ඉස්සරහට අමාරුයි; ඒත් ගොඩඑන්න පුළුවන්

998

ශ්‍රී ලංකාවට මාස 48 ක කාල රාමුවක් යටතේ ඩොලර් බිලියන තුනකට ආසන්න ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟත්වයකට පැමිණි බව ප්‍රකාශ වීමත් සමගම අවුරුද්දකට වැඩි කලක් මේ රටේ ආර්ථිකය වැසී තිබූ අඳුරු වලාව සිදුරු වී සූර්ය රශ්මි කදම්බයක් පතිත විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය මුදලක් නිකුත් කරනු ඇතැයි මේ රටේම ජීවත්වන දේශද්‍රෝහීන් නිකමටවත් කල්පනා කළේ නැත. එසේම ණය මුදල නොලැබුනොත් රටේ සමස්ත ජනතාවට සමස්ත ලංකා මට්ටමින්ම කෙළවෙන බව මෙබඳු දේශද්‍රෝහීන් කල්පනා කරන්නේ නැත. ලංකාවට ණය දීමට අයි.එම්.එෆ්. ආයතනය වචනයක් දීමත් සමගම අලුත් කාලයක් පටන් ගනී. ඒ වූකලී ලංකාවට ණය නොදෙන ලෙස ඉල්ලා පෙත්සම් ගසන්නට පටන් ගන්නා කාලයයි. මේ පෙත්සම් ගැසීම කරට ගෙන වැඩකරන්නේ අධිරාජ්‍යවාදයට පක්කලිකම් කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ ලිබරල් බුද්ධිමතුන් ලෙස පෙනී සිටින කුහක මී හරක් රැළකි. සමහරවිට ලංකාවට ආධාර නොදෙන ලෙස ඉල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන පිරිස් සිටින්නට පුළුවන. ඒ පිරිස්වල අරමුණ වන්නේ ලංකාවේ ආණ්ඩුව පෙරළා තමන්ට අභිමත රූකඩ ආණ්ඩුවක් පත්කිරීමය.

මෙබඳු රූකඩ ආණ්ඩු පත්වූ හැම රටක්ම එක්කෝ විනාශ විය; නැත්නම් විනාශ වී නැවත ගොඩ ආවේය. සදාම් හුසේන් ඉරාකයේ ජනාධිපති පදවියෙන් පලවාහැර එල්ලා මැරූ පසු බටහිර ලෝකයට ගොන්පස් අල්ලන රූකඩ ආණ්ඩුවක් ඒ රටේ පිහිටුවන ලදී. එසේ කිරීමෙන් පසු ඉරාකය කැබලිවලට කැඩී සිවිල් යුද්ධ හටගෙන මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර තිබූ ගෝත්‍රික රාජ්‍ය සමූහය එම භූමිය තුළ පහළ විය. එතැන් සිට ඉරාකයට නිවනක් නැත. මේ ආකාරයේ රූකඩ ආණ්ඩුවක් කොංගෝ ජන රජයේද වියට්නාමයේද මෙයට දශක ගණනාවකට පෙර පැවතින. එම විනාශයෙන් ගොඩ එන්නට කොංගෝ ජනරජයට අදටත් හැකිව නැත. එහෙත් වියට්නාමයේ සිටි හෝ චිමිං නමැති විප්ලවවාදියා තම රටේ තිබූ රූකඩ ආණ්ඩුව බිඳ දමා ජනරජයක් පිහිටුවීය. අද වනවිට වියට්නාමය යනු ආසියාවේ වඩාත්ම දියුණු ගැමි රාජ්‍යය වේ. ගැමි රාජ්‍ය යනුවෙන් අප අදහස් කරන්නේ වියට්නාමයේ ජනයා අමුඩ ගසාගෙන බුලත් විට සපමින් කුඹුරු හාන බවක් නොවේ. ඒ රටේ ජනයා බොරු විකාරවලට වියදම් නොකර සරල ජීවිත ගත කරති. ඒ නිසා ඔවුන් කිසිදු අවස්ථාවක බිමටම ඇද වැටෙන්නේ නැත.

පසුගිය කාලයේදී මෙලොව තිබෙන බලවත් රාජ්‍යය ගණනාවක්ම ශ්‍රී ලංකාවට ආධාර දීමෙන් වැළකී සිටියහ. ඔවුහු මෙරටට ණය දෙන බව පෙන්වා මගහැර සිටියහ. අපට හරියාකාරව උදව්වක් කළේ ඉන්දියාව පමණි. එරට විසින් ඩොලර් බිලියන දෙකහමාරක credit line එකක් ලංකාවට ලබා දුන්නේය. එයට බලපෑ වැදගත් හේතුවක් ද තිබිණ. ශ්‍රී ලංකාව අස්ථාවර වන්නේ නම් එහි අතුරු ඵලය විඳින්නට ඉන්දියාවට සිදුවෙයි. එනම් බෝට්ටුවල නැගුනු ශ්‍රී ලාංකික සරණාගතයන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේශ්වරම් වරායට පැන ගොස් එතැනින් ඉන්දියාවට ඇතුළු වීමය. මෙසේ එන සරණාගතයන් පලවාහැරීමේ සිරිතක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නැත. එසේනම් සිදුවන්නේ සරණාගත කඳවුරු ඉදිකර සරණාගතයන් නඩත්තු කිරීමය. එසේම ආර්ථික ප්‍රශ්න නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළී ගියොත් එමගින්ද ඉන්දියාවේ ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩකාරීන්ට නරක ආදර්ශයක් ලැබේ. මේ දෙකම වළක්වා ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන දෙකහමාරක ක්‍රෙඩිට් ලයින් එක හරහා ශ්‍රී ලංකාවට ආහාර සහ ඉන්ධන ලබා දෙන්නට පටන් ගත්තේය.

මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් සෑහෙන කොටසක් ගිල දමා සිටින චීනය අපට කිසිදු ආධාරයක් දුන්නේ නැත. වෙනකක් තබා අපේ රට චීනයට තිබෙන ණය ගෙවා ගැනීමට නොහැකි බවත් එම ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් දන්වන ලද කල්හි චීනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේම ණය සහ පොලිය ගෙවීමට අපට තවත් ණය මුදලක් දීමට සූදානම් විය. මෙය ගමේ ගොඩේ පොලී මුදලාලිලා කරන වැඩකි. චීනය සමග දීර්ඝකාලීනව ගනුදෙනුවලට යෑම නිසා මේ වන විටත් බලගතු රටවල් රැසක්ම ශ්‍රී ලංකාව සමග අමනාපයෙන් පසුවෙයි. උදාහරණයක් ලෙස අප චීනය පැත්තට නැමෙනවාට ඉන්දියාව කිසිසේත්ම කැමති නැත. එසේම ඉන්දියාවේ පැත්ත ගෙන සිටින බලවත් රාජ්‍යයද අප සමග විරසකය. ශ්‍රී ලංකාව අගතියට පත්වූ අවස්ථාවේදී චීනය මේ ගැන නිකන්වත් කල්පනා නොකිරීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගත්කල ඉතා නරකය. මනුස්සකම පැත්තෙන් ගත්කල හරිම දුෂ්ටය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමට එකඟ වීමත් සමගම ශ්‍රී ලංකාවට දුෂ්කර කාලයක් උදාවනවා ඇත. ජාත්‍යන්තර අරමුදල වැනි සංවිධාන පිට රටවලට ණය දෙන්නේ කා බී ෆන් අරගෙන පිස්සු කෙළින්නට නොවේ. තම ණය ආපසු අයකර ගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ඉතිරි කිරීම සඳහා ආණ්ඩුව මේ මේ ආකාරයට හැසිරිය යුතු බව ඔවුහු යෝජනා කරති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නේ කොටස් වශයෙන් නිසා ආණ්ඩුවේ හැසිරීම නරක වුණොත් ණය මුදලේ ඊළඟ වාරිකය ලැබෙන්නේ නැත. මේ නිසා අප ඉදිරිපිට පවතින්නේ දුෂ්කර සමයකි. දුෂ්කරතා මැද්දේ හෝ ජීවිතය ගැටගසා ගත්තේ නම් ඊළඟ පියවර සඳහා අලුත් යමක් කිරීමට ඕනෑම රටකට පුළුවන. අප මුහුණ දී සිටින්නේද එවැනි තත්ත්වයකටය.

advertistmentadvertistment
advertistmentadvertistment