ඉස්කෝල ඇරලා විභාග තියන්නේ මෙහෙමයි!

209

පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නව තීරණ රැසක් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පවසයි. පාසල් ශිෂ්‍යයන් සඳහා කොවිඞ් මර්දන එන්නත ලබාදීම මේ දිනවල සිදුකරන අතර ඉන් අනතුරුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නමුත් පාසල් විවෘත කළ ද ගුරු විදුහල්පති වරුන්ගේ වැටුප් විෂමතාවය සහ අනෙකුත් ගැටලූ වලට විසඳුම් ලබාදෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි නොවන බවත් දිගින් දිගටම ගුරු වර්ජනය සිදුකරන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

මේ අතර ගුරු විදුහල්පති වරුන්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව කර ඇති යෝජනාවට එකඟ වන මෙන් ශ‍්‍රී ලංකා අධ්‍යාපන සේවා සංගමය ගුරු සංගම් වලින් ඉල්ලා සිටී. කෙසේ වෙතත් තවමත් විසඳුම් ලැබී නැති ගුරු විදුහල්පති ගැටලූ නිසා පීඩාවට පත්ව සිටින්නේ මේ රටේ අනාගත උරුමකරුවන් වන ළමා පරපුර යැයි දෙමව්පියන් පවසයි. කොවිඞ් වසංගතයේ ආරම්භයත් සමඟම පාසල් වසා දැමීමට සිදු වූ අතර දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා විකල්ප මාර්ගයක් ලෙස මාර්ගගත ක‍්‍රමය භාවිතයට ගැනුණි.

මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ද ගුරුවරුන්ට මෙන්ම ශිෂ්‍යයන්ට ද බොහෝ ගැටලූ වලට මුහුණ දීමට සිදු වූ බව මින් පෙර ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ හරහා අපි වාර්තා කළෙමු.

මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීමට ජංගම දුරකථනයක් හෝ අන්තර්ජාලයට ප‍්‍රවේශ විය හැකි උපකරණයක් නොතිබුණු ළමුන් ද සිටි අතර දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් කෙලෙසක හෝ ජංගම දුරකථනයක් මිලට ගෙන දුන්නේ දරුවාගේ අධ්‍යාපනය අතරමග නතර කළ නොහැකි නිසාය. දුරකථනයක් තිබුණද අන්තර්ජාලයට ප‍්‍රවේශ වීමට අවශ්‍ය දුරකථන සබඳතා නොමැතිවීම නිසා ගස් ගල් උඩ සිට අධ්‍යාපනය ලබන දරුවන් ගැන ද අපි මීට පෙර වාර්තා කළෙමු. එලෙස දුෂ්කරතා මැද වුවද දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ එකම අවස්ථාව ඇහිරී ගියේ ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා දෙනතුරු ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීමට ගත් තීරණයක් සමඟය.

‘‘අපේ දරුවන්ට ඉස්කෝලේ වැහුවට පස්සේ ඉගෙන ගන්න ලැබුණේ ඔන්ලයින් ක‍්‍රමයට. තියෙන දෙයක් විකුණලා හරි දෙමාපියෝ ළමයින්ට ෆෝන් අරගෙන දුන්නා. සිග්නල් නැති පැතිවල දරුවන්ට ඒ දෙමාපියන් රවුටර් පවා අරගෙන දීලා තිබුණා. සමහර වෙලාවට ගස් ගල් උඩ ඉඳගෙන කැලෑවල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න ළමයිනුත් හිටියා. ඒ විදියට අමාරුවෙන් ඉගෙන ගත්තු ළමයින්ට මේ කොරෝනා එක්ක ඉගෙන ගන්න තිබුණු එකම ක‍්‍රමයත් ගුරු වර්ජනය නිසා නැති වෙලා ගියා” ලෙස කාන්ති අශෝකා මහත්මිය පැවසුවාය. හැකි අයුරින් දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය දෑ අසීරුවෙන් වුවද සපයා දෙන්නේ දරුවන්ගේ අනාගතය සුන්දර එකක් කිරීමේ බලාපොරොත්තු පෙරදැරිවය.

ඒ බලාපොරොත්තු අතරමඟ නතර වූ පසු කුමක් කළ යුතුදැයි දෙමාපියන් බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරයි.

‘‘ඇත්තටම ගුරුවරු කියන්නෙත් මනුස්සයෝ පිරිසක් ඔවුන් කරන සේවය මිල කරන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම්ලටත් රජය කන්දීලා සහනයක් දුන්න නම් අපේ දරුවන් අදත් ගෙදරට වෙලා නිදහසේ ඉගෙන ගන්නවා.” ලෙසට ඇතැම් දෙමාපියන් පවසන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම්වල කිසිදු වරදක් නොමැති බවයි. රජය විසින් මෙම ඉල්ලීම් වලට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූවා නම් දරුවන් අපහසුතාවයට පත් නොවන බව ද ඔවුන් සිහිපත් කරයි.

මේ අතර වර්ජනය දිගින් දිගටම පැවතිය ද ඇතැම් ගුරුවරුන් හැකි අයුරින් දරුවන්ට පැවරුම් ලබාදීම්, ඉගැන්වීම් සිදු කරපු අවස්ථා පිළිබඳවද අපට තොරතුරු වාර්තා විය. ඇතැම් අවස්ථාවල එවැනි ගුරුවරුන්ට ඉගැන්වීම් නවතා දමන ලෙස විවිධ පුද්ගලයින් තර්ජනය කර තිබුණි.

ගුරු විදුහල්පති උද්ඝෝෂණ, වැඩ වර්ජන දිගින් දිගටම පවත්වා ගන්නේ ගුරු සේවා සංගම් හා වෘත්තීය සමිති නායකයින්ගේ අවශ්‍යතාවයට බවට ඇතැම් දේශපාලන පක්ෂ සහ මහජනතාව අදහස් දක්වයි. කොරෝනා වසංගතය පවතින කාලයේ ගුරුවරුන් සිදු කරන්නේ වෘත්තීය සමිති නායකයින්ගේ පදයට නැටීම බවට බොහෝ දෙනකු අදහස් දක්වයි. කෙසේ වෙතත් මෙලෙස දිගින් දිගටම ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් තුළින් ඈත් වී මාස ගණනාවක් ගත වුවද තවමත් දරුවන් ගැනවත් සිතා වගකිවයුතු පිරිස තීරණයක් නොගැනීමේ පාඩුව සිදුව ඇත්තේ දරුවන්ට මිස වෙනත් කිසිවෙකුට නොවන බව පාසල් බස් රථ රියදුරකු ලෙස කටයුතු කළ සමන් හේරත් මහතා කියා සිටියේය.

‘‘අපි උදේ හවස දරුවන්ගේ මුහුණ දැකපු මිනිස්සු. දරුවන් පාසලට ගෙනයැම වගේම ආපසු ගෙන ඒමත් අපේ වගකීමක්. පාසල් වසා දැමීමත් එක්ක දරුවන්ව නිවෙස් තුළම රඳවන්නට සිදුවුණා. ඒ පාඩුව මකා ගන්න ඔන්ලයින් ක‍්‍රමයට ඉගැන්වීම් කටයුතු කළත් ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඈත් වුණාට පස්සේ දරුවන්ට කරගන්න දෙයක් නැති වුණා. ආණ්ඩුවයි ගුරුවරුයි එකතු වෙලා මේ කඹ අදින එකෙන් වෙන්නේ ළමයින්ගේ ජීවිත අනතුරේ වැටෙන එක.”

මේ අතර ගුරු වර්ජනය සම්බන්ධයෙන් අලූත්ම කතාව වන්නේ මාර්ගගත ක‍්‍රමයට ඉගැන්වීම් වලින් බැහැර වී සිටින පාසල් ගුරුවරුන්ම එම දරුවන් ඉලක්ක කර ගනිමින් මුදලට පංති ආරම්භ කිරීමයි.

‘‘ දරුවන්ට උගන්වන එක නතර කරලා දානවා කියන ඇතැම් ගුරුවරුන් දරුවන්ට පුද්ගලික පංති වලට සම්බන්ධ වෙන්න කියනවා. මුදල් අයකර ගනිමින් දරුවන්ට උගන්වනවා. මේ වසංගතයත් වර්ජනයත් තමන්ගේ වාසියට හරවගත්ත ගුරුවරුන් පිරිසකුත් ඉන්න බව කනගාටුවෙන් වුවත් මතක් කළ යුතුයි. අපේ කාලයේ නම් ගුරුවරු කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අපිට ඉගැන්නුවා”

මේ අතර මෙම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග විෂය නිර්දේශ ආවරණය කර ගැනීමට නොහැකි වීම නිසා ලබන වසරේ මුල දක්වා කල්දැමීමට සිදුවන බව හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් තවදුරටත් සාකච්ඡා කර විභාග පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී දැනුම් දෙන බව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගිය හත්වනදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘‘මේ විදියට විභාග කල්යන එක ගැටලූවක්. ඒ වුණත් විෂය නිර්දේශ ආවරණය කරන්නේ නැතුව විභාග වලට මුහුණ දෙන්නත් බෑ. මේ විදියට ගුරුවරු උගන්වන්නේ නැති වුණොත් අමතර පන්ති වලට සහභාගි වෙලා හරි අපට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. විභාගය කල් යනවා කියන්නේ තවත් අමතර පන්ති වලට වියදම් කරන්න වෙනවා කියන එක. ඒ නිසා අපි ගැනත් හිතලා ගුරුවරුයි මේ පාලකයෝයි තීරණයක් ගන්නවා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ” ලෙස මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්ව සිටි ශිෂ්‍යයකු එලෙස පැවසීය. පාසල් නැවත විවෘත කළ ද තවමත් කොවිඞ් වසංගතයේ අවදානම පහව ගොස් නැති නිසා දරුවන් පාසල් යැවීමට දෙමාපියන්ගේ කැමැත්තක් නොමැති බවද විවිධ පාර්ශවයන් කියයි. නමුත් අනෙක් පුද්ගලයන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියට වඩා දරුවන්ගේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය ශක්තිමත් නිසා දරුවන් පාසල් යැවීමට බිය විය යුතු නැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. නැවත පාසල් විවෘත කිරීම සිදුවන්නේ නව වැඩපිළිවෙළක් යටතේ නිසා දරුවන්ට කිසිසේත්ම අසාධරණයක් වන්නට ඉඩ නොතබන බවත් දෙමාපියන් ඒ වෙනුවෙන් සහයෝගය දැක්විය යුතු බවත් අධ්‍යාපන ලේකම්වරයා සිහිපත් කරයි. මේ වන විටත් වෘත්තිය සමිති තව තවත් ශක්තිමත් වෙමින් ගුරු වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරයි. ආණ්ඩුව ලබා දුන් විසඳුම් වලට ඔවුන්ගේ එකඟතාවයක් නැත. එලෙසම මේ වර්ජනය ප‍්‍රයෝජනයට ගනිමින් ඇතැම් පිරිස් දේශපාලන වාසි ලැබීමේ අරමුණින් විවිධ ක‍්‍රියාවන්වල නිරත වේ. මේ මොහොතේ සිදුවිය යුතු වන්නේ රටේ අනාගත පරපුර වන දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීම මිස දේශපාලන මතිමතාන්තර වලට බෙදී තර්ක කිරීම නොවේ. එම නිසා තමන්ගේ දරුවන් ගැන සිතා රටේ අනාගතය ගැන සිතා තීරණයක් ගන්නා ලෙසට දෙමාපියන් ශිෂ්‍යයන් සහ සමස්ත මහජනතාවම සියලූම වෘත්තීය සමිති නායකයින්ගෙන්, ගුරු විදුහල්පතිවරුන්ගෙන්, අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ පාලකයින්ගෙන් ඉල්ලා සිටිති.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment