ඉස්කෝලේට ආයෙත් බිස්කට්

5372

ඒත් “ඇදිහැසට” කිට්ටු වෙන්න පෝෂණ අතිරේකයක් නෑ!

කාලයක් බනිස් දුන්නා…..ඒ නිසා විජයානන්ද දහනායක බනිස් මාමා වුණා

කිරි වීදුරුවට වෙච්ච දෙයක් නෑ! තාමත් “කොළඹට කිරි – ගමට කැකිරි”

කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළක් යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුක්ත බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් රජය විසින් ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවේ එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය සම්පූර්ණ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවය.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳව සිදුකළ සෞඛ්‍ය අධ්‍යයනවල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් අතර කෘෂ බව, මිටි බව, යකඩ ඌනතාවය ආදී ගැටලු බොහොමයක් ඇති බවය. එම තත්ත්වයන් සිසුන්ගේ මානසික තත්ත්වයන් කෙරෙහි ද අහිතකර ලෙස බලපාන බව පැහැදිලි වී ඇත.

මෙම සිසු පරපුරට අනාගතය ජය ගැනීමට නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න පරපුරක් බවට පත්විය යුතුය.

සිසුන්ගේ කායික සහ මානසික සමබරතාවය නිසි පරිදි පවත්වාගෙන යෑමටත්, ඔවුන්ගේ අධ්‍යාපනය යම් සාධනීය මට්ටමකට ළඟාකර ගැනීමටත් විශේෂයෙන් පෙර පාසල් සිසුන්හට ආහාර වේලක් ලබාදීමට රජය තීරණය කරන ලදි.

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ එක්දහස් නවසිය තිස්එක පමණ ඈත කාලයේය. එකල සමහර පාසල්වල දරුවන්ට පෝෂ්‍යදායක කැඳ කෝප්පයක් ලබාදී ඇත.

සමහර පාසල්වල වෑංජන දෙකක් සහිතව බත් ආහාර වේලක් ලබා දී ඇත. මේ සඳහා සහල් ලබා ගැනීමට රජයෙන් සහනාධාර මුදලක් ලබා දී ඇත. පසු කාලයක රටවාසී සෑම කෙනෙකුට ම නොමිලේ සහල් සේරු දෙකක් ලබාදෙන සමයේ මෙම සහනාධාර මුදල පාසල් වෙත ලබාදීම අත්හිටුවනු ලැබිණ.

එකල සෑම පාසලකම පළමු ශ්‍රේණියේ සිට කෘෂිකර්මය ප්‍රායෝගික විෂයක් විය. සෑම පන්තියකම ළමුන් විසින් සංවිධානය කළ එළවළු කොටුවක් විය. මේවායින් නිරන්තර එළවළු පලදාවක් ලැබුණි.

ඉස්කෝලේට ආයෙත් බිස්කට්

එකල පාසල්වල දහවල් ආහාරය ලබාදීමේ දී පිළියෙල කරන වෑංජන පිසීම සඳහා උපයෝගී කරගන්නා ලද්දේ මෙලෙස පාසල් වත්තෙන්ම නිපදවනු ලබන එළවළු වර්ගය.

මුහුද සමීපයේ පිහිටි පාසල්වලට, මාදැල්කරුවන් විසින් ඔවුන්ගේ මත්ස්‍ය අස්වැන්න වැඩිවූ දිනක පාසල් ළමුන් සඳහා මත්ස්‍ය ප්‍රමාණයක් නොමිලයේ ලබාදෙන අතර එවැනි දිනක එවැනි පාසල්වල දරුවන්ට බත් සමග මාළු හොද්දක රස බැලීමේ අවස්ථාව ඉඳහිට හිමිවිය.

එක්දහස් නවසිය තිස් ගණන්වල ශ්‍රී ලංකාව පුරා මැලේරියා උවදුර ව්‍යාප්ත වෙමින් පැවතුණ අවධිය විය. ග්‍රාමීය පවුල්වල බොහෝ දෙනෙකුට කිසියම් ආදායම් මාර්ගයක නිරත වීමට නොහැකිවූ අතර බොහෝ පවුල් නිරන්තර සාගින්නට ගොදුරු වූහ. මේනිසා පාසලෙන් දිවා ආහාරය ලබාදීම පාසල් යන වියේ සිටින දරුවන් පාසල් වෙත සමීපකර ගැනීමේ එක්තරා උපක්‍රමයක් ද විය.

දෙවන මහා ලෝක යුද්ධ සමය සමග රට තුළ ඇතිවූ ආහාර හිඟය සහ ආර්ථික බිඳ වැටීම නිසා රජය පාසල් වෙත දිවා ආහාර ලබාදීම සඳහා වෙන්කරන ලද ආර්ථික ප්‍රතිපාදන කපා හරින ලදි. මෙනිසා එතෙක් පවත්වාගෙන පැමිණි පාසල්වල දිවා ආහාරය ලබාදීම නවත්වන ලදි. එයින් පසු කාලයක ඇමරිකානු ආධාර යටතේ ග්‍රාම සංවර්ධන සමිති මගින් පාසල් දරුවන්ට කිරි කෝප්පයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදි.

පසු කලෙක මෙම කිරි කෝප්පය ලබාදීමේ කටයුත්ත ග්‍රාම සංවර්ධන සමිතිවලින් ඉවත් කර පාසල්වලට කිරි කෝප්පය ලබාදීමේ වගකීම පවරන ලදි. අඩි එකහමාරක් දෙකක් පමණ උස රිදී පාට රවුම් ටින් එකක කළු ඉංග්‍රීසි අකුරු මුද්‍රණය කළ එම ඇමරිකානු පිටි ටින් මට ද යාන්තමකට මතකය. අපේ ගමේ පාසලේ කිරි සෑදීමේ කටයුත්ත සිදුකළ මේරි නැන්දා අපි කවුරුත් හැඳින් වූයේ කිරි අම්මා ලෙසය. කම්බායකින් සහ හැට්ටයකින් සැරසුණ මේරි නැන්දා මහත දෙහෙත සිරුරකින් යුක්ත අයෙකු විය.

පාසල අයිනක එළිමහනේ ළිපක් ඉදිකර විශාල ඇලුමීනියම් කල්දේරමක මේරි නැන්දා පාසල් ළමුන් සඳහා කිරි පිළියෙල කළා ය. එය වතුර සහ පිටි කිරි දියකළ උණුසුම් පානයක් මිස සීනි රහ එක්කල පානයක් නොවීය.

සෑම ළමයෙක්ම නිවසින් කුඩා බෙලෙක් කෝප්පයක් පාසලට එන විට රැගෙන ආහ. උදෑසන විවේක කාලයේ දී සියල්ලෝ ම කිරි අම්මා අසල පේළි ගැසෙති. උන්දෑ තමන් අතවූ කෝප්පයකින් අප අතවූ බෙලෙක් කෝප්පයට කිරි වක්කර දෙයි. ඒ කිරි බෙදාදීම සිදුවූයේ ද සිසුන්ගේ මුහුණ දෙස බලාගෙනය. කිරි අම්මා දන්නා හඳුනන සිසුන්ගේ බෙලෙක් කෝප්පය පිරෙන්නට කිරි ලැබුණි. හඳුනන්නේ නැති සිසුන්ගේ කෝප්ප පිරුණේ අඩකිනි.

ඒ කාලයේ පාසලේ සකස් වුණ කිරිවලට සීනි එකතු නොකෙරුණි. සමහරවිට ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොවූවා විය හැක. නැති නම් සීනි සෞඛ්‍යයට අහිතකර නිසා සීනි එකතු නොකළා විය හැක.

සමහරු මෙම කිරි කෝප්පය බීම සඳහා පත්තර කොලයක එතූ සීනි ස්වල්පයක් නිවසින් ගෙන ආහ. එය කිරි අම්මාට දුන් විට උන්දෑ එය කිරි කෝප්පයට දමා හැන්දකින් කලවම්කර දුන්නීය. කිරි කෝප්ප බීම සඳහා හකුරු කෑල්ලක් හෝ සක්කර කෑල්ලක් ගෙනා අය ද වූහ. එකල සක්කර කෑල්කක මිල ශතයකි. කිරි අම්මා කිරි සෑදීමට නොපැමිණි දිනක, ලොකු මහත්තයාගේ කාමරයට ගිය විට ලොකු මහත්තයා පිටි ටින් එකෙන් පිටි හැඳි දෙකක් කොලයකට හෝ අත්වලට දෙයි.

‘ඕක කාලා වතුර බීපල්ලා’ ලොකු මහත්තයා පවසයි. ඇමරිකානු ආධාර යටතේ පාසල්වලට ලබාදුන් කිරි කොප්පය පිළිබඳව දෝෂාරෝපණය කළ අය එකල ද සිටියහ. ඔය ඇමරිකාවේ අතිරික්ත එළකිරි පිටි බවට පත් කරලා එවන රොඩ්ඩ. හොඳ හරියෙන් බටර් හදනවා. එසේ පැවසූ ඔවුන් වැඩිදුරටත් පැවසුයේ ලංකාවේ පාසල්වලට කිරි කෝප්පය ලබාදීමෙන් මෙපමණ කාලයක් එළදෙන ගෙන් දොවාගත් කිරි පානය කළ ශ්‍රී ලාංකික ජනතාවට කිරි පිටි පුරුදු කිරීමේ රහසිගත මෙහෙයුමක් බවය.

එක්දහස් නවසිය පනස්හය බණ්ඩාරනායක රජයේ අධ්‍යාන ඇමැතිවරයා වූ විජයානන්ද දහනායක එතෙක් නවත්වා තිබූ දහවල් ආහාරය වෙනුවට බනිස් ගෙඩියක් ලබාදීම ක්‍රියාත්මක කළේය. මෙනිසා ම විජයානන්ද දහනායක, පාසල් සිසුන් අතර හැඳින් වුණේ ‘බනිස් මාමා’ යන ආදර හැඳින්වීමෙනි.

අපට මතක ලෙස එලෙස පාසල්වලට ලබාදෙන බනිස්, උස් හැඩයකින් යුක්ත එකක් විය. බනිස් පනහක් පමණ එකට ඇලී තිබුණ අතර එක එක බනිස ගලවා වෙන්කර ගත යුතුය. බනිසෙහි උඩ කොටසෙහි සීනි තවරා ලොකු සීනි ඇට ඉසුණ එකක් විය. බනිස් ලබාදීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් බේකරි හිමියාට එම අපූරු බනිස් සාදා ගැනීමට නොහැකි දිනට ජෑම් තැවරූ පාන් පෙති දෙකක් ලැබුණි. ජෑම් කීවාට ඒවා රතු වර්ණය මිශ්‍රකර සීනි උණුකළ ද්‍රාවණයක් විය.

ලංකාවේ පාසල් දරුවන්ට පාසල් ආහාරය සඳහා බිස්කට් ලැබෙන්නේ එක්දහස් නවසිය හැටඅට කාලයේය. ඒ ඇදි හස යෝජනා ක්‍රමය යටතේය. ඇමරිකානු දීමනා හැමට සමව යන යෝජනා ක්‍රමය යටතේය. එකල ලංකාවේ පැවැති බිස්කට් සමාගම් දෙකක් මගින් මෙම ඇදිහස බිස්කට් නිර්මාණය කරන ලදි. අද මැදිවිය ඉක්මවා සිටින බොහෝ දෙනා තමන් පාසල් වියේ දී රසවිඳි මෙම බිස්කට් පිළිබඳව කතා කරන්නේ මහත්වූ ප්‍රසාද හැඟමකීන් යුක්තය. එම බිස්කට්වල සුවඳ රසය ඔවුන් සිත්තුළ තලු මැරෙන්නේය.

පාසලට බිස්කට් ලැබෙන ප්‍රමාණය අනුව දිනකට එක් ළමයකුට බිස්කට් 6-12අතර ප්‍රමාණයක් ලැබුණි. පාසලේ මුල් විවේක කාලයේ දී පාසලේ ඉහළ පන්තිවල ළමුන් පන්තිවලට පැමිණ ළමුන් සඳහා බිස්කට් බෙදූහ. සමහර පාසලක පන්තියක ළමුන් දෙදෙනකු විදුහල්පති කාමරයට ගොස් තම පන්තියට අවශ්‍ය බිස්කට් රැගෙනවිත් තම පන්තියේ ළමුන් අතර බෙදා දුන්හ. එකල පාසල්වල මෙම බිස්කට් සීට්ටු විය. දිනකට ලැබෙන බිස්කට්වලින් දෙකක් හෝ තුනක් සීට්ටුවට යොමුකළ අතර තමන්ගේ දිනයට විශාල බිස්කට් ප්‍රමාණයක් ලැබුණි. පාසල් නොයන බාල සොහොයුර සොහොයුරියන් සඳහා නිවසට බිස්කට් ගෙන ගිය වැඩිමල් සොහොයුරු සොහොයුරියන් බොහෝමයක් ඇත.

පසු කාලයක පාසල් දරුවන්ගේ ආහාරය වෙනුවෙන් ආහාර මුද්දර නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ පාසල් තුළ ආරම්භ විය. මේ සඳහා බත් හෝ ධාන්‍ය ආහාර වශයෙන් පාසලට ගෙනයා යුතු විය. පාසලේ ගුරුවරයා ආහාර බඳුන බලා කාඩ් පතෙහි නියමිත දිනය සලකුණු කරනු ලැබේ. මාසය අවසානයේ කාඩ් පත ගෙන ගොස් ගමේ සමුපකාරයෙන් බඩු ලබාගත හැක. සමහර පාසල්වල මේ සඳහා ම කුඩා සමුපකාර වෙළෙඳ සැලක් පිහිටු විය. මේවායේ කඩල සෝයාමීට්, මයිලෝ පිටි පැකට්, විටාමිල්ක් කුඩා පිටි පැකට් වැනි සුවිශේෂ භාණ්ඩ කීපයක් අලෙවිය සඳහා විය. එසේ සමුපකාර වෙළෙඳ සැලක් නොමැති පාසල්වලට ප්‍රදේශයේ සමුපකාර සංගමයේ ලොරියක් පැමිණ දරුවන් වෙත භාණ්ඩ අලෙවි කිරීම සිදුකෙරුණි. එයිනුත් පසු කාලයක කොළඹ පාසල්වලට පමණක් කිරි පැකට්ටුවක් සහ බනිස් ගෙඩියක් ලබාදීම සිදුවිය. මෙය දිවයිනේ වෙනත් පාසල්වලට නොලැබුණි.

‘කොළඹට කිරි, අපිට කැකිරි‘ ජනප්‍රිය පාසල් සටන් පාඨය සිසුන් අතර ප්‍රචලිත වූයේ එම අවධියේය. පසු කාලයක මුළු රටට ම කිරි මතුදු නොව කැකිරිවත් නොලැබුණි.

දෙදහස් දහහත වර්ෂයේ දී ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ලෝක ආහාර වැඩපිළිවෙළේ ආධාර ඇතිව ළමුන් සියයකට අඩු සිසුන් සිටින පාසල්වලට දිවා ආහාර සැපයීම සිදුවිය. 2017 දී පාසල් 7871 ක සිසුන් 1,105,605 ආහාර දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. එම ආහාර ලබාදීම සිසුන්ගෙන් සියයකට පනස් එකකට වැඩි සංඛ්‍යාවකට ලබාදීම රජයේ අරමුණ වෙයි.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment