ඉෂාලිනී වෙනත් තැනක පුළුස්සා ගෙනත් දැමුවාද? – සැක සහිත කරුණු අධිකරණය ඉදිරියේ හෙළිවේ – වධහිංසාදීමට රිෂාඩ් සැකකරුවෙක්

296

*  රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්

ජූඞ් කුමාර් ඉෂාලිනි නමැති දැරිය කෲරත්වයට පත් කිරීම හා වධහිංසනයට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ සිදුකරන විමර්ශනවල 5 වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා නම් කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමට අවසර ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ලබන 6 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (23 දා) නියෝග කළාය.

එම විමර්ශනයේ සෙසු සැකකරුවන් වන රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳ, ඇගේ පියා, සහෝදරයා සහ තැරැුව්කරු ලබන (6 දා) දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය. රිෂාඞ් බදුර්දීන් එකී අපරාධය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ දරා ඇති බවත් ඒ අනුව එම අපරාධයට ආධාර අනුබලදී ඇති බවත් පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් එම ඉල්ලීම කළේය.

එම දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික ප‍්‍රවේශවලට ලක්වී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් පැවැත්වූ දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව පැහැදිලි වන්නේ යැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රිෂාඞ් බදුර්දීන් ඇතුළු සැකකරුවන් එම මරණයේ සැබෑ තතු වසන් කිරීමට දිගින් දිගටම උත්සාහ දරා ඇති බවට පැහැදිලි සාක්‍ෂි ඇති බවත් ඒ අනුව එම මරණය මිනිස් ඝාතනයක් විය හැකි බවට ප‍්‍රබල සැකයක් පවතින බවත් පෙන්වා දුන්නේය.

එම දැරිය රෝහලට ඇතුළත් කළ දිනයේ ඇය හොඳ සිහි කල්පනාවෙන් සිටි බවට හා ඇය විසින්ම ගිනි තබාගත් බවට සාක්‍ෂි ඇති බවට මෙන්ම මිය යෑමට පෙර ඇය දූෂණයට ලක්වී නොමැති බවටත් පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප‍්‍රකාශ කළ බව බොරැුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සටහන් කර ඇතැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එම දැරිය ඊට වසර ගණනාවකට පෙර සිටම අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවට පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා බොරැල්ල පොලිසිය කළ කරුණු පැහැදිලි කර ගැනීම් හමුවේ ප‍්‍රකාශ කර ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි කරුණු අනුව පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන්නේය.

ගින්න හට ගත්තේ කෙලෙසදැයි ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරියත්, හෙද නිලධාරිනියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය පැය තුනකට ආසන්න කාලයක් තුළදී එම දැරියගෙන් විමසා ඇතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ඇය විසින් ලබාදී නැතැයිද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එසේ තිබියදීත් තමා විසින්ම භූමිතෙල් වත්කරගෙන ලයිටරයකින් ගිනි තබාගත් බවට ප‍්‍රකාශ කළේ යැයි පැය තුනකට පමණ පසුව ඇයව පරීක්‍ෂා කළ මේ වන විට විදේශගතවී ඇති වෛද්‍යවරයා සටහන් තබා තිබීම ඉතා බරපතළ සැකයට කරුණක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

ඉෂාලිනී දැරිය රෝහල්ගත වී සිටියදී ඇගේ මව ඇතුළු ඥාතීන් රිෂාඞ් බදුර්දීන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳ වන තුන්වන සැකකාරිය රුපියල් 5000 මුදල් මිටියක් රැගෙන විත් තැරැව්කාර ශංකර් නමැත්තාට ලබාදුන් බවට සාක්‍ෂියක් ඉදිරිපත්වී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වාදුන් දිලීප පීරිස් මහතා මෙහෙකාරිය සේවයේ යොදවා සිටි වහල් කඳවුරක් වැනි වූ එම නිවසේ සිදුවූ එකී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම උඩුගම් පිහිනීමක් වැනි දැවැන්ත අභියෝගයක් බවද කියා සිටියේය.

එම දැරිය ඇඳ සිටි ඇඳුමේ කැඞී තිබූ නූලක් ලයිටරයකින් පිච්චීමට යෑමේදී ගිනි ඇවිලීමක් සිදුවූ බවට එම නිවසේ සිටි වැඩිහිටියකු සාක්‍ෂි ලබාදී ඇති බවත් එහිදී සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නිවැසියන් සිදුකර ඇත්තේ ඔවුන් සතුව තිබූ ධන බලය, දේශපාලන බලය හා පොලිස් නිලධාරීන් යොදවාගෙන විමර්ශන නොමඟ යැවීමේ කි‍්‍රයාදාමයක් වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයන් එම ගිනි තැබීම සිදුකළ බවට මේ වන විට කිසිදු සාක්‍ෂික් ඉදිරිපත්වී නොමැති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔවුන් ඇපමත මුදාහරින ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එකී මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ නව සාක්‍ෂි අනුව සැකකරුවන් සත්‍ය වසන්කර වංචනික ආකාරයෙන් කටයුතු කර ඇති බවට තම අධිකරණයට පෙනී යන බවත් මෙම අවස්ථාවේදී ඔවුන් ඇපමත මුදාහැරීම යුක්තිය ඉෂ්ටවීමට බාධාවක් විය හැකි බවත් පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළාය.

එම දැරියව වෙනත් ස්ථානයකදී ගෑස් මගින් පුච්චා පසුව එම ස්ථානයට ගෙනත් දැමූ බවට බලවත් සැකයක් පවතින්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරුවන් එකී දැරිය ගිනි ගැනීම සම්බන්ධයෙන් තම ගිලන් රථයට දැනුම් දුන් වහාම ඇයගේ ශරීරය සිසිල්ව තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම ගිලන් රථයේ සේවය කළ හෙද නිලධාරිනිය දැනුම්දී ඇතත් ඔවුන් එම නිවසට යන විටත් එකී උපදෙස් අනුව කටයුතු කර නොතිබූ බවට සාක්‍ෂි ඉදිරිපත්වී ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. ගින්න ගැන දැනගත් වහාම රිෂාඞ් බදුර්දීන්ගේ නිවසට ගොස් ඇගේ ඥාතීන්ට මුදල් ලබාදෙන බවට පොරොන්දු වී විමර්ශන කටයුතු අඩාල කිරීමට මැදිහත්වී ඇති පොලිස් මූලස්ථානයේ සේවය කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහිව නිසි පියවරක් ගැනීමට උසස් පොලිස් නිලධාරීන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ශී‍්‍ර ලංකා පොලිසියට ලැජ්ජාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි තමා සිතන බවටත් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම සැකකරුවන් වෙනුවෙන් පෙර නඩු දිනයේදී කළ ඉල්ලීම ගරු අධිකරණය පෙර දිනයේදී ප‍්‍රතික්‍ෂේප කළ අවස්ථාවේදී යම්කිසි නීතිඥවරයකු හෝ පිරිසක් විසින් අමුතු ශබ්දයක් නඟමින් ‘තෑන්ක්ස් යූ ඕනර්’ ලෙස පැවසීම ගරු අධිකරණයට කළ අපහාසයක් ලෙස තමන් දකිනා බවත් එහිදී පෙන්වා දුන් දිලීප පීරිස් මහතා තමන් එකී කි‍්‍රයා කලාපය හෙළා දකින බවද පෙන්වා දුන්නේය.

5 වන සැකකාර රිෂාඞ් බදුර්දීන් පසුගිය 15 වැනිදා බන්ධනාගාරය තුළදීම වෛද්‍යවරයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම අනුවම ඔවුන්ගේ සැබෑ කි‍්‍රයා කලාපය පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment