පමණ විකිණෙනවා. ඇත්තෙන්ම පසුගිය කාලයේ භූමිතෙල් අලෙවිය දෙගුණ වුණා. ඒ සඳහා පහත සඳහන් හේතු බලපා තිබෙනවා.

1. ඞීසල් සහ භූමිතෙල් මිලෙහි පවතින දැවැන්ත පරතරය, ඞීසල් ලීටරයක් රු. 111 ට විකුණන විට භූමිතෙල් විකුණන්නේ රු. 77 ට. ඒ නිසා කර්මාන්ත ශාලාවල යන්ත‍්‍ර සූත‍්‍ර, උඳුන්, බෝට්ටු පමණක් නොවේ. අද සමහර බස් පවා දුවන්නේ ඞීසල් වෙනුවට භූමිතෙල් වලින්.

2. වරින් වර ඇති වුණු ගෑස් හිඟය නිසා හදිසියට භාවිතා කරන්න ජනතාව භූමිතෙල් මිලදී ගැනීම.

3. ගෑස් සහ භූමිතෙල් අතර තිබෙන අධික මිල පරතරය නිසා ආහාර පිසීම සඳහා ගෑස් උඳුන් වෙනුවට භූමිතෙල් උඳුන් භාවිතා කිරීම.
මේ අතරේ පසුගිය 3දා විදුලි වැඩවර්ජනයකින් රටේ විදුලිය ඇණ හිටීමක් සිදුවන බවට පැතිරුණු කට කතාව හේතුවෙන් කවුරුත් භූමිතෙල් මිලදී ගන්න පෙළඹුණා. ඒ නිසා තමයි හදිසි භූමිතෙල් හිඟයක් ඇතිවුණේ.


එක ලීටරයකින් අපට රු.33ක් පාඩුයි. ඒ කියන්නේ භූමිතෙල් විකිණීමෙන් ඛනිජ තෙල් සංස්ථාව එක දවසකට දරන පාඩුව රු. මිලියන 23 ක්. ඒ පාඩුව දරාගෙන සහන මිලට භූමිතෙල් විකුණන්නේ ධීවර ප‍්‍රජාවට සහ ගොවි ප‍්‍රජාවට සහනයක් වෙන්න. නමුත් කර්මාන්ත හිමියන්ට සහ බස් හිමියන්ට ඒ සහනය ලබාදෙන්න අපට පුළුවන් කමක් නෑ. මේ නිසා ධීවර සහ ගොවි ප‍්‍රජාව නොමැති ප‍්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම අපට සීමා කරන්න සිදුවුණා. මේ සහනය වැරදි විදියට භුක්ති විඳින්න ගියොත් අත්‍යාවශ්‍ය පිරිසටත් සහන මිලට භූමිතෙල් ලබාදීමට අපට නොහැකි වන්න පුළුවන් බව ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment