ඉසිර හා කඩොල් ඇත් පැටවුන්ටත් යක්ෂයින් බැල්ම හෙළයි…අලි ගෙනියන්න එනවුන්ට බලි අරිමු

701

හීලෑ අලින් පිළිබඳව දිගු කාලයක සිට පර්යේෂණයේ යෙදී සිටින ශාන්ත ජයවීර මහතා ප‍්‍රකට පරිසරවේදියෙකි. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පිහිටි තරුණ සත්වවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකුද වන හෙතෙම කලක පටන්ම පින්නවල හා උඩවලව ඇත් අතුරු සෙවන ඇතුළු පෞද්ගලික භාරයේ සිටින හීලෑ අලින්ගේ චර්යාවන්, සෞඛ්‍ය තත්ත්වය, රූප විද්‍යාත්මක තොරතුරු ඇතුළු කරුණු අධ්‍යයනය කරන්නෙකි. මේ ඔහු විසින් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ ඉතිහාසය තුළ ඉපදුණු ඇත් පැටවුන් සිවුදෙනා ඇතුළු වර්තමානයේ රිදියගම සෆාරි උද්‍යානය තුළ වෙසෙන ඉසිර හා කඩොල් ඇත් පැටවුන් පිළිබඳව සිදුකරන හෙළිදරව්වකි මේ.

1950 වසරේ දී පනාමුරේ අලියාට වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු අලි ඇල්ලීමට එරෙහිව දැවැන්ත ජන මතයක් ගොඩ නැගුණි, එම බලපෑම් මත වනාන්තර වලින් අලි ඇල්ලීමට බලපත‍්‍ර නිකුත් කිරීම නතර කිරීමට රජයට සිදුවිය. එමනිසා හීලැ කර වැඩ ගැනීමට යොදාගන්නා අලින්ගේ සැපයුම අඩු විය. 1950 වසරෙන් පසුව කැලෑවලින් අතරමං වූ සහ වළවල් වල වැටී සිට හමුවූ අලි පැටවුන්ව පමණක් හීලැ අලින්ගේ ලයිස්තුවට එකතු විය. හීලැ අලින් අතීතයේ සිට යොදා ගැනුනේ වැඩ කිරීම සඳහාය. ඒ අතරතුර වසරකට වරක් හෝ දෙවරක් පෙරහැරවලට අලි සහභාගි විය. එකල පන්සල් සහ දේවාලවල අලි සිටියේ නැත. සිටියානම් සිටියේ කවුරුන් හෝ පූජා කරන ලද අලියෙකු හෝ ඇතෙකු පන්සල් කිහිපයක පමණි.

1975 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එක්ව පින්නවල අලි අනාථාගාරය ආරම්භ කරන ලදී. ඉන්පසුව වනාන්තරවලින් අතරමන් වූ සියලූම අලි පැටවුන් දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෙත ගෙනවිත්, පැටවුන්ට ආදරේ ඇති ලෙච්චමී නමැති ඇතින්න සමග තබා මානසික ප‍්‍රතිකාර කර පසුව පින්නවල අලි අනාථාගාරය වෙත යවන ලදී. පින්නවල අලි අනාථාගාරය පිහිටුවීමේ ප‍්‍රධානම අරමුණ වූයේ අලින් අබිජනනය කිරීමය. මෙම අරමුණ සාර්ථක වූයේ 1984 ජුලි 5 වන දින ප‍්‍රථම අලිපැටවා ඉපදීමත් සමගය. එදින සිට මේ දක්වා අලි පැටවුන් 67 ක් පින්නවලදී උපත ලබා ඇති අතර ලොව වැඩිම අලි අභිජනනය කළ ස්ථානය බවට පත්වූයේ ලෝක වාර්තාවක් තබමිනි. ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ 1948 නිදහසින් පසුව ලොව උපරිම තලයට ළ`ගා වූයේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායම සහ පින්නවල අලි අනාථාගාරය පමණක් බවය. මෙම සාර්ථකත්වයට මූලික වූයේ පින්නවල සේවය කරන සියල්ලගේ දැඩි කැපවීමයි.

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන අලි උප විශේෂය elephas maximus maximus ගේ දළ පිහිටන්නේ පිරිමි සතුන්ගෙන් 7% පමණය. අතීතයේදී මීට වඩා දළ පිහිටි පිරිමි සතුන් සිට ඇති බවට විශ්වාස කරන අතර බි‍්‍රතාන්‍ය පාලන කාලයේදී දළ ලබාගැනීමට මරාදැමීම නිසා දළ ඇතුන්ගේ උපත් අඩුවී ඇත. එමනිසා පින්නවලදී ඇත් පැටවෙකුගේ උපතක් ලැබීම කවුරුත් සිහින මවමින් සිටියේය. වනාන්තරයේ අතරමංව සිට පින්නවලට ඇත් පැටවෙකු ලැබුණ විට කවුරුත් දැඩිසේ සතුටු විය. නමුත් සිහින බොඳ කරමින් එම ඇත් පැටවුන් රටේ සිටි නායකයන් විසින් දළඳා මාලිගාවට සහ කතරගම දේවාලයට සහ අනෙකුත් පන්සල් වලට පූජා කරනු ලැබූහ. කතරගම දේවාලයට පූජා කළ වාසනා ඇතා සහ දළඳා මාලිගාවට පූජා කළ ඇරිත්ත ඇතා වනයෙන් පින්නවලට ලැබුණ ඇත් පැටවුන්ය. එම ආගමික ස්ථාන පවත්වාගෙන යන නිලමේවරුන්, පූජකයින් සහ ලේකම්වරුන් රටේ නායකයාව අන්දවා මෙසේ ඇත් පැටවුන් කොල්ල කාගත්හ. ඇත් පැටවෙකු පූජා කළ විට නායකයකුගේ ධුර කාලය දීර්ඝ වී ශක්තිමත් නායකයෙකු වන බවට මතයක් ඇති කර මෙසේ ලබාගත්තත් එම නායකයින්ට වූ දෙය කවුරුත් දනී. මේ වනවිට පින්නවල සිටි ඇත් පැටවුන් 7 දෙනෙකු මෙසේ පූජා කර ඇති අතර ඉන් දෙදෙනකු මේවනවිටත් අකාලයේ මියගොස් ඇත. අනෙකුත් ජීවත්ව සිටි ඇතුන් 5 දෙනා කිසිම විටක අභිජනනය කිරීමට යොදාගෙන නැත.

නායකයින් ඇන්දවීම

අප රටේ නායකයින් පත්වූ විගසම ඔවුන්ට කිට්ටුවී පින්නවලින් අලි පැටවෙකු ලබාගැනීම සිරිතක් ලෙස කරනු ලැබූ පිරිසක් දිගින් දිගටම ඒ කාලයේ සිටියහ. ඔවුන් පෙරට දමන්නේ පන්සලක් හෝ දේවාලයක නමකි. පසුව අලියා ඔවුන්ගේ නිවෙස් කරා රැගෙන ගොස් තබාගෙන ඔවුන්ගේ නැතිවූ අබිමානය අලියා ලවා ලබාගැනීමට උත්සහ දරති. ගිරිඋල්ලේ එක්තරා පුද්ගලයකු ළඟ පින්නවලින් පන්සල්වලට ලබාදුන් අලින් ගණනාවක්ම සිටි අතර එක් පැටවෙකු රේල් පාර අසල ගැටගසා තිබියදී අකුණුසර වැදී මියගියහ. දළදා මාලිගාවේ පෙරහැර රූපවාහිනියෙන් විස්තර ප‍්‍රචාරය කරද්දී පවසන්නේ මේ ගමන් කරන්නේ ගිරිඋල්ලේ ගලප්පත්ති මහතාගේ අලි බවය. නමුත් පින්නවලින් කිසිදු අලියෙකු ඔහුගේ නමට ලබාදී නොමැත. මෙසේ පන්සල් සහ දේවාල නමින් ලබාගත් ඇතැම් අලින් නිසි වෛද්‍ය පහසුකම් නොමැතිව, ආහාර සහ නිදහසින් තොරව මියගිය අවස්ථාද ඇත. පින්නවලින් මෙතෙක් ලබාදී ඇති අලි ගණන 66 ක් වන අතර ඒ කිසිදු අලියෙකු පියෙකු හෝ මවක් වී නොමැත.

වනයේ සිට පින්නවලට ගෙන එන ලද එක් ඇත් පැටවෙකු පමණක් මෙතෙක් රැකගැනීමට සත්වෝද්‍යානය සමත් වී ඇත. ඇතෙකු බව දැන ගත් වහාම එම පැටවා දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ගොස් වැඩුණු පසුව නැවතත් පින්නවලට ගෙන යන ලදී. දැනට පින්නවල සිටින සුමන එම ඇතා ය. අතීතයේදී දෙහිවල සත්වෝද්‍යානයේ සිටි මේ වනවිට පින්නවල සිටින සම්පත් නමැති ඇතා වයසින් වැඩි අබිජනනයට යොදා ගැනීමට නොහැකි ඇතෙකි.

පින්නවල ප‍්‍රථම ඇත් පැටව්
උපත සහ ශෝකාන්තය

ඉසිර හා කඩොල් ඇත් පැටවුන්ටත් යක්ෂයින් බැල්ම හෙළයි…අලි ගෙනියන්න එනවුන්ට බලි අරිමු

2005-2006 වසරවල පින්නවල ඉපදුණ අලි පැටව් දෙදෙනෙක් ටික කලකින් ඇත් පැටව් බව හඳුනා ගන්නා ලදී, එම ප‍්‍රවෘත්තිය පින්නවල සේවකයින් හට මහත් සතුටක් ගෙනදුන්නත් එම පැටව් දෙදෙනා ගොදුරු කරගැනීමට විවිධ පිරිස් මාන බැලීය. අවසානයේදී පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් අලි පැටව් දෙදෙනකු ලබා ගැනීම සඳහා ඉදිරිපත්වූ කැබිනට් පත‍්‍රිකාවකට මුවා වී මේ ඇත් පැටව් දෙදෙනා පැහැර ගැනීමට ලක්විය. ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පරිසරවේදීහු සහ මාධ්‍ය මගින් දියත් කෙරිණි. අවසානයේදී එවක ජනාධිපතිවරයා මැදිහත්වී 2009 ජුලි මස 29 වන දින මල්වතු, අස්ගිරි විහාරවලට ජනාධිපතිවරයාගේ නමින් මෙම පැටව් දෙදෙනා පූජා කරන ලදී. මවගෙන් කිරි උරාබොමින් සිටි මෙම ඇත් පැටවුන්ව රැගෙන යෑම රට තුළ මහත් ආන්දෝලනයක් වූහ.

පින්නවලින් මේ දක්වා පිටතට දෙන ලද ඇතුන් සංඛ්‍යාව 7 ක් වන අතර ඉන් දෙදෙනෙකුම මේවනවිට අකාලයේ මියගොස් ඇත. එනම් කෙරමිනියේ රාජා (කෙරමිනිය පන්සලේ ) සහ දළදා මාලිගාවට දී තිබූ එකදන්ත ඇතාය. අනිත් ඇතුන් කිසිවකුත් අභිජනනය කටයුතු සඳහා යොදා ගැනීමට අපොහොසත් වී ඇත. එසේ කළේ නම්, ඉතා හොඳ හීලෑ අලි – ඇතුන් පරපුරක් බෝකර ගැනීමට හැකියාව තිබිණි.

හීලැ අලින් කබලෙන් ළිපට

1990 දශකයේ මැද බාගය වනවිට හීලැ අලින්ට තවත් නරක කාලයක් අරම්භ විය. එනම් සීගිරිය සහ හබරණ ප‍්‍රදේශයේ සංචාරකයින් පිටේ රැගෙන යෑමට අලින්ව යොදාගැනීමයි. හීලැ අලින් සියල්ලම සිටිනුයේ පහතරට තෙත් කලාපයේය (කතරගම දේවාලයේ සහ මහියංගන පන්සලේ හැර) හීලැ අලින්ගේ ආහාරයට දෙනු ලබන ශාක වර්ග සියල්ලම ලබාගන්නේ තෙත් කලාපයේ ගෙවතු වලිනි, එනම් කිතුල්, කොස් අතු සහ විවිධ ශාක වර්ග ඇතුළත් මිශ‍්‍ර ආහාර පහසුවෙන් අලින් හට ලබා දීමට හැකියාව ඇත. නමුත් වියළි කලාපයේ ගෙවතු වඩාත් විවෘත වන අතර හීලැ අලින්ට ආහාරයට ලබාදීමට විවිධ ශාක වර්ග නොමැත. එමනිසා සංචාරකයින් රැගෙන යෑමට සීගිරිය සහ හබරණ ප‍්‍රදේශයට ගෙන ගොස් ඇති අලින්ට පිටතින් ආහාර රැගෙන විත් දෙනු ලබන අතර දිනකට ලැබෙන්නේ පොල් අතු කීපයක් සහ කිතුල් කැබැල්ලක් පමණි. එම ආහාරවල ප‍්‍රමිතිය සහ ප‍්‍රමාණය මැනීමට කිසිවෙකු නැති අතර සමහර දිනවලට ආහාර රැගත් ලොරිය නොපැමිණෙන අතර එදිනට වටපිටාවෙන් ආහාර සොයාගත යුතුව තිබේ. නුපුරුදු ආහාර ගැනීමට මෙම අලින් මැළි වන අතර ඉතා ඉක්මනින් රෝගාතුර වේ.

දිනකට කිලෝ 150-180 අතර ප‍්‍රමාණයක් ආහාර අවශ්‍ය අලියෙකුට පොල් අතු කිහිපයකින් සහ කිතුල් කෑල්ලකින් සැහීමකට පත්වීමට සිදුව ඇත. මීට අමතරව සංචාරකයින් ගෙන යෑමට අලියාගේ පිටට සවිකරන යකඩ ආසනය නිසාත් අලින් පීඩාවට පත්ව ඇත. උදය සිට හවස දක්වා මෙම ආසනය ගැටගසා තැබීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවලට ලක්වේ. අලියෙකු හුස්ම ගන්නාවිට පපු ප‍්‍රදේශය ප‍්‍රසාරණය වන්නේ පිටතටය. එමනිසා ආසනය ගැටගසා ඇති පටි නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. දිවා කල පුරාම සංචාරකයින් ගෙන යෑමට ලෑස්ති වී සිටින අලියාට නැහැවීමට පවා වෙලාවක් නොමැත. අලියෙකු දිනපතාම පැය 2-3 පමණ කාලයක් නැහැවීම කළ යුතුවේ. එසේ නොවුවහොත් ඇස් වල ආබාධ සහ වෙනත් ලෙඩ රෝගවලට ගොදුරුවේ. මෙසේ රෝගාතුර වන අලින්හට වෛද්‍යවරයෙකු නොකැඳවා අත් බෙහෙත් කරමින් කල්ගෙවන්නේ වෛද්‍යවරයෙකු හට විශාල මුදලක් ගෙවීමට සිදුවන නිසාය. අසාද්‍ය වූවිට අලියා රැගෙන ගොස් ප‍්‍රතිකාර කිරීම ආරම්භ කළත් එවිට ප‍්‍රමාද වැඩිය. මෙසේ සෆාරි සඳහා යොදාගත් හීලැ අලි 60 ක් පමණ මේ දක්වා මියගොස් ඇති අතර ජිවත් වූයේ කිහිපදෙනෙකු පමණි. මෙසේ මියගිය අලි අතර හිස මුදුනට අඩි 10කුත් අඟල් 7 1/2 උස ලංකාවේ උසම අලියා වූ නීලා ද විය. බෙල්ලන්විල පන්සලේ ඇතින්න දිවි ගලවාගෙන ආ අලින්ගෙන් කෙනෙකි.

මුදල් කෑදර කමින් අලි අයිතිකරුවන් අබාදිත අලින්ව පවා මෙම සෆාරි සදහා යොදවා ඇති අතර මෙම අලි සෆාරි හීලැ අලි ආරක්ෂා කිරීමට නම් අනිවාර්යෙන්ම තහනම් කළ යුතුව ඇත.

නවතම ඇන්දවීම

මේ රටේ ප‍්‍රභූවරුන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයින් (ඇතැම් නිලමෙලා සහ කපුවන්) එකතුවී ජනාධිපතිතුමාව සහ අගමැතිතුමාව ඇන්දවීමට පිඹුරුපත් සකසමින් සිටිති. එනම් ඔවුන්ගේ ධුර කාලය දීර්ඝ වීමට සහ ශක්තිමත්ව රට පාලනයට ඇත් පැටව් පූජාවකට සරසමින්ය. ඒ පින්නවල ඉපදුන තුන්වන සහ හතරවන ඇත් පැටව් දෙදෙනා වන ඉසිර සහ කඩොල් පැහැර ගැනීමටය. අවුරුදු 10 ක් පමණ වන මේ ඇත් පැටව් දෙදෙනා දළදා මාලිගාවට සහ කතරගම දේවාලයට ලබාගැනීමට මානබලමින් සිටී. ඉසිර සිටිනුයේ රිදීගම සෆාරි උද්‍යානයේය. 2016 දී පින්නවල සිට මෙසේ රැගෙන ආවේ එහි අලි පංතියට ඇතෙකු එකතු කිරීමට හා ඇත් ජානය අලින් අතර පැතිරවීම සඳහාය. එහි අනෙකුත් අලි සමග නිදහසේ කාලය ගතකරන ඉසිරට කතරගම දේවාලයේ නිලමේවරු බැල්ම හෙළුෑහ. යහපාලන කාලයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ඉසිරව කතරගම දේවාලයට පූජා කරගැනීමට නිලමේවරු සැලසුම් දියත් කළේ එවක ප‍්‍රකට ඇමැතිවරුන් කිහිප දෙනකු සමගිනි. නමුත් අගමැතිවරයා මේ බවක් දැන සිටියේ නැත. අවසාන දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව දැනගත් පසු එය වහාම නතර කරවිය. නිලමේවරුන්ට හිස් අතින් යෑමට සිදුවිය. නැවතත් මෙම ඇත් පැටව් පැහැරගැනීමේ කූට උපාය කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. වත්මන් නිලමේවරු සහ පෙර නිලමේවරු මේ සඳහා මාන බලමින් සිටින බව දැන ගන්නට ඇත. තවත් ටික දිනකින් ඉසිර හා කඩොල් පැහැර ගැනීම ගැන අප‍්‍රසන්න ප‍්‍රවෘත්ති මාධ්‍යය මගින් පළ කිරීමට ඉඩ ඇත.

ශාන්ත ජයවීර

advertistmentadvertistment
advertistmentadvertistment