ඉස්කෝල කතාවක්  – (අනුරාධපුරයට අදාළයි)

1453

මවක් සමග ඇතිකරගත් ආරවුලකින් පසු විදුහල්පතිතුමා විසින් ඇගේ දරු තිදෙනා එළියට ඇද දැම්මේ යැයි කියන සිද්ධියක් සම්බන්ධෙන් විරෝධය පළකරමින් දෙමාපියන් පිරිසක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පෙරේදා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. දරුවන් තිදෙනා උදෑසන ආහාර ගනිමින් සිටියදී මෙසේ එළියට ඇද දමනු ලැබ ඇත. මෙය ඉතා සංවේදී සිද්ධියකි. මෙය වඩාත් සංවේදී වන්නේ මව සහ දරුවා යන ඒකාබද්ධ සාධකය මේ සිද්ධියේ Focal Point හෙවත් ප්‍රමුඛ කේන්ද්‍රීය ලක්ෂය බවට පත්වන නිසාය. මේ විදුහල්පතිවරයාට විරුද්ධව පහත සඳහන් චෝදනා දෙමාපියන් සහ ගුරුවරුන් විසින් මේ ආකාරයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත. එනම්,

1. දරුවන් තිදෙනා පාසලෙන් එළියට ඇද දමන ලද්දේ පාසලේ උදේ ආහාරය සකසමින් සිටි දෙමව්පියන් ඉදිරිපිටදීය.

2. එසේ එළියට ඇද දැමීමෙන් පසු නාම ලේඛනය ගෙන දරුවන්ගේ නම් කපා දමන ලෙස විදුහල්පතිතුමා ගුරුවරියකට පවසා ඇත. මේ කියන්නේ පැමිණීමේ නාමලේඛනය හෙවත් Attendance Register එකෙන් දරුවන් තිදෙනාගේ එදින පැමිණීම අවලංගු කිරීම බව විය යුතුය.

3. මෙම විදුහල්පතිතුමා මීට පෙරද සිසුන් කිහිපදෙනකුට පයින් පහරදී බිම දමා පාගා ඇත.

4. සිය පෞද්ගලික වියදමෙන් දරුවන්ට පරිගණක විද්‍යා උගැන්වීම සඳහා පාසලට පරිගණක ගෙනා ගුරුවරියන් කිහිපදෙනකු විදුහල්පතිගේ ගැහැට ඉවසීමට බැරි තැන පාසලෙන් මාරුවීම් ලබාගෙන ගොස් ඇත.

5. විදුහල්පතිතුමා කාන්තාවක් සමග කාර්යාලය තුළ සිටින විට එම කාර්යාලය දෙස බලමින් ගමන් කළ දරුවන් කිහිපදෙනකුට එතුමා තර්ජනය කර ඇත. එතැන් සිට අත්‍යවශ්‍ය කරුණකට යෑමට පවා විදුහල්පති කාර්යාලයට යෑමට ළමයි අදිමදි කරති. ඉහතින් අප සඳහන් කලේ අගතියට පත් මව හා දරුවන් පිළිබඳ කතාවය. මෙතැන් සිට අප කියන්නේ මේ පිළිබඳ විදුහල්පතිතුමා කියන කතාවය. විදුහල්පතිතුමා විසින් කරන ලද චෝදනා ලෙස එම කතාව මෙසේ ගොනු කරමු.

1. ළමයින්ට සෙල්ලම් කිරීම සඳහා කළයක් රැගෙන යෑමට කාර්යාලයට පැමිණි අවස්ථාවේදී අදාළ මව විදුහල්පතිට කුණුහරුපයෙන් බැන ඇත. ඒ ගැන ඔහු පොලිසියේ පැමිණිල්ලක් ද කර තිබේ.

2. විදුහල්පතිට එරෙහි විරෝධතා දක්වන්නේ එකම පවුලක පිරිසකි. එම පිරිසට ඥාතීත්වයෙන් බැඳී සිටින ආච්චිලා, සීයලා, මුණුපුරන් සහ මිනිපිරියන් අයත්ය.

3. තමන් අල්ලස් චෝදනාවකට කොටු කිරීම සඳහා මේ පිරිස තැත් කර ඇත. එය බැරිවූ තැන තමන්ට අනියම් සම්බන්ධතා ඇති බව කියමින් තම චරිතය ඝාතනය කිරීමට ඔවුහු උත්සාහ කරති.

ඉහත සඳහන් චෝදනා කාණ්ඩ දෙක සලකා බැලීමෙන් අපට පෙනී යන්නේ පාර්ශව දෙකම එකිනෙකා වෙතින් ගේම ඉල්ලන බවය. විදුහල්පතිතුමා තම පාසලේ දරුවන් තිදෙනකු පාසල් කාලය තුළ එළියට ඇද දැමීම බලවත් වරදකි. ඒ සම්බන්ධයෙන් නම් එතුමාට එරෙහිව කේස් එකක් ෆයිල් වීම වැළැක්විය හැක්කේ එතුමාට හිතවත්කම් ඇති බලගතු දේශපාලනඥයකුට පමණි. එහෙත් මේ වැඩේ මාධ්‍යවලද පළවී වර්චස් වී ඇති බැවින් කිසිවක් ගොඩදමා ගැනීමට දැනට පුළුවන් බවක් නොපෙනේ. මව සමග කවර ගුටි කෙළියක් කෙළ ගත්තත් එයට ඇගේ දරුවන් සම්බන්ධ බව විදුහල්පතිතුමා විසින් කොතනකවත් දක්වා නැත. විදුහල්පතිතුමාට වරදිනවා නම් වරදින්නේ මෙන්න මේ කාරණය නිසා යැයි අපි අදහස් කරමු. මේ රටේ පාසල්වල විවිධ අභ්‍යන්තර අර්බුද තිබේ. ළඟදී දවසක කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමා සම්මන්ත්‍රණයක් පවතින අවස්ථාවක ගුරුවරයකුගේ අතින් ඇද තර්ජනාත්මක ලෙස හැසිරුනේ යැයි කියමින් එම පාසලේම ගුරුවරු පිරිසක් වැඩ වර්ජනයකට සූදානම් වූහ. සම්මන්ත්‍රණයට අදාළ කථිකයා සිය දේශනය පවත්වද්දී විදුහල්පති විසින් අදින ලද අතේ අයිතිකාර ගුරුතුමා වෙනත් දේවල් කෙරෙහි අවධානය යොමුකරමින් සිටි බවත් විදුහල්පතිගේ තර්ජනය ඊට සමගාමීව සිදුවූ බවත් දැන ගන්නට තිබේ. මේ රටේ පාසල් තුළ රටේ අන් හැම තැනක මෙන්ම වැඩිමනත් එකමුතුවක් නැත. ගුරුවරුන් උත්සහ කරන්නේ විදුහල්පතිට කෙළීමටය. නැත්නම් විදුහල්පති බලන්නේ ගුරුවරුන්ට කෙළීමටය. ඇතැම් ගුරුවරු පාසල් තුළ කල්ලි හදති. ඇතැම් විදුහල්පතිවරුද ඒ හා සමානම දේවල් කරති. මේ නිසා ඇතැම් ගුරුවරු, ගුරු දෙවි යන ගෞරව නාමයෙන් ඈතට ගමන් කර ඇති අතර දෙවියන් සිටින තැනට යක්ෂයා ආදේශ වී ඇත. මේ අතර විදුහල්වල සිටින ඇතැම් ආදි ශිෂ්‍යයෝද ගුරු දෙගුරු සංගමයේ ඇතැම් සාමාජිකයෝද පිස්සු කෙළිති. ලෝකයේ දියුණු රටවල් බොහොමයක ශිෂ්‍ය ප්‍රජාව පාසල් ජීවිතය අවසන් වීමෙන් පසු පාසල අත්හැර දමති. එයට හේතුව තමන් වෙනුවට අලුත් ශිෂ්‍යයන් පාසලට එන බැවිනුත් තමන් නැවත වතාවක් ඉස්කෝලේ යන්නට ගියොත් එය අල ගොඩක් වන බැවිනුත්ය. එහෙත් ලංකාවේ පාසල් (විශේෂයෙන්ම ජනප්‍රිය පාසල්) වැඩිහරියක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල් ජීවිතය අවසන් වී අවාහ විවාහ කරගෙන දරුවන් ලැබූ පසුත් පාසල් යති. ඒ, පාසලේ කන්ට්‍රෝල් එක තමන් අතට ගනු පිණිසය. විශේෂයෙන් කොළඹ කාන්තා පාසල්වල ආදි ශිෂ්‍යා මව්වරු මේකප් පුරවාගෙන පාසල් වේලාව තුළ පාසල් වලට රිංගා විකාර කරමින් සිටිති. ඇතැම් ජනප්‍රිය පිරිමි පාසල්වල Extra Activities සියල්ලම කරන්නේ බලසම්පන්න පියවරුන් විසිනි. මේ දෙපිරිස අතුරින් අවංක හැඟීමකින් පාසලට මැදිහත්වන දෙගුරුන් පිරිස ඉතා ස්වල්පය. ඒ නිසා ගුරුවරුන් මෙන්ම දෙගුරුන්ද තම සීමාව දැනගත යුතුය. අනුරාධපුර පාසලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පැමිණිලි ඇති නිසා ඊට අදාළ යුක්තිය අධිකරණය මගින් තීන්දු කරනවා ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් ලිවිය යුතු නැති අතර කළ යුතු එකම දෙය වන්නේ අප පෙරද කී පරිදි තම තමන්ගේ සීමාවන් සම්බන්ධයෙන් සියලු දෙනා අවබෝධයෙන් පසුවීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment