ඉවසන්නට බැරි මළ කරදරය

1424

පාස්කු බෝම්බය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ කතෝලික පල්ලියට සහය දීම පිණිස පාප් වහන්සේ ඉදිරිපත්ව සිටිතැයි දැනගැනීමට තිබේ. 2019 දී පුපුරා ගිය මේ බෝම්බයේ කැබලි තවමත් තැන තැන වැටී ඇත. කවරකු විසින්වත් එම කැබලි අහුලාගෙන ඔරිජිනල් බෝම්බයේ ආකෘතියක් නිර්මාණය කර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා ඔරිජිනල් බෝම්බය පිටුපස තිබෙන ඇත්ත කතාව සෙවීමට උනන්දු නොවන බව ශ‍්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ මතය බව පෙනේ. බෝම්බ කැබලි අහුලා ගැනීම, ඒවා එකට තබා බෝම්බයේ සැබෑ ස්වරූපය නිර්මාණය කිරීම යනාදිය කළ යුත්තේ ආණ්ඩුව ය. මෙහිදී අප ආණ්ඩුව යැයි හඳුන්වන්නේ උසාවිය සහ පොලිසියට ය. පාස්කු බෝම්බය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වී බොහෝ කල්ගත වී ඇති වුවද එහි අඩංගු නිර්දේශ සම්පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තුළ උනන්දුවක් නැති බව මේ රටේ කතෝලික ප‍්‍රජාවගේ මතය වේ. දැනට පෙනී යන පරිදි මේ රටේ කතෝලික පල්ලියේ මතය වී ඇත්තේ සිද්ධියට වගකිව යුතු බවට ඔවුන් විසින් හඳුනාගෙන තිබෙන A, B, C, D. යනාදී චරිත හෝ ඉංග‍්‍රීසි හෝඩියේ අකුරු 26 න්ම නියෝජනය වන චරිත හෝ සිංහල හෝඩියේ අකුරු 54 න් නියෝජනය වන චරිත හෝ අත්අඩංගුවට ගෙන හිරේ නොදමන්නේ ඇයිද යන්නය. නිසි සාක්ෂි ගොඩනැගීමකින් තොරව මිනිසුන් අත්අඩංගුවට ගෙන හිරේ දැමීමට නොහැක. එසේ මිනිසුන් හිරේ දැමූ විට අවසන් ඵලයේදී සිරකරුවා හිරෙන් නිදහස් වී මානව හිමිකම් කොමිසමට යන අතර එකී සිරකරුවා හිරේ දැමූ එකාට මිලියන ගණනින් වන්දි ගෙවීමට සිදුවේ. මේ නිසා එවැනි කුණු කේස්වලට මොලයක් ඇති එකෙක් අත ගසන්නේ නැත. මෙයට කලකට පෙර තිබූ පොලිසිය අධෝවාතයක් පිට කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගත් කල්හි පවා මුලින්ම කරන්නේ වහලේ එල්ලා බඩ යන තුරු ඔහුට පහර දීමය. මෙසේ පහර කෑ මිනිසුන් අවසානයේදී මානව හිමිකම් උසාවිවලට යන අතර එමගින් වරදකරු වන පොලිස්කාරයාට වන්දි ගෙවීමට සිදුවන්නේ අතේ තිබෙන සල්ලිවලිනි. එබැවින් දැන් පොලිසිය මිනිහකුට පහර දෙන්නේ ඒකා නැවත වතාවක් උසාවියකට යා හැකි නොවන මට්ටමේ දුර්වලයකු නම් පමණි. ‘කතෝලික පල්ලිය සමග හැප්පෙන්න එපා’ යනුවෙන් අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්තුමා පැවසූ බව කියවෙන ප‍්‍රවෘත්ති රාශියක් පසුගිය කාලයේදී වෙබ් සයිට්වල පළ විය. මේ කතාව ඇත්තක්ද බොරුවක්ද යන්න අපි නොදනිමු. ඇතැම් වෙබ් සයිට් බොරු කියනවා වෙනුවට බොරු ස්පේ‍්‍ර කිරීම සිදුකරයි. මේ කතාව ඇත්ත නම් අපට කීමට ඇත්තේ මෙයයි. කතෝලික පල්ලිය සමග හැප්පීමට මේ රටේ සිටින සිංහල බෞද්ධ ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නැත. 1505 දී පෘතුගීසි පාලකයන් විසින් මෙරටට හඳුන්වාදෙන ලද කතෝලික සමය අවුරුදු 2500 ක් තිස්සේ බුදු දහම අදහන මේ රටේ ජනතාව විසින් සාදරයෙන් පිළිගන්නා ලදී. මේ රටේ සිටින සමස්ත කතෝලික පූජක ප‍්‍රජාවම මේ රටේ ඉපිද මේ රටේ හැදී වැඞී මේ රටේදීම කතෝලික ධර්මය උගත් දේශීය කතෝලිකයෝ වෙති. සමහරවිට අති උතුම් කාදිනල්තුමා කියන්නට ඇත්තේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් කතෝලික පල්ලිය සමග හැප්පීමට කරන උත්සාහය විය යුතුය.

 පාස්කු බෝම්බ සිද්ධියේදී එවකට පැවති යහපාලන ආණ්ඩුව ක‍්‍රියා කළ ආකාරය ගැන අප තුළද කිසිදු පැහැදීමක් නැත. මේ බෝම්බය පිපිරීමට පෙර ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිපදෙනකු එය දැන සිටි බව පෙනී යයි. මෙවැනි බෝම්බයක් පිපිරීමේ සූදානමක් ඇති බව ඉන්දියාව කල් තබාම මෙරටට දන්වා තිබිණ. එහෙත් බෝම්බයක් නොව රතිඤ්ඤයක් පුපුරන තරමටවත් ආණ්ඩුව එය ගණන් ගත්තේ නැත. එබැවින් මේ වනවිට ලෝකවාසී කතෝලික ප‍්‍රජාවෙන් වැඩිදෙනා ලංකාව සමග විරසක වී සිටිති.

 පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන කේඬෑරි ප‍්‍රතිපත්තියට විරෝධය පළකිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ කතෝලික පල්ලියට උදව් කිරීමට වතිකානුවේ සිටින පාප් වහන්සේ කැමැත්ත පළ කළ පළමුවන අවස්ථාව මෙය නොවේ. පාස්කු කොමිසමේ වාර්තාව නිකුත් වී ස්වල්ප කලකට පසු පාප් වහන්සේ මේ සිද්ධිය ගැන උනන්දු වීමට පටන් ගත්හ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 23 දා ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් තමන්ට පෞද්ගලිකවම ලිපියක් එවමින් පාස්කු ප‍්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් කවර උපකාරයක් අවශ්‍ය දැයි විමසා සිටි බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. මේ ලිපිය මගින් පාප් වහන්සේ විසින් කාදිනල්තුමන් අමතා තිබුණේ ආදරණීය සහෝදරයා ලෙසය. පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ පශ්චාත් අවධියේදී ලංකාවේ තහවුරු වී ඇති පිළිකුල් සහගත ස්වරූපය සම්බන්ධයෙන් කාදිනල්තුමා විසින් යවන ලද ලිපියක් තමන්ට ලැබුණු බව පාප් වහන්සේ විසින් එම ලිපියේ සඳහන් කරනු ලැබ ඇත. වතිකානයෙන් සිදුවිය යුතු දේ තමාට දන්වන ලෙස ද පාප් වහන්සේ එහි සඳහන් කර ඇත. සහරාන් ඇතුළු ඉස්ලාමීය ත‍්‍රස්තවාදී කල්ලිය පාස්කු ප‍්‍රහාරය එල්ල කළේ වෙසක් එකට හෝ පොසොන් එකට නොව පාස්කුවට ය. එය ස්ථිර වශයෙන්ම ක‍්‍රිස්තියානි ප‍්‍රජාවට එරෙහි ප‍්‍රහාරයක් බව මෙහිදී පැහැදිලි වෙයි. සහරාන් ස්වකීය බෝම්බ මාලය පිපිරෙව්වේ මේ රටේ බිස්නස් වැඩිම සංචාරක හෝටල්වල ය. ඉන්පසු සංචාරක කර්මාන්තය බිංදුවටම ඇද වැටුණේය. මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉතා අවාසනාවන්තය. මුලින්ම එය ඇද වැටුණේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය හේතුවෙනි. ඊළඟට සුනාමිය පැමිණ මුහුදුකරයේ තිබූ හොඳම ටුවරිස්ට් හෝටල් ටික බෙංගාල බොක්කට රැුගෙන ගියේය. එයින් යාන්තම් ගොඩ එන විට මොහොමඞ් සහරාන් තමා අංක එකේ කුණු යකකු බව පෙන්වමින් පාස්කු බෝම්බය පත්තු කළේය. සහරාන්ගේ මතවාදයට අනුව ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවි පුදන කෙනකුට දිව්‍ය ලෝකයේදී කන්‍යාවන් 72 ක් තනි අයිතියට පරිහරණය කිරීමට ලැබෙයි. සහරාන් මහලූ නොවීම දෙව්ලොව යන්නට කල්පනා කළේ ඒ නිසා විය යුතුය. කන්‍යාවන් 72 ක් යනු ලේසි පහසු කෙළියක් නොවේ. එහෙත් ඒ වෙනුවෙන් මේ මෝඩ සූකරයා සම්පූර්ණ රටක් ඇපයට තබා සූදුවක් කෙළ රට පරදවා මිනිහා දිනුවේ ය. අප මෙසේ කියන්නේ සහරාන් අදහන අන්තවාදී මතවාදයට සාපේක්ෂව ය. කෙසේ හෝ වේවා පාස්කු කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කර කාදිනල්තුමාට හා කතෝලික ප‍්‍රජාවට සැනසීමක් ලබාදෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. මේ මළ කරදරය දැන්නම් අපටත් ඉවසන්නට බැරිය.

advertistmentadvertistment
advertistmentadvertistment