ඉහළම තැනක සාදයක් ඇතුළේ සාදයක්!

472

පසුගිය සතිය පුරාම අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැති බැවින් අපේ රටේ දේශපාලනයත් උණුසුම් වී තිබිණි. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලුම මන්ත්‍රීවරු කාර්යබහුලව සිටියහ. පාර්ලිමේන්තුවේ සභානායක ප්‍රසන්න රණතුංග ක්‍රියා තිබුණේ විවාදය පැවැත්වෙන දිනවල සියලුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි.

සෙනසුරාදා ඉරිදා කියාවත් විවේකයක් නොමැතිව දිගින් දිගටම පාර්ලිමේන්තුව පැවැත්විණි. අමාත්‍යාංශ දෙක තුන එක දවසේ ගෙන ඒවායේ වැය ශීර්ෂ ගැන විවාද පවත්වා හවස ඡන්ද පැවැත්වූ නිසා උදේ පටන් රාත්‍රි 7.00 වනතුරු පාර්ලිමේන්තුව පැවැත්විණි. මේ නිසාම මන්ත්‍රීවරුන්ට විවේකයක් නම් නොවීය.

සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාමත් උද්යෝගයෙන් සෑම දිනකම විවාදයට සහභාගි වූවත් වැය ශීර්ෂවලට ඡන්ද ඉල්ලා ඒවා පරාද කරන්නට කිසිදු සූදානමක් තිබුණේ නැත. ඔවුන් බෙදීමක් නොඉල්ලා ගෙදර ගිය අතර ආණ්ඩුව සිය ඡන්දයෙන් වැය ශීර්ෂ සම්මත කරගත්තේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පොන්නම්බලම් මන්ත්‍රීවරයා හරි අපූරු වැඩක් කළේය. ඔහු හැම දිනකම සෑම පනතකටම බෙදීමක් ඉල්ලා සිටියේය. මේ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සෑම දිනකම රාත්‍රී 7.00 දක්වාම පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නට සිදුවූහ.

ලස්සනම කාරණය වන්නේ ඔහු බෙදීමක් ඉල්ලුවත් අවසාන මොහොතේ “මගේ විරෝධය සටහන් කර ගන්න” කියා ඡන්දයකට නොයෑම ය.

මේ නිසා පසුගිය සතිය පුරාම පොන්නම්බලම් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්නන්නම බැරි පුද්ගලයා වූහ.

“විරුද්ධ වුණා නම් මූ එක්කෝ ඡන්දය ඉල්ලන්න ඕන. නැත්තං විරුද්ධ නොවී ඉන්න ඕන… මොන කැත වැඩක්ද අපිව මේ පාර්ලිමේන්තුව රඳවා තියාගන්න මෙයා කරන්නේ…” කියමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුට බැණ වදින්නට වූහ. ලස්සනම කාරණය වන්නේ බුද්ධශාසන වැය ශීර්ෂයට පවා ඔහු බෙදීමක් ඉල්ලා සිටීමය. මේ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඔහුට බැණ වදින්නට වූහ.

● කවුරු එක්ක ගියත්
පොහොට්ටුව එක්ක නෑ

නිදහස ජනතා සභාව දැන් රට පුරාම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් සිය දේශපාලන වැඩකටයුතු ව්‍යාප්ත කරමින් සිටියි. පසුගිය සති අන්තයේ ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයට ගියහ. 27 වැනි දා මීරිගම සාමියා හෝටලයේ දී ඔවුන්ගේ ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවේ නිදහස වෙනුවෙන් සියනෑ කතිකාව කියාය.

නාලක ගොඩහේවා ලොකු සෙනඟක් ගෙනවිත් මෙය මැනවින් සංවිධානය කර තිබිණි. ඩිලාන් පෙරේරා මේ අවස්ථාවට සහභාගී වූයේ තරමක් ප්‍රමාද වීය. එහෙත් ඔහුගේ කතාවේ දී ඔහු අභියෝගයක් කළේ ය.

“නාලක මේ වැඩේ ටොප් ක්ලාස් එකට ගම්පහ හෙල්ලෙන්න කරල තියෙනවා.

හැබැයි මම එකක් කියනවා. ලබන සතියේ එන්නකො බදුල්ලට. බදුල්ලේදී මම මීටත් වඩා වැඩේ ගොඩ දාල මුළු ඌව ම හොල්ලලා පෙන්නනවා…”

නිදහස වේදිකාවේ කථිකයින් පස්දෙනාම මතු කළ වැදගත් ම කාරණය වූයේ “ඊළඟ ආණ්ඩුව” යන මාතෘකාවයි. එම සම්මන්ත්‍රණය ඉතා සාර්ථකව පැවැත්වීමෙන් පසුව නායකයෝ එකතු වී මේ මාතෘකාව ගැන කතා කළහ.

“ඊළඟ ආණ්ඩුව හදන්න ඉතින් කාට උනත් නිදහස් ජනතා සභාව නැතුව බෑ…” නාලක කීවේය.

එහෙම කිව්වම පොහොට්ටුව එක්ක වුණත් ආණ්ඩුව හදනවා කියන අදහස එනවා. හැබැයි අපි මොනම හේතුවකටවත් ආණ්ඩුවක් හදන්න පොහොට්ටුව එක්ක එකතු වෙන්න බෑ… පොහොට්ටුවෙන් දේශපාලනයට පිවිස පොහොට්ටුවෙන් මන්ත්‍රී වී පොහොට්ටුවෙන් වාසි ප්‍රයෝජන බොහොමයක් ලබා ගත්තා යැයි සමහරු කියන චන්න ජයසුමන එසේ කියන විට ඩිලන් පවා නිරුත්තර විය.

පසුගිය සතිය ඩිලාන්ට කාර්යබහුල සතියක් විය. පාර්ලිමේන්තුවේ බොහෝ වාද විවාදවලට ද ඔහු සහභාගී විය. සඳුදා පාර්ලිමේන්තුවේ පැවැත්වුණේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයයි. කථිකයෝ විශාල ප්‍රමාණයක් ඒ සම්බන්ධයෙන් වාද විවාද කරද්දී ඩිලාන් පෙරේරාත් විවාදයට සම්බන්ධ වෙලා හරි අපූරු කතාවක් කිව්වා…

රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉන්දියානු පන්නයේ ජනාධිපතිවරයෙක්. ඉන්දියාවේ ජනාධිපති තෝරන්නේ මහජන ඡන්දයෙන් නෙමෙයිනේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුයි සෙනෙට් එකයි එකතුවෙලා කතා කරලා සිලෙක්ට් කරගන්නවා. ඒවගේ ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් සිලෙක්ටඩ් ජනාධිපති කෙනෙක්. ඉලෙක්ටඩ් නෙවෙයි සිලෙක්ටඩ්…”

මේ වෙලාවේ තමයි අනිත් පැත්තෙන් ඩයනා ගමගේ ඩිලාන්ට උත්තර දෙමින් දොස් කියන්න පටන් ගත්තේ.

“එක එක වට්ටිඅම්මලා මෙතැනට ඇවිත් ඕපාදූප දෙඩෙව්වා ට අපි කලබල වෙන්නේ නෑ…” ඩිලාන් එහෙම කියනකොට ඩයනාට තව තවත් ජුවල්.

ඇගේ කතාවේ දී ඇය ඩිලාන්ට පහර දුන්නේ වැද්දා වැද්දා කිය කිය බනිමින්…

ඊට පස්සේ මාධ්‍යවේදීන් පිරිසක් ඩිලාන්ගෙන් මේ ගැන විමසා සිටියහ..

“ඇයි නිකන් හිටියේ…. දෙන්න නේ තිබුණේ…?”

“මේකයි මචං. ගෑනි මේ දවස්වල ඉන්නෙ හරි අප්සට් එකේ. ඒකයි ඔය වැඩක් නැති කේස්වල එල්ලි එල්ලී බණින්නෙ.

ඔය මනුස්සයගෙ මන්ත්‍රීකමට විරුද්ධව අභියාචනාධිකරණයේ දාපු පෙත්සම මේ සුමානෙ අහන්න භාරගත්තා. අභියාචනාධිකරණය භාරගත්තා කියන්නේ ඉතින් නඩුව බඩුම තමයි.”

“ඒ කිව්වේ එතුමියට මන්ත්‍රීකම නැති වෙයිද… ?”

“මන්ත්‍රීකම විතරක් නෙවෙයි බං, මෙච්චර කල් මන්ත්‍රී වරප්‍රසාද ගත්තට වන්දි ගෙවන්නත් වෙයි. හිරේ යන්න වෙයිද දන්නෙත් නෑ.

“මොකද දන්නවද… ඔය ගීතා මන්ත්‍රීතුමියට කේස් එක ආපු වෙලාවේ ද්විත්ව පුරවැසියන්ට රටේ ඡන්දය ඉල්ලන්න බෑ කියල නීතියක් තිබුණෙ නෑ. හැබැයි ඒ නඩුවෙන් පස්සේ තීන්දුවක් දුන්නා. ඊට පස්සේ ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා. මේ රටේ නීතිය පිළිගෙන තියෙන වෙලාවක තමයි ඩයනා ඡන්දෙ ඉල්ලන්නෙ. තමන් මේ රටේ පුරවැසියෙක් කියලා ඇපිඩවිට්ටෙකත් දෙනවනේ. එතකොට මෙයා මෙහෙ පුරවැසියෙක් නෙවෙයි. එහේ පුරවැසියෙක් විතරයි.”

ඇත්තටම දැන් ඩයනා දන්නවා තමන් වරද්දගෙන ඉවරයි කියලා. හැමදේකටම කේන්ති අරං කෑගහන්නෙ ඒකයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා පාර්ලිමේන්තුවට එන විට ගීතා කුමාරසිංහ ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් පිරිස සිටියේ සියලු දෙනා තැඹිලි පාට සාරිවලින් සැරසීය.

“ෂා… අද හරි ලස්සනයි ඔක්කොම එකම පාටින් ඇඳලා. මොකද අද ආණ්ඩු පක්ෂයේයි විපක්ෂෙයි ඔක්කොම එකතුවෙලා කළගෙඩි නැටුමක්වත් නටන්න ද..”

“නෑ සර්… මේගොල්ලෝ මේ කාන්තාවන් විදියට ජාත්‍යන්තර වැඩසටහනකට එකතුවෙලා. අද ඉඳලා දවස් දාසයක් ජාත්‍යන්තරයේ කාන්තා හිංසනය මැඬපවත්වන වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා. මෙතුමිය ලත් ඒකට අනුගත වෙලා. අද තමයි පටන්

ගැන්ම. කාන්තා හිංසනය දුරලමු කියලා ප්‍රින්ට් කරපු බෑන්ඩ් (අත් පලඳනාවක්) එකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොටම පළන්දන්නයි මෙතුමියලගෙ සූදානම. ඔබතුමාගේ පළඳන්නයි මේ බලාගෙන ඉන්නේ…” ආශු මාරසිංහ අවස්ථාව පැහැදිලි කළේය.

“මේ අමාත්‍යංශය ඔබතුමා යටතේ තියෙන එකත්, රාජ්‍ය ඇමැතිකමට ගීතා කුමාරසිංහ මැතිනිය පත් කරපු එකත් ඉතාම සුදුසුයි.” සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එසේ කියද්දී රෝහිණී කවිරත්න පවා එය අනුමත කළාය.

රනිල්ගේ අතේ අත් පළඳනාව බැන්දේ ගීතා නොව, සුදර්ශනීය.

“අනිත් හැම මන්ත්‍රීවරයෙක් අතේම මේ පළඳනාව දාන්න. ඕගොල්ලො යන්න එපා. පාර්ලිමේන්තුවේ සේවකයෝ යොදවලා පළන්දන්න…” ජනාධිපති කීවේය.

ඒ අනුව විදුර වික්‍රමනායක ගේ අතේ පළඳනාව බැන්දේ පාර්ලිමේන්තු සේවකයෙකි.

“මොන කෙහෙල්මලක් ද… ඕක කාන්තාවක් එපැයි අපේ අතේ දාන්න. කාන්තා හිංසනය වළකින්න කියල කිව්වට එතනම කාන්තාවන්ට අවස්ථාව අහුරලා…”

“අනේ මන්දා… කාන්තාවන්ගේ හිංසනයෙන් අපිව බේරගන්න තමයි කවුරුවත් නැත්තේ…” ප්‍රසන්න රණතුංග එසේ කීවේ අත් පළඳනාව අතේ දාගන්නා ගමන්ය.

“මේ පාර ඕගොල්ලන්ගේ අමාත්‍යාංශයට බිලියන 125ක් වෙන් කරලා තියනවා. කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් අත දිග ඇරලා වියදම් කරන්න පුළුවන්…” මන්ත්‍රීවරයෙක් එසේ කියද්දී ගීතාට කේන්ති ගියේය.

“බම්බුවක් කියනවා. ඇයි හලෝ සමෘද්ධියත් තියෙන්නේ අපේ අමාත්‍යාංශයේ යටතේනේ. ඒකටනේ වැඩි මුදලක් යන්නේ. අන්තිමේ කාන්තා හා ළමා කටයුතුවලට සොච්චමයි ඉතිරි වෙන්නේ.

“සර් දන්නවද… මේ පාර පාර්ලිමේන්තුවේ විවාදවල දී විපක්ෂනායකතුමාගේ නෝනා ගැන තමයි හුඟ දෙනෙක් කතා කළේ… මට මතක මන්ත්‍රීවරු තිස් දෙනෙක් විතර කතා කළා…”

ඩයනා ගමගේ කීවාය.

“මොනවද ඒ ළමයා ගැන ඔච්චර කියන්න තියෙන්නේ…”

“අනේ මන්දා… එයාගෙ බියුටි සැලොන් එකකට ඉන්ජිනේරු සංස්ථාවෙන් සේවකයෝ දාලා වැඩ ගත්තා කියලා කතාවක් ගියේ… සජබෙ අය ගොඩක් කළේ ඒවට උත්තර දෙන එක” මන්ත්‍රීවරු පැහැදිලි කළහ.

“කාරක සභා අවස්ථාව තියෙන්නෙ විපක්ෂයට අයවැය ගැන විවාද කරන්න. විපක්ෂ නායකගෙ නෝන චෝදනාවලින් මුදවගන්න නෙවෙයි. අපි විපක්ෂයේ හිටිය නම් මේ වෙලාවේ පාර්ලිමේන්තුව හොල්ලනවා” ප්‍රසන්න රණතුංග කීවේය.

“මේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද කතා කරන්න. හැබැයි ඉතින් විපක්ෂයේ අය කතා කරන්නේ බහුබූත. ඒගොල්ලො විපක්ෂනායකගේ නෝනා ගැන කතා කරනවා” ආශු මාරසිංහ පැහැදිලි කළේය.

● රනිල්ටත් පැටලුණු
දේවදත්ත අංගුලිමාල

පසුගිය අයවැය විවාද අතරේ බුද්ධාගම ගැන කරුණු දැක්වුණු අවස්ථා ද බොහෝ ය. රනිල් පාර්ලිමේන්තුවේ පවතින යම් යම් කරුණු පැහැදිලි කරන්නට බුද්ධාගමේ තැන් තැන්වලින් විවිධ කරුණු ගෙන ආවා මතකය.

ඒ අතරෙ හාමුදුරුවරුන්ට සිවුර ඇඳගත් බට්ටෝ නමින් අපහාස කළා යැයි කියා චෝදනාවක්ද රනිල්ට පැමිණියේය. අඟහරුවාදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ චෝදනාව ජනාධිපතිවරයාට එල්ල කරමින් කතා කළේය.

“නෑ නෑ… මම කතා කළේ පරාභව සූත්‍රයේ එන ධර්ම කරුණක් ගැන මිසක් විපක්ෂ නායකතුමා ඔය කියන විදියේ අපහාස කිරීමක් නම් නොවේ. මම අපේ ගරුතර මහා සංඝරත්නය ගැන කතා කළේ නෑ.”

කොයිතරම් බුද්ධාගම දැන සිටියත්, කොයිතරම් බුද්ධාගමෙන් කරුණු ගැන කතා කළත් පසුගිය සතියේ එක් තැනක රනිල්ටත් ලොකු වැරදීමක් වුණේය.

“තමන්ගේම කණ්ඩායමේ අයගෙන් තමයි හතුරුකම් වැඩිපුර කෙරෙන්නේ. බලන්න… බුදුන් වහන්සේට වුණත් වැඩිපුර හතුරුකම් කළේ සිවුර ඇඳගෙන හිටපු අංගුලිමාල…”

රනිල්ට සිදු වූ ඒ වැරදීම විපක්ෂයට රස මසවුළක් මෙන් ප්‍රියජනක විය. ඔවුන් එයින් රනිල්ට ම පහර ගැසූහ.

“අපි දන්න බුද්ධාගමේ නම් සිවුර ඇඳගෙන හිටියෙ දේවදත්ත. අංගුලිමාල නෙවෙයි. බුදුන්ට ගල් පෙරලුවේ දේවදත්ත. ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් හොඳයි…” විජිත හේරත් කීවේය.

“දැන් බලාගෙන ගියාම බුදුන්ට ගල් පෙරළල තියෙන්නේ අංගුලිමාල. ඇඟිලි කපාගෙන මාල හදාගෙන ගිහින් තියෙන්නෙ දේවදත්ත…” තුෂාර ඉඳුනිල් කීවේය.

● අගමැති සාදයේ
ඇතුලේත් සාද….

ඔය වාද විවාද අස්සේ බදාදා හවස පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර ලොකු කසුකුසුවක් ඇති විය…

“හවස අගමැතිතුමාගේ පාටිය… අරලියගහ මන්දිරයේ පැත්තෙ යනවද….”

“අනේ බම්බුව… එයා දාන පාටි. අපි දන්නැද්ද දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාගේ හැටි.”

එහෙම කරන එකක් නෑ. අරලියගහ මන්දිරය නේ තියෙන්නේ. හොඳට කන්න බොන්න දෙයි. වයිෆ්ලා දරුවෝ ඔක්කොමත් එක්කයි එන්න කියලා තියෙන්නේ…” තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

“මේ අදනෙ පණිවිඩය හම්බවුණේ. කොහොමද ගෙදර අය අරන් එන්නේ. මම නං යන්නෙ තනියම…” මන්ත්‍රීවරයෙක් කීවේය.

“අපිත් යන්නෙ තනියම තමා…” මන්ත්‍රීවරු කීහ.

ඒ අනුව එදා හවස 7.00 වන විට මන්ත්‍රීවරු රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා අරලියගහ මන්දිරයට පැමිණෙමින් සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙලාවටත් කලින් පැමිණ යළි පිටත්ව ගොස් තිබිණි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් 7:15 පමණ වන විට ශාලාවට පැමිණ සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඒ වෙලාවේ පැමිණ මන්ත්‍රීවරු පිරිස සමඟ කතාබහ කරමින් සිටියහ. දිනේෂ් ගුණවර්ධනත් එතනට පැමිණ සිටි ආරාධිත හිතවතුන් පිළිගනිමින් ඔවුන් හා සිනාවෙමින් කතාබහ කරමින් සිටියේ ය.

සාකච්ඡා පටන් ගෙන ටික වේලාවක් ගිය පසු මන්ත්‍රීවරු විපරම් කරමින් බලමින් සේවකයන්ගෙන් විමසමින් සිටියේ එක්තරා කාරණාවක් ගැන ය…

“අපෝ… උඹලට පිස්සුද. මේක සිංහල බෞද්ධ දිනේෂ් ගුණවර්ධන ගේ පාටිය. මේවයි උඹලා හොයන කසිප්පු ජාති නෑ.”

“කවුද කසිප්පු බොන්නෙ. කසිප්පු බොයි ගම්වල උඹලා. අපි බොන්නෙ විස්කි.”

කවුරුන් හෝ මේ වෙලාවේ සාදය ඇතුළේ තිබෙන තත්ත්වය ගැන පිටස්තරව සිටි ප්‍රසන්න රණතුංග දැනුවත් කළේය. ඒ වෙලාවේ ප්‍රසන්න කියා ඇත්තේ මම මොනවා හරි අරගෙන එන්නම් කියාය…

“හරි හරි… ප්‍රසන්න මොනව හරි අරගෙන එයි. එතකන් චුට්ටක් හිටපල්ලා. ඔය කෑම ජාති තියෙන්නේ. චුට්ටක් හප හපා ඉමු….” මහින්දානන්ද කීවේය.

“මම යනවා මචං යන්න… මට වෙන වැදගත් වැඩක් තියෙනවා…” කියමින් චාමර සම්පත් පිටව ගියේය.

මේ අතර ප්‍රසන්න රණතුංග පැමිණියේ අවශ්‍ය කළමනා ද සහිතවය.

මේක ඇතුලෙ තියාගෙන හරි නෑනෙ… අපි යමු එළියට වාහනය ළඟට. ප්‍රසන්න සමඟ එක පහළොවක විස්සක පිරිසක් එතැනින් පිටව ගියහ. මේ කට්ටිය ඔක්කොම සෙට් වුණේ ප්‍රසන්නගේ වාහනය වටාය.

මේ අතර රනිල් වික්‍රමසිංහත් හිටපු ගමන් යාලුවෝ ටික අතුරුදන් වූයේ කොහෙදැයි කියා විමසා බැලුවේය. පිරිස රැස්වී සිටි තැන ඉවෙන් මෙන් දැනගත් රනිල් ද එතනට ගියේ ඒ සත්කාර්යයට හවුල් වන්නට නොව, ඒ පිරිස සමඟ අල්ලාප සල්ලාපයෙන් ප්‍රිය සමාගමයට දායක වන්නට කැමති නිසාය.

බිරින්දෑවරු සමඟ එන්නට කීවද බොහෝ දෙනෙක් එතනට ගොස් සිටියේ තනියම ය. සනත් නිශාන්ත, බන්දුල ගුණවර්ධන හා ජානක වක්කුඹුර පමණක් නෝන මහත්මීන් සමග පැමිණ සිටි නිසා එළියෙ පැවති රිය සමාගමයට සහභාගි වන්නට ඔවුන් වාසනාව නොලැබූහ.

ජනාධිපති සතුටින් සිනහසෙමින් පිරිස සමඟ කතාබස් කළේය. ඕගොල්ලො ගම්වලට යන්න. කතාබහ කරන්න. ඇත්ත කියල දෙන්න. මේ රට ගොඩ ගන්න වෙන ක්‍රමයක් නෑ. විපක්ෂයේ කාටවත් මේක කරන්න බෑ. ඡන්ද තිව්වොත් වෙන්නේ තවත් විනාශයක්.”

“ඒ වුණාට විපක්ෂය ඉල්ලන්නෙම ඡන්දයක් …”

“ඒ ගැන කලබල වෙන්න එපා”

“සර් … සමහර අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් ආයතන ප්‍රධානීන් ඇමැතිවරු කියන දේ අහන්නෙ නෑ….”

“ජනාධිපති කෙනෙක් අලුතෙන් ආවම අමාත්‍යාංශ ලේකම්වරු වෙනස් කරනවා. මම එහෙම කළේ නෑ. හැබැයි ඉතින් ආණ්ඩුවේ තීන්දු තීරණ එක්ක දුවාගෙන වැඩ කරන්න බැරිනම් අපට තීරණයක් ගන්ඩ වෙනවා…”

“ඒකට කමක් නෑ සර්… අපි උපරිම සහයෝගය දෙනවා. සර් එක්ක විතරයි මේ වෙලාවේ මේ ගමන යන්න පුළුවන්.” මහින්දානන්ද කිව්වේ ය.

● හතුරෝ එනහැටි
රනිල් කියාදෙයි

ඒ අතර ආණ්ඩුවේ සිටිමින් පසුව පිටට ගොස් හතුරුකම් කරන පොහොට්ටුවේ අය ගැන කතාබහක් ඇති විය.

“ඔයගොල්ල දන්නවාද… සැබෑ සතුරා එන්නේ ඉස්සරහින් නෙවෙයි, පිටිපස්සෙන් ඉඳන් කියලා හොඳ අපූරු කතාවක් කියලා තියෙනවා බ්‍රිතාන්‍යයේ හිටපු නායක වින්සන්ට් චර්චිල්… එයා ඒ කතාව කිව්වේ දෙවැනි ලෝක යුද්ධය වෙලාවේ එයත් එක්ක එකටම ඉඳලා වැඩ කරලා යුද්දේ දිනන්න මහා විශාල මෙහෙවරක් කරපු බ්‍රිතාන්‍ය ගුවන් හමුදා බලගණයේ හමුදා ප්‍රධානියා ගැන.”

“ඔව් සර්…. අන්තිමේ එයා චර්චිල්ට විරුද්ධව ඡන්දය ඉල්ලන්නත් ආවා නේද…”

“හරියට හරි ඒක තමයි වුණේ ”

ඒ කතාබහ දිගින් දිගටම ඇදී යද්දී පැන පැන කතා කළේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාය.

ඔහු රනිල් සමග සිටි පැරණි පින්තූරයක් පෙන්නමින්… මේක තමයි මම ඊළඟ කැම්පේන් එකට යොදා ගන්නා පින්තූරය යැයි කීවේය…

“ළඟදී රාජ්‍ය ඇමැතිකම් දෙන්නේ නෑ බං ඕවා පෙන්නලා වැඩක් නෑ…” මන්ත්‍රීවරු විහිළු කළාහ.

“කොහොමටත් ඇමැතිකමක් දුන්නොත් මම නම් එපා කියන්නෙ නෑ…. තිස්ස කුට්ටිආරච්චි කීවේය.

● රාජිත ගේ කතාවට
ඇමැතිකම දෙයිද….

සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙළේ කථිකයකු වන රාජිත සේනාරත්න පසුගිය දිනවල වෙනදා තරම් අණ්ඩුවට දැඩි විවේචන එල්ල කළේ නැත. යම් යම් යූටියුබ් වීඩියෝවලින් ද අපි දුටුවේ ආණ්ඩුවට සහයෝගය දෙන මට්ටමෙන් ඔහු කතා කරන ප්‍රවණතාවයකි.

එහෙත් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන කතා කරන අවස්ථාවේ දී ඔහු ආණ්ඩුව විවේචනය කරමින් එක්තරා සාධනීය කථාවක් කළේය…

මෙම විවාදයේ දී ඔහු කතා කළේ ඖෂධ හිඟය ගැනය…

“මේ රටේ ජීවිතාරක්ෂක ඖෂධ දාහතරක් තියෙනවා. ඉන් අවශ්‍යම තුන නෑ. හාට් ඇටෑක් එකක් ආවම දිව යටින් තියාගන්න ටී එන් ටී ඖෂධය අද රටේ නෑ. හරිම භයානක තත්ත්වයක්.

ඊළඟට අසාධ්‍ය ලෙඩ්ඩුන්ට සේලයින් දෙන්න පාවිච්චි කරන බට සෙට් එක නෑ…

ඒ වගේම සේලයින් නෑ.. ඔන්න අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැටිල තියෙන තත්ත්වය.

ඇමැතිතුමා කියනවා අත්‍යවශ්‍ය ඖෂධ මේ රටේ තියෙන්නෙ තුන්සීයයි කියලා. ඒක බොහොම වැරදි කතාවක්. අවශ්‍ය ඖෂධ 686 ක් තියෙනවා. ඒවායින් සියයට තිහක් ලංකාවේ නෑ.

අත්‍යවශ්‍ය නොවන ඖෂධ 400 ක් තියනවා. ඒවායින් 185ක් නෑ.

● නිහඬ රාජිත
කට ඇරපු හැටි…

මේ ආණ්ඩුව ජනතාවට පෙන්නන්න උත්සාහ කරන්නේ මේ ඖෂධ ගේන්න සල්ලි නෑ මූල්‍ය අර්බුදයක් තියෙනවා කියලා.

නමුත් සල්ලි නැතිකම නෙමෙයි. ඖෂධ ගෙන්නන්න අවශ්‍ය කළමනාකරණය නැතිකමයි වෙලා තියෙන්නේ. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක අනුව ඖෂධ 770 ක ට සල්ලි වෙන්කරලා තියෙනවා. නමුත් ගෙනත් තියෙන්නේ හැත්ත හතරයි. ශල්‍ය උපකරණ හා උපාංග 3000ට සල්ලි වෙන් කරල තිබුණත් එකක් වත් ගෙනත් නෑ. එතකොට රසායනාගාර උපාංග. එම උපාංග හත්සීයක් ගෙන්න සල්ලි වෙන් කරලා තියෙනවා. එකක් වත් ගෙනත් නෑ. එන්ඩීබී බැංකුවෙනුත් ආධාර කරල තියනවා අත්‍යවශ්‍ය ඖෂධ ගේන්න. නමුත් මේ එකක්වත් කෙරිලා නෑ …

ඇයි මෙහෙම වෙන්නේ. රාජ්‍ය සේවකයො කළමනාකරණය කරලා අදාළ ආයතනය සමඟ සම්බන්ධීකරණය කරලා අවශ්‍ය පියවර ගත්තේ නැත්තං කොච්චර සල්ලි තිබුණත් මේ වැඩ කෙරෙන්නේ නෑ. ඒක තමයි මේ සිස්ටම් එක හැඩ ගැහිච්ච ක්‍රමය. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විශේෂයි. මේව දැනගෙන කරන්න ඕන..”

“රාජිත ගේ කතාවෙන් පසු මන්ත්‍රීවරු බොහෝ දෙනකු ඇහුවේ ඔබට මේක දුන්නොත් කරනවද කියාය…” ඔහු සිනාසුනා පමණි.

මේ අතර ඉදිරියේදී විය හැකි කැබිනට් මාරුවක් ගැන අපූරු ඉඟියක් පසුගිය සතියේ නුවර පැවති එක්තරා සම්මේලනයකින් වාර්තා විය.

එය ඖෂධ අලෙවිකරුවන්ගේ ජාතික සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය යි.

එහි සභාපති නන්දික ගංකන්ද සභාව අමතමින් විශේෂ කරුණක් කීවේ මෙසේය.

“අපට විශ්වාස කටයුතු ආරංචියක් ආවා. අපි කාටත් සතුටු විය හැකියි. අපේ ක්ෂේත්‍රයේ හිටපු ඇමැතිතුමා රාජිත සේනාරත්න මැතිතුමා ආයෙත් මේ අමාත්‍ය ධුරයේ වගකීම ළඟදීම භාර ගන්නවා කියලා. ”

ඔහු එසේ කියන විට මුළු සභාවෙන්ම ලොකු අත්පොළසන් නාදයක් පැමිණියේය. එම අවස්ථාව වන විට කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාගේ ළඟම ඥාතියකු ද සභාවේ සිටියත් ඔහු කිසිදු විරෝධතාවයක් දක්වා නැත.

මේ අතර ඇමැති ප්‍රසන්න තවත් අලුත් වැඩකට පසුගියදා මුලපිරීය.

ඔහු තම අමාත්‍යාංශය පිළිබඳව කතා කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර පසුගියදා සාකච්ඡාවක් සූදානම් කළේය.

“සියක් නගර වැඩසටහන, ජොගින් ට්‍රැක් හදන එක හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. හදපුව හරියට නඩත්තු වෙන්නෙ නෑ”

ඒ චෝදනාව මන්ත්‍රී මධුරගෙනි.

“කලබල වෙන්න එපා මන්ත්‍රීතුමා, මේ අයවැයෙන් සල්ලි වෙන්වෙනවනේ. අපි හිමිහිට වැඩ ටික කරගෙන යමු”

ඇමැති ප්‍රසන්න සන්සුන්ව කීය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment