ඉස්සන් නිසා ගුටි ඇනගනිද්දී – මෝයකටට වැටුණු අයියා දියේ ගිල්වා මල්ලී පැනගිහින්

615

කොග්ගල, කතලූව පාලම අසල මෝයකටේ ඉස්සන් ඇල්ලීම සම්බන්ධයෙන් අයියා සහ මල්ලී අතර ඇතිවූ ආරවුලක් දුරදිගයෑමෙන් මල්ලි විසින් අයියා ගංමෝයේ දියේ ගිල්වා ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

ඊයේ (07) රාත‍්‍රි 12.30ට පමණ මෙම සිද්ධිය වී ඇත. මධ්‍යම රාත‍්‍රි 12.30ට පමණ අයියා මෝයකටේ ඉස්සන් අල්ලමින් සිට ඇත. එම ස්ථානයට මල්ලි ද බීමත්ව පැමිණ තිබේ. පසුව දෙදෙනා අතර ඉස්සන් ඇල්ලීම සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවී තිබේ. දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක්ද වී ඇති අතර එහිදී අයියා මෝයකටට වැටී ඇති අතර ඔහු දියේ ගිල්වා ඝාතනය කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම අයියා සහ මල්ලී අතර කාලයක සිට ඉස්සන් ඇල්ලීම සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කොග්ගල හබරාදුව ලිපිනයේ පදිංචි ගල්බොක්කහේවගේ ඥානදාස නමැති (69) තිදරු පියෙකි.

මියගිය අයගේ මෘතදේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (07 දා) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙකී ඝාතනයට සම්බන්ධ සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අශොක් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

අහංගම – සුගතපාල දීයගහගේ, හබරාදුව – ඒ. එල්. ඒ. ආරියරත්න, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment