ඉවසුවා ඇති… – ඖෂධ හිඟයට බෙහෙත් වුවමනාය

532

මේ වනවිට රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇතිවී තිබේ. ඒ බව කියනු ලබන්නේ අප නොව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගිනි. ඔවුන් කියන පරිදි මේ ගෙවී යන අවසන් සති දෙකේදී එම ඖෂධ හිඟය ඉතා බරපතළ ලෙස වර්ධනය වී තිබෙන බවත් මේ නිසා නුදුරු අනාගතයේදී ඉතා දරුණු තත්ත්වයක් රට තුළ ඇතිවනු ඇත. වෛද්‍ය සංගමය රටට මෙසේ අනතුරු හඟවා සිටිමින් පවසන බරපතළ තත්ත්වය යනු රෝගීන් විශාල පිරිසක් අකාලයේ මිය යෑමට ඇති හැකියාවයි.

 මේ වනවිට හෘදයාබාධ සඳහා දෙනු ලබන ඖෂධ, පිළිකා නාශක ඖෂධ, ප්‍රතිජීවක, ජලභීතිකා එන්නත, සර්ප විෂ සඳහා දෙනු ලබන එන්නත්, අක්ෂි කාච හා අක්ෂි රසායන ඇතුළු සෑම ලෙඩකටම පාහේ දෙනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ 130 ක් පමණ මෙසේ හිඟව පවතින බවත්, වෛද්‍ය උපකරණ හා වෛද්‍ය රසායනික ද්‍රව්‍ය හිඟයද ඊට නොදෙවෙනිව බලපා ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

 කොළඹ ජාතික රෝහල හා නගරාශ්‍රිත රෝහල් ඇතුළු සියලු ගම්බද රෝහල් දක්වා මෙම ඖෂධ හිඟය පවතින බව වාර්තා වේ. අත්‍යවශ්‍ය ඖෂධ හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ යනාදී සියල්ලේම හිඟයක් මෙසේ ඇතිව තිබෙන බව අනාවරණය වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් පිහිටුවන ලද විශේෂ කමිටුවකින් කරන ලද පරීක්ෂාවක් අනුවය. එම කමිටුව මගින් හඳුනාගන්නා ලද දත්ත හා තොරතුරු ජනාධිපතිවරයා සහ රජයට ලබාදුන් බවද සංගමය පවසයි.

 රසායනාගාර නිලධාරීන් හා එම වෘත්තීය සංවිධාන පවසන්නේ රසායනාගාර සඳහා භාවිත කරන එක්ස් කිරණ උපාංග ඇතුළු රසායනාගාර උපකරණ හා රසායන ද්‍රව්‍යයන්ගේද විශාල හිඟයක් ඇති බවයි.

 මෙසේ ඖෂධ, ශල්‍ය උපකරණ හා රසායනාගාර උපකරණ හා රසායන හිඟයට හේතුව රටට ඩොලර් නැතිකම, ඉන්ධන හිඟය පමණක් නොව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ බලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වන එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටින්නේ කලට වේලාවට ඖෂධ ආනයනය කිරීමට ඇණවුම් ලබා නොදීමත්, ඖෂධ සැපයුම හා නියාමනයට අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීමත් මෙසේ ඖෂධ, උපකරණ හා රසායන හිඟවීමට බලපා ඇති ප්‍රධාන හේතූන් බවයි.

 කලට වේලාවට ඖෂධ හා උපකරණ ඇණවුම් කළේ නම් මෙවැනි හිඟයක් ඇතිවීමට හේතුවක් නැති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද මේ මොහොත වනවිට අවශ්‍ය ඖෂධ හා උපකරණ ඇණවුම් කළ යුතුව තිබුණේ පසු ගිය වසරේදී බවයි.

 සැබැවින්ම රටට අවශ්‍ය ඖෂධ, උපකරණ හා රසායන ඇණවුම් කිරීම හා සැපයුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශ විසින් සිදුකළ යුතුව ඇත. අද මෙසේ ඇතිව තිබෙන හිඟයට එම ආයතන හා අංශ නිදහසට කියන්නේ කුමක්ද යන්න දැනගැනීමට අපි උනන්දුවෙන් බලාසිටින්නෙමු. අප දන්නා පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මීට ඍජුව වගකීම භාරගත යුතුව ඇත.

 රෝහල් පද්ධතියෙන් ඖෂධ හිඟතාවට අදාළ සැලසුම සකස් කිරීම සාමාන්‍යයෙන් පළමුව සිදුවන ක්‍රියාදාමයයි. ඉන්පසු අදාළ සැලසුම වසරකට කලින් රජයේ මධ්‍යම ඖෂධ ගබඩාවට යොමුකරනු ලබන බව කියයි. එහිදී සකසන වාර්තා පරිදි අත්‍යවශ්‍ය හා ඉක්මනින් ලබාගතයුතු හා රට තුළ නිෂ්පාදනය කළ නොහැකි ඖෂධ නම් අදාළ ඇණවුම ජාතික ඖෂධ නීතිගත සංස්ථාව වෙත යවනු ලබන අතර ඔවුන් වහාම ඊට අදාළව කටයුතු සිදු කළ යුතුවේ. රට තුළ නිෂ්පාදනය කළ හැකි ඖෂධයක් නම් එය යොමුකරනු ලබන්නේ ජාතික ඖෂධ නිෂ්පාදන සංස්ථාවට වේ. මේ අනුව රට තුළ නිෂ්පාදනය වන සීමිත ඖෂධ ප්‍රමාණයට සාපේක්ෂව බහුතරය ආනයනය කිරීම නම් සිදුවන්නේ ඒවා කලට වේලාවට ඇණවුම් කර ආනයනය කිරීම අදාළ රාජ්‍ය ආයතනවල වගකීම වේ. එසේ නම් ඉටුවී නැත්තේ ඔවුන්ගේ මේ වගකීමද…?

 අපට පෙනෙන පරිදි හා වෛද්‍ය සංගම් කියන පරිදි මේ වගකීම හරිහැටි ඉටුවන බවක් පෙනෙන්නට නැත. එසේ ඉටුවූවානම් මෙසේ ඖෂධ හිඟයක් රට තුළ ඇතිවන්නටද ඉඩක් නැත. නමුත් බෝලය කාට හෝ පාස්කරන්නට ඕනෑ නිසා එක්කෝ ඩොලර් හිඟය නමැති මේ දවස්වල ජනප්‍රිය ”කෝකටත් තෛලය” මේ බෙහෙත් හිඟයටත් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් විසින් අතුල්ලනු ලබනු පෙනේ. නමුත් අපට පෙනෙන සැබෑව නම්, ඉහත ආයතන අතර කිසිදු සම්බන්ධීකරණයක් නොමැති කමත්, වගකීම කර හැරීමත් මේ ප්‍රශ්නයට හේතුවී ඇති බවයි. එහි අවසන් ප්‍රතිඵලය රට තුළ අරාජිකත්වයක් නිර්මාණය වීමයි.

 මෙතෙක් අපට මුහුණ දෙන්නට සිදුවූයේ ඉන්ධන, ගෑස්, විදුලිය, ආහාර මිල ඉහළ යෑම වැනි ගැටලු වුවත් ඒ සියල්ලටත් වඩා දැන් මේ ඇතිව තිබෙන ඖෂධ ගැටලුව බරපතළ වූවකි. ආර්ථික අර්බුදයෙන් ළිපටම වැටී සිටින ජනයාට ඇති එකම සහනය වන්නේ ලෙඩට දුකට රජයේ රෝහලකින් නොමිලේ ලැබෙන බෙහෙත් ටික හා නොමිලේ ලැබෙන නේවාසික ප්‍රතිකාරයයි. ඒ පහසුවත් නැතිනම් ජනතාවට ඉතිං දෙයියන්ගේ පිහිටවත් නැති වනු ඇත.

 ඇතිව තිබෙන මේ තත්ත්වය කිසි ලෙසකින්වත් සුළුවෙන් තැකිය හැකි නොවේ. රට විශාලාවක් බවට පත්වීමට පෙර ඖෂධ හිඟයට විසඳුම් දීමට වහාම සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුය. මන්ද රට මෙවන් බරපතළ ආර්ථික හා සමාජමය කඩාවැටීමකට ලක්ව තිබියදී බුරුතු පිටින් කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබාගෙන ඇත්තේ බැබළීමට නොව, රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර සොයන්නට බව මේ සැවොම වටහා ගත යුතුය. එසේ හෙයින් වහ වහා ඖෂධ හිඟයට විසඳුම් නම් වුවමනාමය.

advertistmentadvertistment
advertistmentadvertistment