ඉවරයි කීවට තවමත් ඉවර නැති පොහොර අර්බුදය

958

යූරියා පොහොර මිටියක් රුපියල් 35000ට හොර පාරේ විකුණයි

පොහොර නැතිව අසරණ වූ වී සහ බඩ ඉරිඟු ගොවියෝ

ගොවිජන සේවා මධ්‍යස්ථානවලට එන පොහොර හොර පාරෙන් පිටට යන හැටි

පොහොර නැතුව රටෙහිම ගොවිතැන ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. වෙනදා නිලට නිලේ වැඩි බරට බරේ පීදී බිමට නැමී සාර සොබාවට දක්නට තිබුණ කෙත් යායවල් වෙනුවට අද දක්නට ඇත්තේ කේඩෑරි වී ගිය තුත්තිරි කරල් මෙන් ඇති කෙත් යායවල්ය.

සරුවට වැඩුණු කුඹුරක් දකින්නට ඇත්තේ කලාතුරකිනි. කෘෂිකාර්මික රටක් වූ ශ‍්‍රී ලංකාව ප‍්‍රධානම වගාව වූවේ වී වගාවය. කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා වී ගොවීන් මෙන්ම සමස්ත ගොවි ජනතාවම අද කබලෙන් ළිපට වැටී ඇත.

රසායනික පොහොර භාවිතය සෞඛ්‍යයට දැඩි විනාශකාරී තත්ත්වයක් ඇති කරන බව සැබෑය. ඒ ගැන තර්කයක් නොමැත. නමුත් විකල්පයක් වූ කාබනික වගාව එක්වරම ක‍්‍රියාත්මක කිරීමෙන් සිදු වූයේ රටම කබලෙන් ළිපට වැටීමය.

කාබනික පොහොර ව්‍යාපෘතිය හරියට කරන්නට බැරි වීම නිසා කෘෂිකර්ම ඇමැති ෆේල් බව කී සුසිල් පේ‍්‍රමජයන්ත ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් ෆේල් කිරීම නිසා ඔහු ඇමැතිකමේ ලට්ට ලොට්ට භාරදී ති‍්‍රරෝද රථයක නැ`ගී අමාත්‍යාංශයෙන් පිටත්ව යන්නට විය.

නමුත් නිලධාරීන් රොත්ත බුරුත්ත නිසි ලෙස හසුරවමින් කාබනික පොහොර වගාව සාර්ථක කිරීමට නොහැකි වූ කෘෂිකර්ම ඇමැතිවරයා තවමත් එම තනතුරේය. ඉන්දියාවේ කෝච්චියක් පෙරලූනු විට ප‍්‍රවාහන ඇමැතිවරයා ඉල්ලා අස්වූවේය. ඒ ආකාරයට බොහෝ රටවල්වල ඇමැතිවරු අමාත්‍යාංශය යටතේ යම් වැරැද්දක් සිදුවූවා නම් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් වූ වාර පිළිබඳ අපට අසන්නට ලැබේ. නමුත් ලංකාවේ එවැනි සදාචාරයක් නැත. වැඩ බැරි නම් පුළුවන් එකෙකුට භාර දී ගෙදර යෑමක්ද නැත.

  • කාබනික වගාව අසාර්ථක වූයේ ඇයි

රසායනික පොහොර නවතන්නට ජනපති ගත් තීන්දුව ඉතා අගනේය. එවිට වකුගඩු විනාශ වී ගොවීන්ගේ දිවි අහිමි නොවනු ඇත. වස විෂ නොකා විවිධාකාර රෝගවලින් ජනයාට බේරෙන්නට හැකි වෙනු ඇත.

නමුත් හිතුවක්කාර ආකාරයට කිසිදු නියාමන ව්‍යාපෘතියක් සිදු නොකර එක්වරම කාබනික බවට මුළු රටෙහිම වගාව පත්කරන්නට ගොස් ආණ්ඩුව ඇණ ගත්තේය. ගොවියෝ මහ පාරට බසින්නට වූහ. වගාබිම් නිසරු වන්නට විය.

කෘෂිකර්ම ඇමැති කියන්නේ නිලධාරී බොහෝ පිරිසක් මේ සඳහා සහය නොදුන් බවය. එය සැබෑය පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට යනකන් අපටද පෙනෙන්නේ බොහෝ නිලධාරීන් මේ සඳහා සහයක් නොදුන් බවය.

රටේ අනෙකුත් රාජ්‍ය ආයතනවලද බොහෝ විට දක්නට ඇත්තේ නිලධාරීන් නිසි සේ රාජකාරි නොකිරීමය.

ජනතාව පාලකයන්ට බලය දෙන්නේ දූෂිත, අකාර්යක්ෂම නිලධාරීන් පන්නා දමා ජනතාවට සේවය කිරීමටයි.

ඉවරයි කීවට තවමත් ඉවර නැති පොහොර අර්බුදය

නමුත් මේ වන විට බොහෝ නිලධාරීන් ජනතාවට කොකා පෙන්වා බල්ටි ගසති. එම ත‍්‍රාඩ නිලධාරීන් පිළිබඳ තීරණ ගන්නවා වෙනුවට ඇත්ත කියන නිලධාරීන් කට අරින්නට ඉඩ නොදී ඇත්ත කියනා නිලධාරීන් ඉවත් කිරීමෙන් බොඳ වන්නේ සෞභාග්‍යයේ දැක්ම බව පාලකයෝ තේරුම් ගත යුතුව ඇත. නිදසුනක් නම් ගෑස් සිලින්ඩර් බෝම්බ බවට පත් කිරීමට මුල් වූ නිලධාරීන්ට ආණ්ඩුව ගත් තීරණය කුමක්ද? එම වගකිව යුත්තෝ ඉල්ලා අස්වූවේද නැත. ආණ්ඩුව ඔවුන් ඉවත් කළේද නැත. නමුත් ඇත්ත කියන නිලධාරීන් ඇමැතිවරුන් ඉවත්කර රජය හොරු සමග හෙළුවෙන් සිටිති.

කාබනික වගාව ආරම්භ කරන්නට මත්තෙන් කෘෂිකර්ම ඇමැතිතුමාට, සහ ජනාධිපතිවරයාට මේ ගැන බරපතළ අවබෝධයක්ද නොතිබීම හෝ රටෙහිම එකවර කාබනික කළ හැකි බව දැඩි විශ්වාසයක් තිබීම විනාශයක මූලාරම්භය විය.

පිහිය රත්තරං වූවද ඇන ගත්තොත් මැරෙන්නට සිදුවේ. කාබනික වගාව හොඳ වුවද වැරදි විදිහට පටන් ගත්විට සිදු වූවේ නිසි ප‍්‍රතිඵල නොලැබී යෑමය. රජය ගහෙන් ගෙඩි එන්නාක්සේ එක්වරම පුදුමාකාර හදිස්සියකින් මේ වැඬේ පටන් ගන්නට විය. ඒ නිසා වැඬේ අල වී රටෙහි ගොවි තැනම නන්නත්තාර වන්නට විය.

වගා බිම් බේරා ගන්නට ගොවීහු හිතු හිතූ දේ කරයි

මෙම කන්නය ආරම්භයේ දී සමහරුන් ළඟ කලින් ගත්ත යූරියා පොහොර තිබ්බා. යම් පිරිසක් ඒවා භාවිතා කර වගා සාර්ථක කරගත්තා. තවත් ගොවීන් පිරිසක් කාබනික වගාවට බහින්න නිසි පරිදි පළමු බිම් සකස් කිරීම් සිදු කරලා දින 14 තිබිලා ඊළඟ බිම් සැකසීම කරල සතියක් තියලා වල් පැළ දිරා ගියාම වගා කළා. සමහර ගොවීන් උද්ඝෝෂණය කරමින් හිටියා අවසානයේදී ඔවුන්ට කුඹුරට බහින්න කල් මදි වුණා. ඒ කට්ටිය එක පාරම කුඹුරට බැහැලා සීසාලා වල් පැලෑටි දිරන්න කලින් වී වැපුරුවා. ගොඩක් තැන්වල නිලධාරීන් ගොවීන් හරියට දැනුවත් කළේ නෑ. ඒක නිසා ගොවීන් විවිධාකාරයෙන් තමන්ට හිතෙන හිතෙන දේ කරමින් තමන්ගේ වගාවන් අස්වැන්න වැඩි කරගන්න උත්සාහ කළා.

සමහරු යූරියා නැති නිසා පොල් පොහොර වී වගාවට භාවිතා කළා. යූරියා වෙනුවට ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා රුපියල් 750ක එප්පාවල රොක් පොස්පේට් කිලෝ 50ක් මිටියක් දුන්නා. කඩවල ඒවා රුපියල 800ත් 1000ටත් ගන්න තිබ්බා. එප්පාවල පොස්පෙට් එකට ලූණු කවලම් කරල හැදුව පොහොරක් ගොවින් වී වගාවට භාවිතා කළා. ඒවායේ ලවණ ගතිය වැඩි නිසා පොල් වගාවට හොඳයි වී වගාවට හොඳ නෑ. සමහරු ඩොලමයිට් දානවා. ඒවාත් පොල් වගාවට හොඳයි.

රජය මඟින් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 01 මී.ලි. 250ක් ගොවීන්ට නොමිලේ ලබා දුන්නා. කාබනික දියර පොහොර හෙවත් ජෛව පොහොර ලීටර් 10ක් දුන්නා ඊට අමතරව පොටෑසියම් කිලෝ 60ක් ලබා දුන්නා නමුත් මෙම ලබාදුන්න දේ ගොවීන් විශ්වාසයෙන් භාවිතා කෙළේ නෑ. ඒ මේවා භාවිතා කරල අත්දැකීමක් නැති නිසා හරි යන්නේ මොකක්ද කියලා විශ්වාසයක් තිබ්බේ නෑ. ඒ නිසා ගොවීන් තමන්ට හිතෙන හිතෙන ආකාරයට නිල් කැට, සුදු කැට, දම් කැට ආදි පොහොර, ඩිමෝ, ඩිස්කවරි වැනි විවිධ පොහොර භාවිතා කර වගාව සාර්ථක කර ගන්නට උත්සාහ කළා. ඒත් ගොඩක් තැන්වල සාර්ථක නැහැ.

නමුත් කාබනික පොහොර වගා බිමේ තිබුනොත් තමා රසායනික පොහොර වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන්නේ.

ප‍්‍රධාන හේතුව ලංකාවම කාබනික වගාව එක පාර කරන්නෙ නැතිව, නියාමන වැඩසටහන් නොකර මේ ආකාරයෙන් එක පාර කාබනික වගාවන් පටන් ගත්තම කුමක්ද කරන්නේ කියලා ගොවීන්ට හිතා ගන්න බැරි වුණා.

ඒ නිසා මේ වෙන විට මා හිතන විදිහටම ලංකාවේ වී නිෂ්පාදනය 25% ත්, 50% අතර ප‍්‍රමාණයක් අඩු වීමට ඉඩ තිබෙනවා. නමුත් නිලධාරීන් හරියට කළා නම් කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථක වෙන්නේ නෑ. නමුත් ඉහත කාරණා සියල්ල නිසා ගොවියා දැඩි අසරණභාවයට පත්ව තිබෙනවා යැයි කෘෂිකර්ම සම්බන්ධ නිලධාරියෙක් අදහස් දක්වමින් පවසා සිටියේය.

  • අපි අයිති ඉන්දියාවේ ගොවිජන සේවා එකටද?

අම්පාර දමන ඒකාබද්ධ බඩ ඉරිඟු ගොවි සංවිධානයේ කැඳවුම්කරු කේ. එම්. ආරියරත්න මහතා මෙලෙස පැවසුවේය

ගිය කන්නයේ ප‍්‍රදේශයේ ගොවීන් හෙක්ටයාර 7000ක් පමණ බඩඉරිඟු වගා කළා. නමුත් මෙම කන්නයේ හෙක්ටයාර 3000 කට ආසන්න ප‍්‍රමාණයක් තමයි බඩ ඉරිඟු වගා කළේ. සියඹලාණ්ඩුව ආදි ප‍්‍රදේශවලත් ඉඩා අඩුවෙන් තමයි බඩ ඉරිඟු වගා කළේ. පසුගිය කන්නේ පොහොර ඉතුරු කරගෙන සිටි 10%ක් වගේ පිරිසක් මේ පාර මුලින්ම ඉරිඟු වගා කළා. අනිත් කට්ටිය වගාවන් අත්හැරියා. පස්සේ නිලධාරීන් උපදෙස් දුන්නා බඩඉරිඟු වලට යූරියා පොහොර මිටියක් රුපියල් 6500ට දෙනවා කියලා. ඒක නිසා ගොවීන් 6500ක් වගා කරන්න ගත්තා. අපේ රත්නභූමි ගොවි සංවිධානය පොහොර මිටි 2,06 කට සල්ලි බැන්දා. අපිට පළමු පාර මිටි 65 ක් ලැබුණා. ඊට පස්සේ මිටි 72ක් ලැබුණා. තව මිටි 70ක් තාම ලැබුණේ නෑ. අපේ ගොවිජන සේවා කොට්ඨාශයේ ගොවීන් පොහොර මිටි 2000කට සල්ලි බැන්දා. ආවේ 1600යි. ඒවායින් කොටසක් හොර පාරෙන් ගිහින් තියෙනවා. වගාවට දැන් මාස එකහමාරයි. දින 35ක් ඇතුළත පොහොර තුන් පාරක් වගාවට යොදන්න ඕනෑ. මිනිස්සු කණකර ආභරණ උකස් කරලා තමයි සල්ලි බැන්දේ. ලැබිච්ච පොහොරත් නිලධාරීන් තමන්ගේ හිතවතුන්ට තමයි දුන්නෙ. මේ වනවිට අක්කරපත්තුව, කල්මුණේ, සමන්තුරේ ආදි ප‍්‍රදේශවල යූරියා පොහොර මිටියක් රුපියල් 35000, 36000 වැනි මිලකට විකුණනවා.

අපිට සැකයක් තියෙනවා අපිට ලැබෙන්න තිබ්බ, ගොවියෝ සල්ලි බැඳලා ඉල්ලපු පොහොර ආවට පස්සෙ කුමන හෝ ක‍්‍රමයකින් අක්කරපත්තුව, සමන්තුරේ පැත්තට විකුණුවා ද කියලා. ඒ පැත්තෙන් පොහොර අරන් ගියා. තව ගන්න තියෙනවා නම් කියන්න කියලා කියනවා. ඇවිල්ලා අපිට යූරියා පොහොර දෙන්නම් කියල සල්ලි අරගෙන බිල් දුන්නේ ඇයි. අපි අක්කර බදු ගෙවලා තියෙනවා. අපි අම්පාර ගොවිජන ආයතනයට අයිති නැති නම් අපි අයිති ඉන්දියාවේ ගොවිජන සේවා එකටද? ඒ නිසා මෙවර අම්පාරේ වගාවන් පාලූ වූ සියලූම ඉරිඟු සහ වී ගොවීන්ට හැකි ඉක්මනින් වන්දි මුදල් ලබා දීමට රජය කටයුතු කළ යුතුයි. ඒදා වේල හොයාගන්න බැරිව ගොවීන් අන්ත අසරණ වෙලයි ඉන්නේ. ඒ නිසා ගොවීන් රැකගත යුතුයි. වැරදි කරන නිලධාරීන් නීතියෙන් බේරුනත් ස්වභාව ධර්මයෙන් බේරෙන්නේ නෑ යැයි ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටින්නට විය.

  • අද අන්තෝ ජටා බහි ජටා බවට පත් වෙලා… ගම්පහ නාරද හිමියන් කියති.

හැමදාම ගොවීන්ට නායකත්වය ලබාදෙන සක්නද සංවිධානයේ සභාපති නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

සෞභාග්‍යය දැක්ම තුළින් ජනාධිපතිතුමා ජනතාවගේ පැත්තෙන් හොඳක් යහපතක් වෙයි කියලයි කාබනික වගාවට බැස්සේ. නමුත් භූමිය සහ ගොවියා සූදානම් නැතුව තිබෙන මොහොතක මේ එක්වරම මෙය ආරම්භ කරන්නට ගිහිල්ලා රටෙහි වගා බිම් සොහොන් බිම් බවට පත්වුණා.

අඩුම තරමේ ආදර්ශ වගාවක් කරල මේ පිළිබඳ දැනුමක් තියෙන රාජ්‍ය නිලධාරීන්, විද්‍යාඥයන් වැනි අය එකතු කරල ටිකෙන් ටික කළා නම් මෙය සාර්ථක වෙනවා. ඒ නිසා අද අන්තෝ ජටා බහි ජටා බවට පත්වෙලා රටපුරා ගොවීන්ගෙන් නැෙඟන්නේ සෝ සුසුම්. හරියට වී කරල් පෑහෙන්නේ නැතුව, බඩ ඉරිඟු කරල හැදෙන්නේ නැතිව එළවළු ටික හැදෙන්නේ නැතිව මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඔවුන් හෙට දිනේ පිළිබඳ අවිනිශ්චිතව බලාගෙන සිටිනවා.

  • අතේ කෝට් පොහොර හොරකම නීති්‍යානුකූල වෙන හැටි….

මහානාගපුර ඕමරංගාව ගොවි සංවිධානයේ සභාපති වෙනුර ප‍්‍රගීත් හෙට්ටිගමගේ මහතා දිස්ත‍්‍රික්කයට ලැබුණ පොහොර කෝටා එක අනුව අම්පාර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් මඩානගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවීන් වෙනුවෙන් යූරියා පොහොර මිටිත් 2600 ලබාදෙන්න නියම කරලා තිබ්බා. මඩානගම ගොවි ජනසේවා මධ්‍යස්ථානයට අයත් ග‍්‍රාමසේවා වසම් 13ක ගොවීන් රුපියල් 6500 බැගින් මුදල් බැඳලා තිබ්බා. එලෙස බැඳපු මුදල් පොහොර ලේකම් කාර්යාල බැඳලත් තිබ්බා. ඒ අනුව පළවෙනි වතාවේ පොහොර මිටි පන්සියයක් ආවා. 450ක් ගොවි ජන සේවා කාර්යාලයේ බාලා ප‍්‍රවාහනය කළ කොන්ත‍්‍රාත්කරු පොහොර මිටි 50 ක් අරන් ගියා ඊට පස්සේ එයා ඒවා රුපියල් 30000ක් වැනි ඉහළ මිලකට දෙමළ මුස්ලිම් අයට වික්කා කියලා දැනගන්න ලැබුණා.

ඊට පස්සේ බක්මිටියාව පන්නල්ගම ප‍්‍රදේශයේ ගොවියන්ට පොහොර මිටි පන්සියයක් ගෙනාවා. ඒක ගොවි නියාමකවරයා කොටසක් පන්නල්ගම සහ බක්මිටියාව ගොවීන්ට බෙදලා ඉතුරු කොටස එයාගේ නිවසේ තිබෙන ගබඩාව අරගෙන ඇවිත් දෙමළ මුස්ලිම් අයට ඉතා ඉහළ මිලකට විකුණලා තිබ්බා. පොහොර නොලැබුණු බක්මිටියාව, පන්නල්ගම ගොවීන් මඩානගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඇවිත් එහි ගොවිජන සංවර්ධන නිලධාරිවරයාට කියද්දී වරදක් වුණා කියලා ඔහු පිළිගත්තා. ඉන් පසුව ආපු ඉතුරු පොහොර ඒ ගොවීන්ට දීලා මේ අය ඇඟ බේරගත්තා.

ඊටත් පස්සෙ ආපු පොහොරත් එක්ක ප‍්‍රවාහනය කරපු කෙනා පොහොර මිටි 150ක් අරගෙන ගිය බව ගොවිජන සේවා කොමසාරිස්වරිය ඉස්සරහ ප‍්‍රවාහනය කරපු අය පිළිගත්තා. ගොවීන් සල්ලි බැඳලා ගෙනාපු පොහොර අරගෙන යන්නේ කොහොමද?

11වන මාසේ 10 වනදා ඉඳන් මේ ගොවීන් සල්ලි ණයට අරන්, කණකර ආභරණ උගසට තියලා තමයි සල්ලි දුන්නේ. මුලින්ම වාගේ පොහොරවලට. සල්ලි බැඳපු පොහොර මිටි 250ක් ලබා දෙනකම් ගොවියෝ බලාගෙන ඉන්නවා දැන් ඒ පොහොර හම්බවෙලා වැඩකුත් නෑ. දවස් 35න් පස්සෙ ඉරිඟු වලට පොහොර ගහලා වැඩකුත් නෑ. දැන් මල් පිපිලා මුල් කාලයේ පොහොර හම්බුණා නම් ගහලා වගාකරන්න තිබ්බා. දැන් පොහොර නැතිව වගාව ගන්න දෙයක් නෑ විනාශ වෙලා ගියා. මේ අම්පාර දිස්ත‍්‍රික්කයේ ගොවි සංවිධාන කිහිපයක හඬයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ පුරාවටම ගත්කල ඇසෙන්නේ මෙවැනි චෝදනාත්මක කතාවන්ය. බලධාරීන් පොහොරවලින් ගසා කන අයුරුය. රුපියල් 35000ට පොහොර මිටිය අරන් ගහලා හැදෙන්නේ රත්තරන් වී කරල් ද වෙනදා සරුසාරෙට වැඩෙන කෙත් බිම් බොහොමයක් පොහොර නැතිව කහ පාටට හැරෙද්දි යූරියා මිටියට මහ ඉල්ලූමක් ඇති වන්නට විය. මුල් කාලයේදී රුපියල් 3500 වැනි මිලකට හොරට ගම්වලට විටින් විට කන්ටේනර් පෙට්ටි පිටින් පොහොර එන්නට විය. දැනගන්නට ලැබෙන පරිදි ඒවා ගොවි සංවිධානවල නම් දමා ගොවීන්ටම වැඩි මිලට ලබා දීමේ ජාවාරමකි. ඒවා රුපියල් පන්දහසක් වැනි මුදලකට අතරමැදියන් කොමිස් මුදලක් තබා ගොවියාට අලෙවි කරන්නට විය.

පසුව පොහොර මිටියක් රුපියල් 9000 කට, 10000කට අලෙවි විය. හිඟුරාන සීනි සමාගම හෙවත් ගල්ඔය වැවිලි සමාගමෙන් උක් වගාවන් සඳහා අඛණ්ඩව යූරියා පොහොර කාබනික පොහොර සමගින් ලබා දෙන ලදී. එම උක් ගොවීන් ඇතැම් අවස්ථාවලදී හොරාට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සිදු වන්නට විය. ඒ අනුව රුපියල් 18,000 කට පොහොර මිටියක් ගෙන ගිය අවස්ථාවක් අල්ලා ගෙන පොලිසියට භාර දීමට සීනි ආයතන නිලධාරීන්ට හැකි වූහ.

සෑම ගොවියකුම පොහොර හොය හොයා යමින් කහ පැහැයට හැරුණු වී වගාවන් බේරා ගන්නට බලද්දී අම්පාර වෙරළබඩ ගොවියෝ කියන මුදලකට යූරියා පොහොර ලබාගෙන වගා බිමට ඉසින්නට විය. ඒ තම දරුවන් වන් වගාවන් බේරා ගැනීමටය. එසේ නොමැති වුවහොත් දරු පවුල් පිටින් අසරණ වන බව දන්නා නිසාය. ඒ නිසා යූරියා මිටිය රුපියල් තිස් පන්දාහට, තිස් හයදාහකට ඉහළ යන්නට විය. තිස් පන්දාහක් රැගෙන වගාවට යොදා ආදායමක් ගන්නට නම් රත්තරන් ගොයම් කරල් සෑදිය යුතුය.

අතීතයේ රටටම බත සැපයූ වෙල්ලස්ස පුරවරය පමණක් නොව අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල ආදී රට පුරා වී වගා බිම් වෙනදා මෙන් සාර සොබාවට රන් කරලින් පිරී නැත. කෙසේ හෝ යූරියා සොයා ගැසූ ගොවීන්ගේ වගාවන් සාර්ථක වී ඇත. පසුගිය මහ කන්නයේ රටෙහිම වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 30 ක් පමණ තිබුණි. මෙවර එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි බව පැහැදිලිව පෙනෙන කරුණකි. එම නිසා අසරණ ගොවි ජනතාවට වන්දි ලබා දීම කළ යුතුය. ඉතා ඉක්මනින් එළවළු වගාව සඳහා ගොවීන් යොමු කර අපේ‍්‍රල් මාසය වන විටත් එළවළු මිල පහත දැමීමට කටයුතු කිරීමය. ගොවියා පණ ගන්වා වී වගාවෙන් රට ගොඩගැනීමට කටයුතු කිරීමය.

පොහොර ජාවාරමේ යෙදෙන සහ නිසිසේ රාජකාරි නොකරන රාජ්‍ය නිලධාරි යාන්ත‍්‍රණය පිළිබඳව නිසි සේ තීරණ නොගතහොත් ඉදිරියේ දී රජයේ සෞභාග්‍ය දැක්ම වළපල්ලටම යනු ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment