ඉවසීමේ සීමාවක් තිබෙනවා – ජීවිත – දේපොළ රැකගන්න  – ආරක්‍ෂක අංශ උපරිමය කරනවා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න

163

ඇඳිරිනීතිය ද නොතකා සංවිධානාත්මක පිරිස් ඝාතන කළා: කොල්ල කෑම් කළා

ඉවසීමේ සීමාවක් ඇති බවත් රටේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම් බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

රටේ පුරවැසියන් ඝාතනය කරමින්, නිවාස ගිනි තබමින්, මංකොල්ල කමින්, පනවා තිබූ ඇඳිරි නීතිය ද නොතකා සංවිධානාත්මක පිරිස් කටයුතු කිරීම නිසා අකැමැත්තෙන් වුව පවතින බලතල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

වෙඩි තැබීමට සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමට රජයට හෝ ආරක්‍ෂක අංශවලට කිසිදු ආසාවක් හෝ වුවමනාවක් නැති බවද කී ආරක්‍ෂක ලේකම්වරයා තමන් ද ඇතුළුව සියලු ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ හදවතේ පවතින්නේ මේ රටේ සමස්ත ජනතාව අපේම සහෝදරයන් සහ ශ්‍රී ලාංකිකයන් යන්න පමණක් බව ද හෙතෙම කීවේය.

එහෙත් යම් කණ්ඩායමක් රටේ ජනතාව ඝාතනය කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නේ නම් එයට එරෙහිව අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

සිදු වෙමින් තිබුණේ පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන්ට රාජකාරිය කිරීමට ඉඩක් නොතබා ශ්‍රී ලංකාව මිනී මරන, කොල්ල කන සහ ස්ත්‍රී දූෂණ සිදු කරන රටක් බවට ලෝක සිතියමේ සටහන් කිරීමේ උත්සාහයක් බව ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය. එහෙත් කිසිදා ශ්‍රී ලංකාවට එවන් ඉරණමක් අත්වීමට කොහෙත්ම ඉඩ නොතබන බවද කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

මේ අන්දමට ප්‍රචණ්ඩත්වය වපුරන ලද සියලු දෙනාම පක්‍ෂ, පාට සහ තරාතිරම නොබලා ඉදිරියේදී කෙසේ හෝ නීතිය ඉදිරියට ගෙන එනු ලබන බවද එහිදී සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය. අද රටේ ඇති වෙලා තිබෙන තත්ත්වය ඉතාමත්ම කනගාටුදායක එකක්. ඉතාමත්ම කියලා කිව්වේ ඒ යටින් ඉරක් ඇඳිය යුතු තරමටම එය කනගාටුදායකයි. ගෙවල් ගිනිබත් කිරීම්, මිනීමැරීම්, වධහිංසා කිරීම්, විවිධ මාධ්‍ය තුළින් අපේ ඇස්වලින්ම දකින්නට තරම් අපි අවාසනාවන්ත වුණා.

දැනට දින දෙකකට පෙර ඇතිවූ එක්තරා අවාසනාවන්ත සිද්ධියක් මුල් කරගෙනයි මෙම සිදුවීම් මාලාව ඇති වුණේ. ඒ පිළිබඳව රජයත්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයත්, පොලිසියත් මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන්නේ. එම තත්ත්වය ඇති කරන්න මුල් වුණ අයට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. මේ සිද්ධියෙන් පසුව එකවරම රට පුරාම ගිනි ගැනීම පුදුම සහගත තත්ත්වයක්. හැම තැනම, හැම දිස්ත්‍රික්කයකම දේශපාලනඥයන්ගේ සහ තවත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් දවා අළුකර දැමීම, වාහන ගිනි තැබීම රූපවාහිනී ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒවායේ ඇතැම් දර්ශන සජීවී ලෙස සමාජ මාධ්‍යවල පළ වුණා. මේවා දුටුවිට රජයේ නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක් වුවද මට ඇතිවුණේ අපේ රටේ ද මෙහෙම වෙන්නේ කියන හැඟීම. අපි ආදරය කරන, අපේ මව්බිම වූ ශ්‍රී ලංකාවේ ද මේ සිද්ධීන් වෙන්නේ කියන එක. අපේ රටේ නම ශ්‍රී ලංකාව මිස ලිබියාව නෙවෙයි.

අපේ මුළු තරුණ කාලයම ගත කරලා බේරලා දුන්නු මේ මව්බිම ලිබියාවක් වෙනවා දකින්න අපට පුළුවන්කමක් නැහැ. මම හිතන ආකාරයට අපේ රටේ කවුරුවත් පව් කරලා නැහැ මේ රට තවත් ලිබියාවක් වෙනවා දකින්න. ඒ නිසා ආරක්‍ෂක අමාත්‍යාංශය ලෙසින් වගේම ආරක්‍ෂක හමුදා ලෙස අපට විශාල වගකීමක් සහ යුතුකමක් තිබෙනවා මේ රටේ සිටින වයස්ගතම පුද්ගලයාගේ සිට අද ඉපදුණු දරුවා දක්වා වූ සියලුම දෙනාට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීමට.

ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නැතිනම් එය ඇති කරන්නට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධිවිධාන තිබෙනවා. සමහර වෙලාවට අපට අකැමැත්තෙන් වුවද ඇතැම් තීරණ ගන්න සිදුවෙනවා මේ රටේ ජනතාවට නිදහසේ හුස්ම ගත හැකි තත්ත්වයක් ඇති කිරීමට. ගෝල්ෆේස් පිටියේ රටේ තරුණ දරුවන් අරගලයක් ආරම්භ කළ ද හමුදාව හෝ පොලිසිය එය මැඬ පවත්වන්න කිසිදු පියවරක් ගත්තේ නැහැ. මම රටේ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට පැමිණ කියා සිටියේ අරගලය සාමකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කරගන්න ප්‍රචණ්ඩත්වයට පත් වෙන්න එපා කියලායි.

එහෙත් ඔවුන් අවස්ථා දෙක තුනකදී එසේ ප්‍රචණ්ඩකාරීව කටයුතු කරන්න සැරසුණ ද පොලිස් නිලධාරීන් කරුණු පැහැදිලි කර දී එම තත්ත්වයන් පාලනය කර ගත්තා. නමුත් රට පුරා ගිනි ඇවිළුණු තත්ත්වයේදී ඔවුන් අරලියගහ මන්දිරය වැටලුවා. පසුව එහි ගේට්ටුව අසල තිබූ වාහනයක් ගිනිබත් කළා. අනතුරුව හිටපු අගමැතිවරයා ඇතුළු පවුලේ අය මරා දැමිය යුතුයි කියන පාඨය අරගෙන ඉදිරියට ආවා. රටේ සිටි නායකයකුට දඬුවම් කළ යුතු නම් මේ රටේ නීති පද්ධතියක් සහ ගෞරවාන්විත අධිකරණයක් තිබෙනවා. එනිසා වරදක් කර තිබෙනවා නම් කාට හෝ දඬුවම් කිරීම අධිකරණය මගින් කරනවා මිස කැලේ නීතියට අනුව කරන්න හැකියාවක් නැහැ. ඔවුන් ඒ රැය ගෙවී යන තුරුම දහස් ගණනක් රැස් වෙලා අරලියගහ මන්දිරයට කඩා වදින්නට උත්සාහ කළා. ආරක්‍ෂක හමුදා සහ පොලිසිය මැදිහත්වීමෙන් එය මැඬ පවත්වනු ලැබුවා. මේ අතරේ අපට සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව දකින්නට ලැබුණා අමානුෂික විදිහට කරන පහරදීම් සහ දේශපාලනඥයන් ඇතුළු සාමාන්‍ය සිවිල් ජනතාවගේ ගෙවල් ගිනි තබන ආකාරය. ආණ්ඩුවට යම් සහයෝගයක් දුන් අයගේ නිවාස ගිනි තබන අන්දම.

ඒ වගේම දකින්නට ලැබුණු කනගාටුදායක සිදුවීමක් තමයි ගෝල්ෆේස් පිටියේ ඇතිවූ තත්ත්වයත් සමඟ ඇතැම් දේශපාලනඥයන් එහි යන අතරතුර විපක්‍ෂ නායකතුමත් එම ස්ථානයට පැමිණීමේදී එල්ල කළ ප්‍රහාරය. එතුමා මොන දේශපාලන පක්‍ෂයක වුණත් ඔහු මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා.

ඔහුට එල්ල කළ ප්‍රහාරය අපට අනුමත කරන්න බැහැ. විපක්‍ෂ නායකවරයා වගේම තවත් දේශපාලනඥයන් එහි යද්දී ඔවුන්ට එසේ ප්‍රහාර එල්ල වුණේ නැහැ. ඒ අන්දමට විපක්‍ෂ නායකවරයාට පහර දෙන්නත් තවත් දේශපාලනඥයෙක්ට කිසිදු ගැටලුවක් නොමැතිව එහි ගොස් නිදහසේ එහෙ මෙහේ ඇවිද යා හැකි නම් එහි යම් අරුතක් ඇති.

මේක අපේ රට. මේ මාතෘ භූමිය තුළ ජීවත් වන හැම දෙනෙක්ම මේ රටේ පුරවැසියෝ. ඒ හැමෝම මේ රට තුළ ඉපදිලා රට වෙනුවෙන් යම් සේවයක් කරන අය. ඒ වගේම ඔවුන් හැමෝම වත්මන් පරපුර වගේම උපදින්නට සිටින පරපුර වෙනුවෙනුත් යම් සේවයක් සිදු කරන අය.

එහෙම අයට අමානුෂික විදිහට ගහනවා නම්, ගහල ඇදගෙන යනවා නම් මරලා යට ඇඳුම් පිටින් මහා පාරේ ප්‍රදර්ශනය කරනවා නම් ඒ දර්ශන දකින්න තරම් අප අවාසනාවන්ත විය යුතු නැහැ. එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඝාතනය කළ ආකාරය මෙන්ම ඇතැමුන්ට පහරදී හිසෙන් රුධිරය ගලමින් දිවගෙන යන ආකාරය දුටු විට මගේ සිහියට ආවේ පකිස්තානයේදී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කෙරුණු ආකාරය. ඊටත් වඩා දරුණු ආකාරයට පහරදෙන අවස්ථාත් අපි දැක්කා. ආණ්ඩු පක්‍ෂයේ ද විපක්‍ෂයේ ද එසේත් නැතිනම් විප්ලවවාදී පක්‍ෂයක ද කියන එක සහ තරාතිරම නොතකා එසේ කටයුතු කළ සියලු දෙනාවම ඉදිරියේදී නීතිය ඉදිරියට ගෙන එමින් දඬුවම් කිරීමට පියවර ගන්නවා.

වරද කළා නම් ඒ වැරදිකරුවන් කෙසේ හෝ නීතිය ඉදිරියට ගෙන එනවා. ඒවා සොයා ගැනීමට අදාළ දර්ශන අප සතුව තිබෙනවා. රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබිය දී එය නොතකා කටයුතු කරමිනුයි දේශපාලනඥයන්ගේ සහ වෙනත් සිවිල් පුද්ගලයන්ගේ නිවාස ගිනි තිබ්බා. මේවන විට දේපළ හානි කිරීම් 136 ක් සිදු කර තිබෙනවා. මේ සම්පූර්ණයෙන්ම ගෙවල් ගිනිබත් කරපුවා. අමාරුවෙන් ගොඩ නඟා ගත් අහිංසක මිනිසුන්ගේ නිවාසත් මේ අතර තිබෙනවා.

වාහන 41 ගිනිබත් කළා. අලාභහානි කරපු වාහන ගණන 61 ක්. මේ අතර රජයේ වාහනත් තිබෙනවා. පොලිසියේ වාහන ගිනි තිබ්බා. පුද්ගලයන් 219 දෙනකු මේ ප්‍රහාරවලින් තුවාල ලැබුවා. පුද්ගලයන් නව දෙනකු මියගියා. ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනකුත් සිටිනවා. පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන අයුරු අපි දැක්කා. මේ රටේ සෑම පුරවැසියෙක්ම නිදහසේ හුස්ම ගත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නිසා. ත්‍රිවිධ හමුදාව මේ රටේ වසර තිහක් පැවැති යුද්ධය නිමා කළා වුවත් වසර එකසිය ගණනක් තිස්සේ රටේ ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් වුණේ පොලිසිය නිසයි. අරගලයේ නාමයෙන් නිවාස ගිනි තබමින් දේපළ විනාශ කරමින් මංකොල්ල කමින් සොරකම් කිරීම ආරම්භ කළා. මීගමුවේ හෝටලයක් ගිනිබත් කර එහි තිබූ ඇඳන් පවා කොල්ල කෑවා. අවසානයේ එය ජාතිවාදී ගැටුමක් ඇති වන තැනට දුරදිග ගියා. මේනිසා අපි තීරණය කළා ඇඳිරිනීතිය සහ හදිසිනීතිය මගින් ලබා දී තිබෙන බලතල අනුව ක්‍රියා කරන්න. ඇඳිරිනීතිය පැවතිය ද එය ගණනකට නොගෙන කටයුතු කිරීම නිසා අවශ්‍ය බලය පාවිච්චි කරන ලෙස ආරක්‍ෂක අංශවලට උපදෙස් දුන්නා.

අකැමැත්තෙන් වුවද ඒ තීරණය ගැනීමට සිදුවුණා. පහර දෙන්න වෙඩි තියන්න කිසිදු වුවමනාවක් හෝ ආසාවක් රජයට හෝ අප කිසිවකුටවත් නැහැ. අපේ හදවත්වල තිබෙන

හැඟීම තමයි මේ රටේ ජීවත් වන සියලු දෙනා අපේ සොහොයුරන් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් කියන එක. එය නොතකා යම් කණ්ඩායමක් සංවිධානාත්මකව මේ ආකාරයට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ජනතාව මරා දමනවා නම් එයට එරෙහිව අවශ්‍ය පියවර ගත යුතුයි.

මේ රටේ පාර්ලිමේන්තුවක් තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ලෙස අපි බැඳී සිටිනවා රටේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න. ඒ අනුව රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේම මේ රටේ ඉපදෙන ළදරුවන් දක්වා සියලු දෙනා ආරක්‍ෂා කිරීමට අප වගකීමෙන් යුතුව බැඳී සිටිනවා. එයට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. ඒ වගේම සියලු දේශපාලනඥයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ පහර දීම් සිදු කරන්නේ සහ පහර කෑම්වලට ලක් වන්නේ ඔබ නායකත්වය දෙන ශ්‍රී ලාංකිකයන්. එනිසා මෙතනදී නායකත්වය ගෙන තම තමන්ගේ පාක්‍ෂිකයන්ට කියන්න මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකරන ලෙස.

ඒවගෙම සමාජ මාධ්‍ය භාවිතා කරන සියලු

දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මහජනයා ප්‍රචණ්ඩ කරන දේවල් පළ කරන්න එපා කියලා. ඒවායින් සිදු වෙන්නේ වෛරය ක්‍රෝධය පැතිරෙන එක පමණයි. ඇතැමුන් ප්‍රචණ්ඩ පළ කිරීම් කළා. ඒ සියලු දේ පොලිසිය සතුව තිබෙනවා. ඒ සියලු දෙනාට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙන බවත් සඳහන් කළ යුතුයි. එසේම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට රාජකාරිය කිරීමට නොදී බැණ වදිමින් පහර දෙන අයුරු අපි දුටුවා.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ම්ලේච්ඡ ලෙස පහර දෙන අයුරු අපි දැක්කා. එසේම තවත් පොලිස් නිලධාරියෙක්ට පාර දිගේ පන්න පන්නා පහර දෙන අයුරු අප දුටුවා.

එතනදී ඇතැම් අය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබුණා නියෝජ්‍ය පොලිස්පතිවරයාව ජනතාව අතරට යවලා ගුටි කන්න සලස්වලා හමුදාව යෙදවීමට ක්‍රියා කළා කියලා. නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ගුටි පූජාවක් කන්න සලස්වල හමුදාව යොදවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තවත් තැනක කියැවුණා හමුදාව දාලා පොලිසිවලට ගහල මර්දනය ආරම්භ කරන්න හදනවා කියලා. අමුතුවෙන් පොලිසිවලට ගහන්න ඕනේ නැහැ ගෙවල් එකසිය ගණනක් ගිනි තියලා තියෙද්දී. ඒ නිසා මම රට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා අමුතුවෙන් සිදු වෙන්න දෙයක් නැහැ මේ වගේ මිනිස්සු කියන දේවල් පිළිගන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න කියලා.

ඒ වගේම පොලු අතට ගත්ත කොට කලිසම් ඇඳ ගත්තු තරුණයන් ගුවන් තොටුපළට යන වාහන චෙක් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒක සිද්ධ වෙන්න දුන්නොත් මේ රට ශ්‍රී ලංකාව වෙන්න බැහැ. ඒ නිසා කරුණු වටහා දීලා ඔවුන් ඉවත් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණු නිසා අවසානයේ අකැමැත්තෙන් වුවද අවශ්‍ය තීරණ ගන්න අපට සිදුවුණා. ඇඳිරි නීතිය සහ හදිසි නීති දාලා ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක වෙන්නේ ඔබව පීඩාවට පත් කිරීමට නොව සියලු දෙනාගේ යහපත පිණිස බවත් මම මේ අවස්ථාවේ රටේ ජනතාවට සඳහන් කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා –

රටේ දේපළ සහ ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙන මේ මොහොතේ හමුදාවේ රාජකාරිවලට සහයෝගය ලබා දෙන ලෙස සියලුම පුරවැසියන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

හිටපු අගමැති මහින්ද ත්‍රීමලේ ආරක්‍ෂිතව

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක හේතු මත ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙන ගිය බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

අරලියගහ මන්දිරය අවට ප්‍රදේශයේ ඉකුත් 09 වැනිදා පැවති වාතාවරණය මත හිටපු අගමැතිවරයාට එහි සිටීමට තරම් සුදුසු ආරක්‍ෂාකාරී පරිසරයක් නොතිබුණු බව තහවුරු වූ නිසා මෙලෙස රැගෙන ගිය බව ද සඳහන් කළේය. එලෙස රැගෙන ගියේ සදහටම එහි සිටීමට නොවන බවත්, රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ පසු ඒ මහතා කැමති ස්ථානයකට යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය. ඒ බව නාවික හමුදාපතිවරයා ද එහිදී සහතික කර සිටියේය. ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (11 දා) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment