ඉසිපතනයට පමණක් දෙවැනි වෙමින් ශාන්ත ජෝසප් විදුහල  අනුශූරතාව හිමිකර ගනී

209

ඩයලොග් පාසල් ලීග් රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු ”ඩයලොග්” ලීග් ශුරතා ප්‍රමුඛ පෙළ පාසල් රග්බි පාපන්දු තරගාවලියේ අනු ශූරතාව තහවුරු කර ගැනීමට කොළඹ මරදානේ පිහිටී ශාන්ත ජෝසප් විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ ඊයේ (15) සවස සමත් වූහ.

කොළඹ ඉසිපතන විදුහලට පමණක් දෙවෙනි වෙමින් මෙවර තරගාවලියේ අනු ශූරතාව තහවුරු කර ගැනීම සඳහා පැමිණි ගමනේදී ශාන්ත ජෝශප් විදුහල සටහන් කර ගත් ජයග්‍රහණ සංඛ්‍යාව 05 කි.

අනු ශූරතාව තහවුරු කර ගැනීම සඳහා ඊයේ (15) සටන් වැදුණු තීරණාත්මක තරගයේ දී ප්‍රතිවාදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 26 -11 ක පහසු ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට ශාන්ත ජෝශප් ක්‍රීඩකයෝ සමත්වීම කැපී පෙනුණි.

තරගය ඇරඹී පළමු භාගයේ දී ලකුණු 11- 07 ක් ලෙස පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල සමත් වුවද දෙවන භාගයේ දී ශාන්ත ජෝශප් ආක්‍රමණය හමුවේ පසු බැසීමට සිදු වීම එහි විශේෂත්වයක් විය.

ගෝල් දිනුම් 03 ක් සහ එක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත් වූ අතර පරාජිත වෙස්ලි විදුහල ට සටහන් කර ගැනීමට හැකි වූයේ ගෝල් දිනුමක් සමග එක් උත්සාහක දිනුමක් පමණී.

කොළඹ රාජකීය, කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන සාන්ත ජෝසප්, ගල්කිස්ස විද්‍යා, කොළඹ වෙස්ලි, ගල්කිස්ස ශාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ධර්මරාජ, මහනුවර ශාන්ත අන්තෝනි සහ මහනුවර කිංග්ස්වුඩ් යන පාසල් 12 ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ ”ඩයලොග් ලීග් ශුරතා” අවුරුදු 20 න් පහළ පාසල් රග්බි පාපන්දු තරගාවලිය ඊයේ (15) පැවති ශාන්ත ජෝශප් සහ වෙස්ලි අතර තරගයත් සමගම නිමාවට පත්විය.

මෙවර තරගාවලිය ට අයත් වූ තරග ප්‍රමාණය 34 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment