ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

171

ඉස්සන් අපනයනය කිරීමේ දී බහලුම් ගාස්තු, බැංකු පොලී ප්‍රතිශතය, බැංකු අයිරා පොලී, ප්‍රවාහන ගාස්තු වැඩවෙලා…
සමහර කර්මාන්තකරුවන් කර්මාන්තය අතහරිමින් යනවා
හොඳ අස්වැන්නක් ලබා ගන්න විශාල වශයෙන් මුදල් වැයකර කරන්න සිද්ධ වෙනවා
ඉස්සො ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රවණතාවය වැඩියි
ඩීසල් ලබා ගැනීමට විශාල මුදලක් වැය කරන්න වෙනවා

මෑත කාලයේදී වැඩිදියුණු කළ බව කියන ඉස්සන් ප්‍රභේද ඇමෙරිකාව වැනි රටවලින් ආනයනය කර කර්මාන්තය පවත්වාගෙන යෑමට කටයුතු කිරීමෙන් පවතින අර්බුදකාරී තත්ත්වය මත ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව කර්මාන්තයේ නියැළෙන්නන් පවසති.

ඉස්සන් කර්මාන්තය ආරම්භයේ දී මුහුදෙන් මව් ඉස්සන් සපයාගෙන අභිජනන මධ්‍යස්ථාන තුළ පැටව් බෝකර ඉස්සන් කර්මාන්තය පවත්වා ගැනීමට කටයුතු කළ බවත් එහිදී සාපේක්ෂව විශාල පිරිවැයක් දැරීමට සිදු නොවූ හෙයින් යළිත් එම ක්‍රියාවලියට අනුගතවීමෙන් කර්මාන්තයේ උද්ගත වී ඇති ගැටලු රැසකට විසඳුමක් බව ද ඔවුන් පෙන්වා දෙති.

ඉස්සන් අපනයනය කිරීමේ දී බහලුම් ගාස්තු වැඩිවීම, බැංකු පොලී ප්‍රතිශතය වැඩිවීම, බැංකු අයිරා පොලී වැඩි කිරීම, ඇතැම් අවස්ථාවල බැංකු අයිරා ලබා නොදීම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ඉස්සන් අපනයනකරුවන්ද අපනයන කටයුතු පවත්වා ගැනීමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන බව ද සඳහන් කරති.

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධායක අජිත් ගිහාන් මහතා

ඇමෙරිකාවෙන් ආනයනය කරලා මව් සත්තු අපේ අභිජනන මධ්‍යස්ථානවල පැටව් බෝකරල ඉස්සන් කර්මාන්තය පවත්වා ගෙන යෑම සම්බන්ධ ගැටලු රැසක් තියෙනවා. ප්‍රධනම ගැටලුව අපේ රටට ගැළපෙනවද කියන එක. මොකද පාරිසරික තත්ත්වයන් දෙකක්. අපේ පරිසරයට අනුගත වෙන්න, හොඳ අස්වැන්නක් ලබා ගන්න විශාල වශයෙන් මුදල් වැයකර කරන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම කලින් අපි මුහුදෙන් ගන්න මව් ඉස්සගෙන් ලබා ගන්නා පැටවුන්ට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් මේ සතුන්ට දෙන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ජලයේ ඔක්ෂිජන් සාන්ද්‍රණය වැඩි වශයෙන් සැපැයීම ලබා දීමට ක්‍රියාත්මක කරන පැඩල් වීල් විශාල අන්දමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නෙ විදුලියෙන්. මේ පවතින අර්බුදකාරී තත්ත්වයත් හේතුවෙන් විදුලිය නිසි පරිදි සැපයුම නෑ. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී ඒ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සතුන්ට ලබා දීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම විදුලිය ලබාගන්නා ජෙනරේටර්වලට අවශ්‍ය ඩීසල් ලබා ගැනීමට විශාල මුදලක් වැය කරන්න වෙනවා. සමහර වෙලාවට එහෙම ගන්නත් නැති අවස්ථා තමයි අපිට උදා වෙලා තියෙන්නේ. ඒව වගේම එම ඉස්සො ලෙඩ රෝගවලට ගොදුරු වන ප්‍රවණතාවය වැඩියි. විශේෂයෙන් විශාල ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙනවා.

පරිසරයට මුදාහරින ජලය හේතුවෙන් විශාල ලෙස පරිසර හානියක් සිදුවෙනවා. මේ කරුණු කාරණා දිහා බලපුවහම අපිට කියන්න පුළුවන් මේ ආනයනය කරන ඉස්සන් හේතුවෙන් කර්මාන්තය පවත්වා ගැනීමට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ ඉස්සන් ආනයනය කර ප්‍රචලිත කළේ ඇතැම් අයගේ පුද්ගලික වුවමනාවන් මත. ඒ නිසා ඉස්සන් කර්මාන්තය කඩා වැටිල තියෙනවා. සමහර කර්මාන්තකරුවන් කර්මාන්තය අතහරිමින් යනවා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා ධීවර අමාත්‍යාංශය අරගත්තු වෙලාවේ සමිති ක්‍රමයක් හදලා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පැවතුණා. විධිමත්ව පවත්වාගෙන ගියා. පස්සෙ ඇතැම් දේශපාලඥයන්ගේ වුවමනා මත කර්මාන්තය පවත්වාගෙන ගියා. මේ කර්මාන්තය අවිධිමත් ලෙස පවත්වාගෙන ගියා. ඒ නිසා කර්මාන්තය කඩා වැටුණා. සුදු පුල්ලි රෝගය ව්‍යාප්ත වෙලා පවත්වා ගන්ඩ බැරි තත්ත්වෙකට පත් වුණා. ඊට පස්සේ තමයි මේ ඇමෙරිකාවෙන් වනාමි කියන ඉස්සන් ප්‍රභේදය ගෙනල්ලා මේ කර්මාන්තයේ පටන් ගත්තේ. හැබැයි ඒ ඉස්සා ගෙන එද්දී අපේ ධීවරයෝ විරෝධයක් දැක්වූවා. මොකද අපට ගැළපෙන්නෑ. ඒක පවත්වාගෙන යන්න බැරිවෙයි කියලා. දැන් මොකද වුණේ. අපිට හරි කනගාටුයි රටේ ආර්ථිකයට විශාල දායකත්වයත් ලබාදෙන මේ කර්මාන්තය වැටිල තියෙන තත්ත්වය ගැන.

සුරේන් තිලංක

මේ ඉස්සන් වගාවෙ මහා පරිමාණ වශයෙන් හා කුඩා පරිමාණ වශයෙන් වගාකරුවන් යෙදිලා ඉන්නවා. කුඩා පරිමාණ ලෙස කර්මාන්තයෙ යෙදිලා ඉන්න අය ගොඩක් ඉන්නවා. ඒ අය එක පාරක් පාඩු ලැබුවොත් ඉදිරියේදී නැවතත් තම කර්මාන්තය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. සමහර අය ඇත්තටම කර්මාන්තය අතහරින තත්ත්වයකට පත්වෙලා. හැබැයි සමහර අය පාඩු ලබමින් කොහොම හරි මේ කර්මාන්තය ඉදිරියට අරගෙන යනවා පහුගිය කන්න කන්නේ දෙකේදීම මිනිස්සුන්ට විස්වාසයක් නෑ. ස්ථාවර මිලක් නෑ. ස්ථාවර තත්ත්වයක් නැතිව, විශ්වාසයක් නැතිව කවුරුත් ණය වෙලා හරි මේ කර්මාන්තයේ ඉදිරියට ගෙනියන්න සූදානමක් නෑ. මොකද බැංකුවලින් ඒ සම්බන්ධව සහන නෑ. විශාල වශයෙන් ඩොලර් උත්පාදනය කරන මේ කර්මාන්තය පවත්වාගෙන යෑමට කිසිම පැත්තකින් සහනයක් ලබා දෙන්න කටයුතු කරන් නෑ. ඒ වගේම අනිකුත් ද්‍රව්‍යවලට බදු සහන නෑ. හැබැයි කර්මාන්තය පවත්වාගෙන යන අයට අනිත් බදු සියල්ල අනිවාර්ය කරලා. ඒවා ගෙවන්න සිද්ධ වෙනවා. මේ ධීවර අමාත්‍යාංශයේ වගකිවයුතු ආයතන කීපයක්ම තියෙනවා. නමුත් සෘජුවම මැදිහත් වෙලා මීට විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරන්න නෑ. ඒ නිසා කර්මාන්තයේ බරපතළ අර්බුදයට පත්වෙලා තියෙනවා. ඩොලර් අපේ රටට ලැබෙන එක දැන් අහිමිවී ගෙන යනවා.

එම්. එන්. සමිත

විශාල වශයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙන්ම අපේ රටේ පරිභෝජනයට විශාලව වශයෙන් ඉස්සන් අවශ්‍යයි. එතකොට මේ ඉස්සන් නිෂ්පාදනය අඩු වෙද්දී අපට සිද්ධ වෙනවා මෙම සැපයුමට වෙනත් රටවලින් ඉස්සෝ ආනයනය කරන්න. එතකොට අපට ඩොලර් අහිමි වෙනවා. ඇත්තටම රජයක් විදිහට ආණ්ඩුවක් විදියට නිශ්චිත වැඩපිළිවෙලක් නෑ මේ කර්මාන්තය වැඩිදියුණු කරන්න.

අමරනන්ද විජේසේකර – මහවැව
සංස්කරණ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment