ඊයේ කොළඹ විරෝධය විසුරුවයි – පාසල් දරුවෝත් අසරණ වෙති

245

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙරේදා (07 දා) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී හා විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවී ජල සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඊයේ (08 දා) පැවැත්වූ විරෝධතා පාගමනට ද පොලිසිය යළිත් වරක් කදුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. එමෙන්ම ජාතික ජනබලවේගයේ ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණු ඊයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවැත්වූ විරෝධතාවයේදී ද පොලිසිය හා ඔවුන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය. මේ නිසා කොළඹ ඊයේ දිනයේ ද උණුසුම් විය.

ඊයේ කොළඹ විරෝධය විසුරුවයි - පාසල් දරුවෝත් අසරණ වෙති

රනිල්-රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹ විශ්වවිද්‍යාලයට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමු, ජනතා අයිතීන් උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව පෙළගැහෙමු යන බැනරය පෙරටු කරගෙන කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අන්තරේ විරෝධතා පාගමන පස්වරු 1.30 ට ඇරැඹිණි. ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් ඔවූහු ගමන් කරන්නට වූහ.

විශ්වවිද්‍යාලය යනු පොලිස් මැරයන්ගේ යුද පිටියක් නොවේ, පොලිසියේ අනීතික කඩාවැදීම හෙළා දකිමු, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව පෙළගැහෙමු, පොලිස් මැරයන් බැඳ තබනු වැනි වැකි සහිත පුවරු අතැතිව විශ්වවිද්‍යාල සිසූහු දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

ඊයේ කොළඹ විරෝධය විසුරුවයි - පාසල් දරුවෝත් අසරණ වෙති

කොළඹ රාජකීය විදුහල ආසන්නයේ ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයේදී විරෝධතාකරුවෝ හූ කියමින් ඉදිරියට ඇදී යන්නට වූහ. ඒ යනවිට කොළඹ කෞතුකාගාරය ආසන්නයේදී පොලිසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ප්‍රදේශයම උණුසුම් මුහුණුවරක් මෙන්ම යුද පිටියක ස්වරූපය ගත්තේය.

එහිදී කඳුළුගෑස් ප්‍රහාර වැඩි ප්‍රමාණයක් එල්ල කරන්නට විය. මෙහිදී විශ්වවිද්‍යාල සිසු සිසුවියන් මෙන්ම කොළඹ රාජකීය, තර්ස්ටන්, මහානාම විදුහල් ඇතුළු තවත් විදුහල් කීපයකම සිසු – සිසුවියන් ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවී ඉතා අපහසුතාවට පත්ව සිටිනු දැකගත හැකි විය. තවත් දරුවන් වමනය දමමින් සිටිනු දැකගත හැකි විය. එපමණක් නොව පාසල් වෑන්රථවල සිටි රියැදුරෝ ද මහමග ගමන්ගත් වාහනවල රියැදුරෝ ද අපහසුතාවට පත්වූහ. එසේම තවත් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇදවැටී තුවාල ලබා ඔසවාගෙන රැගෙන යන අයුරු ද දක්නට ලැබිණි. මේ නිසා තර්ස්ටන් විදුහල ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි.

ඊයේ කොළඹ විරෝධය විසුරුවයි - පාසල් දරුවෝත් අසරණ වෙති

කඳුළුගෑස් හා ජල ප්‍රහාර හමුවේ පසුබැස්ස විශ්වවිද්‍යාල සිසූහු කොළඹ රාජකීය විදුහල් මාර්ගයේ ඉදිරියට ගමන් කර යළිත් කොළඹ විශ්වවිද්‍යාලය දෙසට පැමිණෙන්නට වූහ. විශ්වවිද්‍යාලය ආසන්නයේ තැනක වාඩිවී විරෝධය පළ කරන අතරේ යළිත් පොලිසිය කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග ඔවූහු නැවත විශ්වවිද්‍යාලය ඉදිරිපිටට ගොස් විරෝධය පාන්නට වූහ.

එහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හිරුණ හෙට්ටිආරච්චි මෙසේ කීය.

ඊයේ කොළඹ විරෝධය විසුරුවයි - පාසල් දරුවෝත් අසරණ වෙති

අන්තරේ සංවිධානය කරපු සාමකාමී විරෝධතාවට පන්න පන්නා පොලිස් මැරයන් ගැහුවා. ඒ විතරක් නොවෙයි කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළට කඩාවැදිලත් පොලිසිය ගැහුවා. අර පාඩම් කර කර හිටිය අපේ නංගිලා මල්ලිලාටත් ගැහුවා. තිරිසන්නු වගේ පොලිසිය හැසිරුණේ. ඒකටයි අද අපි විරෝධය පෑවේ. මේ විරෝධයටත් අද පොලිස් බල්ලො ගැහුවා. අද අපේ සහෝදර පිරිස විතරක් නොවෙයි, ඉස්කෝලෙ ඇරිල ගෙවල්වල යන නංගිලා මල්ලිලාටත් මේ අය කඳුළුගෑස් ගැහුවා. ආණ්ඩුව මර්දනයෙන් අපේ හඬ නතර කරන්න හිතනවා ඒවා හීන විතරයි. ඉදිරියේදී ජනතාවත් අපිත් එක්ක එනවා. එදාට උඹලට දුවන්න පාර මදි වෙයි. මේවා තිරිසන් වැඩ. රනිල්-රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යන දවස වැඩි ඈතක නැහැ.

මේ අතර ජාතික ජනබලවේගයේ ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ සංවිධානය ඊයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පොලිසිය මාර්ග බාධක යොදා පාර්ලිමේන්තු පාර අවහිර කර තිබිණි.

බදු බර, බඩු මිල, විදුලි බිල වැඩි කර මැතිවරණය කල්දැමීමට එරෙහිව සටන් කරමු යන බැනරය සහිතව ඔවූහු විරෝධතාවයේ නිරත වූහ.

එම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

පෙරවරු 11.00ට ආරම්භ වූ එම විරෝධතාවය පැයකට අධික කාලයක් පැවැති අතර, ඒ හේතුවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment