ඊයේ දිවයින පුවතට මැතිසබයේ විරෝධය

539

‘මැති ඇමැතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති’ මැයෙන් ඊයේ (06දා) දිවයින ප්‍රධාන පුවතින් වාර්තා කළ ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බවත් එවැනි අසත්‍ය සමාජගත කොට සමාජය තවත් ප්‍රකෝපකාරී නොකරන ලෙසත් කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත එසේ කරුණු දැක්වූ මන්ත්‍රීවරයා එහිදී ‘කාලකන්නි මාධ්‍ය ආයතන සහ කාලකන්නි මාධ්‍යකරුවන්’ වැනි වචනද භාවිත කළේය. මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද කියා සිටියේය.

“මේ රටේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන ‘දිවයින’ පුවත්පත අද මුල් පුවතින් වාර්තා කරලා තිබෙනවා මැති ඇමැතිවරු ගිනි ගත් දේපළ තක්සේරුව ඩබල් කර ගනී කියලා. ඒ වගේම එක ගේ ගෙවල් දෙකක් කර ගනී කියලා. නොතිබූ වටිනා භාණ්ඩ ලැයිස්තු කරලා කෝටි සියයකට වඩා අලාභය ගැනීමේ තැතක් කියලා.

පුවත්පත් සිරස්තල කියවන සමහර මාධ්‍යවේදීන් කියනවා කාලකන්නි දේශපාලනඥයෝ කියලා, මගේ නිවසත් ගිනි තිබ්බා. මේ මාධ්‍ය ආයතන කතා කරලා නෑ අපි අද වෙනකම් කොහොමද ඉන්නේ කියලා, අපේ දරුවන් ඉන්නේ කොහොමද කියලා. මේ වගේ පට්ටපල් බොරු සමාජගත කරලා තවත් ප්‍රකෝපකාරී කරන්න එපා කියල මම ඉල්ලනවා. මේ වගේ කාලකන්නි වැරදි දේවල් ප්‍රචාරය කරලා මේ රටේ ජනතාවගේ ඔළු කන්නේ.

අද වෙනකම් ශත 05ක වන්දියක් අපට ලැබිලා නෑ. මෙතන ඉන්න කිසිම මන්ත්‍රීවරයකුට වන්දි ලැබිලා නෑ. ඒ නිසා වහාම මේක නිවැරදි කරන්න ඕනා, අපි කාටවත් වන්දි ලැබිලා නෑ. අපි ෆෝම් පුරවනවා විතරයි. ඊයෙත් අපි ජනාධිපතිතුමාට කියලා ෆෝම් පිරෙව්වා. අපට ෆෝම් පුරවලා එපා වෙලා තිබෙන්නේ. අපට ඇති වෙලා තිබෙන මානසික පීඩනය ගැන මාධ්‍ය ආයතන කතා කරලා නෑ. විශේෂයෙන්ම මේ රටේ ජාතික පුවත්පතක් වන දිවයින මේ වගේ අසත්‍ය පුවතක් පළ කිරීම ගැන අපේ බලවත් කනගාටුව සහ අප්‍රසාදය පළ කරනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා – මේ සිද්ධියෙන් වින්දිතයෙක් වුණු කෙනෙක් තමයි මමත්. මෙතුමා මතු කළ කාරණය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමු කරන්න. ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා. දිසාපති කාර්යාල හරහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා තමයි මේක ගැන පරීක්ෂණ කරන්නේ. මෙතැන ඉන්න වින්දිතයන් මේවා ගැන තමන්ට තක්සේරුවක් දෙන්න පුළුවන් අය නෙමෙයි ඉන්නේ. මේ කාරණය මාධ්‍යයට ඉදිරිපත් කරලා, තොරතුරු දීපු අය සොයා බලලා, ඒ අයට විරුද්ධවත් කටයුතු කරන්න කියලා මම කථානායකතුමාගෙන් ඉල්ලනවා.

කථානායක- අපි ඒ ගැන දැන්වීම කරන්නම් මන්ත්‍රීතුමා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment