ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට

177

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඇමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (26) අලුයම දිවයිනට පැමිණියහ.

ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන මේ ඉහළ පෙළේ නියෝජිත පිරිස අනිද්දා (29) දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙම දූත පිරිසේ සාමාජිකයන් අතරට ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් මහතා සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය ඇතුළත් වෙති. මේ අමුත්තන් ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ, පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන්, ආර්ථික විiාඥයන්, සහ ජාත්‍යන්තර සංවිධාන හමුවීමට කටයුතු කරනු ඇත. උදවු අවශ්‍ය කරන ශ්‍රී ලාංකිකයන්හට, වත්මන් ආර්ථික අර්බුදය විසඳාලීම සඳහා වැඩකරමින් සිටින ශ්‍රී ලාංකිකයන්හට සහ අනාගතය වෙනුවෙන් තිරසාර සහ සර්වග්‍රාහී ආර්ථිකයක් සැලසුම් කරමින් සිටින ශ්‍රී ලාංකිකයන්හට එක්සත් ජනපදයෙන් සහය ලබාදිය හැකි වඩාත්ම ඵලදායී ක්‍රම පිළිබඳව ගවේෂණය කිරීමට ඒ සියලු රැස්වීම්වලදී මෙම දූත පිරිස කටයුතු කරනු ඇති බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය කියයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ සුරක්‍ෂාව සහ සෞභාග්‍යය සම්බන්ධයෙන් අපේ ඇති අඛණ්ඩ කැපවීම මේ සංචාරයෙන් පෙන්නුම් කෙරෙනවා යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය පවසයි. “ඔවුන්ගේ ඉතිහාසයේ දරන්නට වූ ඉතාමත්ම බරපතළ ආර්ථික අභියෝග ගණනාවකට ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන මේ අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා සහය දීමටත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමටත් අප දරන වෑයම් අන් කවරදාකටත් වඩා වැදගත් වනවා යැයිද ඇය කියයි.

ගතවූ දෙසතියේදී, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නව මූල්‍යකරණය වශයෙන් ඩොලර් මිලියන 120ක්ද, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 27ක දායකත්වයක්ද, ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙසම බලපෑමට ලක්වූ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 5.75ක්ද ලබාදෙන බව එක්සත් ජනපදයෙන් නිවේදනය කරන ලදී. එසේම, අවදානමට ලක්වී සිටින ජනතාව වෙත ජීවනෝපාය ආධාර ලබාදීම පිණිස සහ, ආර්ථිකය ස්ථායි තත්ත්වයකට ගෙනඒම සඳහා කරන මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා තාක්‍ෂණික සහය ලබාදීමට නව ප්‍රදාන වශයෙන් ඩොලර් මිලියන 6ක්ද එක්සත් ජනපදයෙන් නිවේදනය කර තිබේ. ඉදිරි මාසවලදී ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ආර්ථිකය පණ ගන්වද්දී, ආහාර අනාරක්‍ෂිතාවය මැඩපැවැත්වීමේදී සහ සෞඛ්‍ය හා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට ඇමෙරිකාව නොකඩවා සහාය දෙන බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වඩාත්ම කල් පවතින විසඳුම සැපයිය හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණයටද ඇමෙරිකාව දැඩි ලෙස සහාය දක්වන බව ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment