ඊලගට ආණ්ඩුවට වෙන්නේ මොකක්ද?

242

ජනතා අභිලාශයන් එක් පසෙක තිබියදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කැමැත්ත මත පත්කළ ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස වැඩ අරඹමින් තිබේ. ඊට පසු දින රාත්‍රියේ ගෝල්ෆේස් අරගල භූමිය ඉවත් කිරීමට සිදු කළ හමුදා මැදිහත් වීම මේ රටේ දේශපාලන කරළිය තව තවත් උණුසුම් කිරීම දක්වා වර්ධනය වෙමින් ඇත. ආර්ථිකය කඩා වැටී, පාසැල් වැසී හෙට දවස ගැන සිතා ගැනීමට අසීරු තැනට ප්‍රශ්නය ඔඩු දුවා සිටියදී මේ ගමන් කරමින් සිටින්නේ කොතැනකටද…? රටේ දේශපාලන දහරාවේ ක්‍රියාකාරී ප්‍රබලයන් කිහිප දෙනෙක් සමග අපි මේ පිළිබඳව සාකච්ඡා කළෙමු.

රනිලුත් ගෙදර යා යුතුයි… ඒකයි මහජන මතය – ශ්‍රී.ල.නි.ප. මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

ඊලගට ආණ්ඩුවට වෙන්නේ මොකක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළේ ඇයි?

රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා විදියට ඉඳල වැඩ බලන ජනාධිපතිවරයා වුණාම එතුමා විපක්ෂයේ පක්ෂවලින් ඉල්ලුවා අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙක් ලබල දෙන්න කියල. ඒකෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂ සහ ආණ්ඩුවෙන් වෙන් වෙච්ච ස්වාධීන කණ්ඩායම් මේ සියල්ල එකතුවෙලා තීරණයක් ගත්තා සජිත් ප්‍රේමදාස මහත්තයාව අග්‍රාමාත්‍යවරයා විදියට නම් කරන්න. මොකද විකල්ප ආණ්ඩුව විදියට සාමාන්‍යයෙන් පිළිගන්නෙ විපක්ෂය. නමුත් ඒ නම් කිරීම සිදුවෙද්දි පරක්කු වෙලා වැඩියි. එම එකතු වීම තමයි යම් එකතුවක් විදියට ඉස්සරහට ඇවිත් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ජනාධිපතිවරයාගේ නමට යෝජනා වුණේ. එතනදි සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉදිරිපත් වෙනවා. ඒ දෙන්නා එකට සාකච්ඡා කරල ආව එකඟතාවට අපි සහයෝගය දෙන්න තීරණය කළේ.

එම සිදුවීම් ක්‍රියාවලිය හැර රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහයෝගය නොදීමට ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන කාරණාවක් තියෙනවද?

එහෙම වෙන කාරණයක් තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගේන්නෙ පොහොට්ටුවේ රාජපක්ෂවරුන්ගේ නියෝජිතයෙක් විදියටනෙ. අපි පොහොට්ටුවෙන් විතැන් වෙච්ච පිරිසක්නෙ. රාජපක්ෂවරු අපේ පක්ෂයට කරපු විනාශයත් අපරාධයත් එක්ක තවදුරටත් අපිට රාජපක්ෂවරු රකින්න හෝ ඔවුන්ගේ නියෝජිතයෙකුට සහයෝගය දෙනවද නැද්ද කියන එක ගැන මධ්‍යම කාරක සභාවෙදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. හේතුව ජන අරගලය තිබුණේ ගෝඨා සහ රනිල් ගෙදර යා යුතුයි කියන මතයේ. ඒ මතයේ අති බහුතරයක් ජනතාව ඉන්නකොට පාර්ලිමේන්තුවේදී එම මතයට පිටින් ඉන්න අපිට බැහැ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට මධ්‍යම කාරක සභාවෙදි තීරණය කළේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්න තීරණ මන්ත්‍රීවරු එළියෙදි ක්‍රියාත්මක කරන්නෙ නෑ. පක්ෂයේ තීන්දුවලට අවනත නෑ. පාලනයෙන් ගිලිහිලා තියෙන්නෙ. මේකට හේතුව මොකක්ද?

පක්ෂයක මධ්‍යම කාරක සභාවක තීන්දුවලට අනිවාර්යයෙන් අපි බැඳී සිටිනවා. ඒක තමයි පක්ෂයේ මන්ත්‍රීවරු අනුගමනය කරන ක්‍රියාවලිය. නමුත් පාර්ලිමේනතුවේදී මුලින්ම ශාන්ත බණ්ඩාර සහ සුරේන්ද්‍ර රාඝවන් එය කඩ කළා. ඔවුන්ට එරෙහිව පක්ෂය නීතිය ක්‍රියත්මක කළා. ඊට පස්සෙ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර පක්ෂයේ ගත්තු තීන්දුවලට පිටින් ගිහින් වැඩ කළත් ඔවුන්ට එරෙහිව කිසිදු තීන්දුවක් පක්ෂය විසින් අරගත්තෙ නෑ. ඇත්තටම ඒ වෙලාවේ ඔවුන්ට විරුද්ධව පක්ෂය විනය ක්‍රියාමාර්ග අරන් සාමාජිකත්වයෙන් නෙරපුවා නම් මේක මේ විදියට නොවෙන්න තිබුණා. ඒක නොකිරීම තුළ තව කෙනෙක් ගියා. ඒ චාමර සම්පත් මන්ත්‍රීවරයා. මේ දිගින් දිගටම තියෙන්නෙ පක්ෂයේ විනයක් නැති කමේ අර්බුදය. ඒක රටේ ප්‍රශ්නවලදී තීන්දු තීරණ ගැනීමේදී අහිතකර විදියට බලපානවා. පක්ෂයේ ලේකම්වරයා විදියට මම කියන්නෙ මම වැරැද්දක් කළොත් මට විරුද්ධව වුණත් විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. මම හිතනවා ඒ සම්බන්ධව මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීරණයක් ගනීවි.

නමුත් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළා කියල පාර්ලිමේන්තුවේ අසුන ඔවුන්ට අහිමි වෙන්නෙ නැති පූර්වාදර්ශයක් නේද තියෙන්නෙ?

නවසිය හැත්තෑව කාලයේ ඉස්සර තිබුණ තත්ත්වය තමයි මන්ත්‍රී ධුරය අහෝසි කරන්න නම් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරල එම කමීටුවන් තමයි මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ හැකියාව තිබුණෙ. ඒක තමයි ක්‍රමවේදය. නමුත් ඒ ක්‍රමවේදය වෙනුවට නඩු පැවරීමේ ක්‍රමවේදයක් ආවා. ඇත්තටම මේක යන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට. කිසිදු අවස්ථාවක දිසා අධිකරණයට ගියේ නෑ. නමුත් පක්ෂ සාමාජිකත්වයක් තහනම් කිරීම කියන කාරණය මත දිසා අධිකරණයට ගිහින් නඩු කටයුත්තක් පවරන්න පුළුවන් කියන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණායින් පස්සෙයි මේක දිසා අධිකරණයෙන් කරගන්න පුළුවන් දෙයක් බවට පත්වුණේ. ඊට පස්සෙ දිසා අධිකරණයෙන් අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම එතනදි දුන්න තීන්දු සම්පූර්ණයෙන් මහජන මතයට පිටින් තමයි ඒ තීන්දු දීල තියෙන්නෙ. සරත් සිල්වා විනිශ්චයකාරවරයා ඉන්නකොට පක්ෂයකින් ගිහින් තනතුරු භාරගැනීමත් ඔහු සහතික කළා. ඒ නඩු තීන්දුවත් එක්ක තමයි දැන් මේ විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙන්නෙ.

ජනතාව ඡන්දය භාවිතා කරන්නෙ පක්ෂයකට නැත්නම් පක්ෂය පෙනී සිටින ප්‍රතිපත්තිවලට. එය නියෝජන කිරීමට පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරුන් පක්ෂයේ ප්‍රතිපත්ති වලටත් පිටින් යනව නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙන්නෙ?

මම හිතන්නෙ දැන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදි එය හොඳින් පෙනුණා. මට රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා එක්ක කිසිම පුද්ගලික ක්‍රෝධයක් හෝ වෛරයක් හෝ අමනාපකමක් නෑ. ඔහු ඉතා පරිණත දේශපාලනඥයෙක් බව අපි දන්නවා. මේ ජනාධිපති ධුරය ලබාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් ඔහු යම් කැප කිරීමක් කළ කෙනෙක්. නමුත් ප්‍රශ්නය රටේ එළියේ මතය තිබෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්මයත් ගෙදර යා යුතුයි කියන එක. ඒ මතය නෙමෙයි පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණේ. ඊට වඩා හාත්පසින්ම වෙනත් මතයක්. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මෙතනදි සත පහකට වැඩක් නැති දෙයක් බවට පත්වුණා.

ජනාධිපතිවරයාගේ පැත්තෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක කතාවක් ඇහෙනවා. ඉදිරියේදි ශ්‍රී.ල.නි.ප. යත් තනතුරු අරන් එම ආණ්ඩුවට සම්බන්ධ වෙනවද?

එහෙම ආරාධනාවක් එනව නම් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු කණ්ඩායම සාකච්ඡා කරල ගත යුතු තීන්දුවක්. තාම පක්ෂය ඒ ගැන කිසිවක් සාකච්ඡා කරල නෑ.

88-89 දාපු සෙල්ලම් දැන් බෑ… පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊලගට ආණ්ඩුවට වෙන්නේ මොකක්ද?

ජනතාව පාර්ලිමේන්තුවට එවීමත් ප්‍රතික්ෂේප කළ නායකයෙක් දැන් ජනාධිපති බවට පත්වෙලා තියෙන්නෙ. අරගලයට කොතන හරි වැරදුණාද?

අරගලයට වැරදුණා නෙමෙයි. මේක පුළුල් මහජන අරගලයක්. මේ අරගලය ඇතුලේ සටන්පාඨ ගණනාවක් තිබුණා. එතනදි ස්වයංව පැන නැගුණේ රාජපක්ෂ පවුලේ අය ඉවත් විය යුතුයි. හොරකම් කළ මහජන ධනය ජනතාසන්තක කළ යුතුයි. පාර්ලිමේන්තුව පිළිබඳ කිසිදු විශ්වාසයක් නෑ .225 ම ඉවත් විය යුතුයි වගේ සටන්පාඨ. පොදුවේ ගත්තාම මේ සියලුම දෙනා දූෂිතයෝ කියන කාරණයත් එක්ක මේ තියන මුළු ස්ථාපිතයම ප්‍රතික්ෂේප කිරීමක් එතන තිබුණා. ඒකට මොකද්ද උත්තරය කියල දේශපාලනය වශයෙන් මුල් අවධියේදී එතන අදහසක් තිබුණේ නෑ. හැබැයි ක්‍රමයෙන් ගාලු මුවදොර දේශපාලන සංවාදය පුළුල් වෙද්දි මේකට අමතර යෝජනා ප්‍රමාණයක් එකතු වුණා. එකක් තමයි මේ තියෙන ව්‍යවස්ථාව විහිළුවක්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාවගේ බලයක් අවශ්‍යයි ජනතා නියෝජිත සභා පිළිබඳ සොයා බැලීමට කියන එක. ඒ කියන්නෙ එක සැරයක් පාර්ලිමේන්තු ඡන්දයකදි නියෝජිතයන් යවල ආයේ අවුරුදු පහකට පස්සෙ නින්දෙන් ඇහැරිලා වගේ බලන එකක් නෙමෙයි. නිරන්තරයෙන් සොයා බලන මැදිහත්වෙන බලසම්පන්න ජනතා ආයතනයක් අවශ්‍යයි කියල. මහජන කවුන්සිලය යෝජනාව ආවේ එකට. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන යෝජනාව පසුකාලීනව එනවා. අරගලයට පුළුවන් වුණා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයක් පලවා හරින්න. එතනින් ඉස්සරහට අරගලයෙන්ම යනව නම් කළ හැකිව තිබුණේ ප්‍රංශයේ, සෝවියට් දේශයේ, ඇමරිකාවේ, චීනයේ සිදුවුණා වගේ අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත්ත ජනතාව නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කිරීමනෙ. නමුත් එහෙම තැනක නෙමෙයි මේ අරගලය ක්‍රියාත්මක වුණේ. දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවල බලය ගන්න දියත් වුණ අරගලයක් නෙමෙයි මේ ක්‍රියාත්මක වුණේ. ජනතාවට ආව පීඩනයත් එක්ක ඒ පීඩනයට එරෙහිව පොදුවෙ මහජනතාව ගත්ත උත්සහයක් මේ තිබුණේ. දේශපාලන ව්‍යාපාරයක් විදියට අපිට අදහසක් තියෙනවා මේ ප්‍රශ්නයේ මූලයන් මොනවද ඒවට උත්තර හොයන්නෙ කොහොමද කියන එක ගැන. නමුත් ඒ අදහස එකපාරට ජනතාව මත බලෙන් පටවන් නැතිව ජනතාව මත වර්ධනය වෙන්න ඉඩ හරිමින් ප්‍රවේසම් සහගත ගමනක් මේ වෙනකන් ආවේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග අරගල භූමියේ සිටි විවිධ කණ්ඩායම් ඉවත් වුණා. චෝදනාවක් තිබෙනවා අරගලය පවා දීමක් වුණාය කියල. කව්ද මේ පාවාදීම කරන්නෙ?

නිශ්චිතවම අරගලයේ අභිලාශයන්ට විරුද්ධව කටයුතු කළේ පාර්ලිමේන්තුව. ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වීමත් සමග නව ජනාධිපතිවරයෙක් පත්කර ගන්න පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න අරගලය තීරණය කළා. එතනදි පාර්ලිමේන්තුව අරගලයේ අභිලාශයන්ට විරුද්ධව කටයුතු කළා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව අවම හරි දෙයක් කරගන්න තිබුණ අවස්ථාව ඔවුන් විසින් මග හැරියා. කොහොමටත් ජනතාව තුළ පාර්ලිමේන්තු නියෝජිතයන් ගැන විශ්වාසය බිඳිල තිබුණේ. පාර්ලිමේන්තුවටයි අවස්ථාව එළඹුණේ එයාල ජනතාවගේ නියෝජිතයෝ ලෙස වැඩ කරනවා කියල පෙන්වන්න. හැබැයි තනතුරු සහ අල්ලස් මත පදනම් වෙලා එයාල ඡන්දය පාවිච්චි කළා. අඩුම ගාණේ පක්ෂවල ඡන්ද දායකයන්ගේ මතයටවත් ඔවුන් පාර්ලිමේන්තුවේදී නියෝජනය කළේ නෑ. ඒ නිසා ලංකාවේ තවදුරටත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියල ඔප්පු වුණා. අරගලයෙන් විවිධ කණ්ඩායම් ඉවත් වීම් මන්දෝත්සාහී වීම වගේ දේවල් නම් කලිනුත් වුණා. ඒක පාවාදීමක් නෙමෙයි.

හැබැයි ඡන්දයකින් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණ රනිල් වික්‍රමසිංහ මහත්මයාව අරගලය විසින් ජනාධිපති වෙන තැනට වැඩ කරල තියනවා කියලයි දැන් මිනිස්සු කියන්නෙ?

නෑ මිනිස්සු එහෙම කියන්නෙ නෑ. එහෙම කියන්නෙ දේශපාලන අනාගතය අහිමි කරගත්ත හැමදාම අරගලයට හතුරුකම් කරපු තක්කඩි දේශපාලකයෝ කීප දෙනෙක් විතරයි. මොකද එයාලගේ ජාතිවාදී දේශපාලනය මේ අරගලය ඉවර කරල දැම්මා. විමල් වීරවංශල වගේ අය දැන් එහෙම කියන්නෙ ඒකයි. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපති ඡන්දය තිබෙන මොහොතෙත් ඊට කළින් දවසෙත් රට පුරාම රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න එපා කියල දැවැන්ත උද්ඝෝෂණ තිබුණා. ඒවා නොසලකා තමයි රනිල්ව ජනාධිපති කරන්නෙ.

ඒක කරගන්න තව වසර තුනක් නව පාර්ලිමේන්තුවක් එන තෙක් ඉන්න සිදුවෙනවා නේද?

නෑ එහෙම ඉන්න ඕන නැ. කොහොමත් දැන් ජනාධිපතිවරයා එළෙව්වේ කැබිනට් මණ්ඩලය එළෙව්වෙ ව්‍යවස්ථාවේ අනුපිළිවෙළට නෙවෙයිනෙ. මේ ඔක්කෝම කරේ ජනතාව. ජනතාවගේ බලය ඒ සඳහා ගොනු වීමයි වැදගත්. අනික මේ අරගලයේ තිබුණ අඩුව තමයි මේකෙ තිබුණ අසංවිධිත භාවය. ඒක නිවැරදි කරගන්න පුළුවන් ජූලි පස්වෙනිදා ගෝල්ෆේස් අරගලයේදි යෝජනා වෙච්ච මහජන කවුන්සිලය හරහා එය කඩිනම් කර කරවාගත යුතුයි.

සාමකාමී අරගලය මර්දනයෙන් දියාරු කරන බවක් පේනවා. අරගලය දියාරුවෙයිද?

හිටපු හමුදා නිලධාරියෙක් සර් එක්ක සෙල්ලම් බෑ කියල විශාල බලයක් එක්ක ආව ගෝඨභය රාජපක්ෂට ජනතා බලය ඉදිරියේ අන්තිමේට ඉන්න තැනක් නැතිව ලෝකෙ වටේ යන්න සිදුවෙලා තියෙන හැටි පේනවනෙ. ඒවත් එක්ක ගත්තම රනිල් වික්‍රමසිංහ කියන්නෙ කව්ද… ලංකාවේ ජනතාව දන්නවා තීරණයක් අරගෙන එක දවසක් කොළඹ එන්න තමයි තියෙන්නෙ මේ ප්‍රශ්න විසඳන්න. මේ අසූ අට අසූ නවය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අසූ අටේ අසූ නවයේ පරණ උපක්‍රම කරන්න හදනවා. 2022 ඒවා හරියන්නෙ නෑ. මේ තියෙන්නෙ අලුත් ලංකාවක්. ඒකත් එක්ක දේශපාලනය කරන්න ඉගෙන ගන්න.

තිස්ස ගුණතිලක

අපි ඉල්ලන්නේ සර්වපාක්‍ෂික ආණ්ඩුවක්… ස.ජ.බ. මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර

ඊලගට ආණ්ඩුවට වෙන්නේ මොකක්ද?

ප්‍රශ්නය – පසුගිය 20 වැනි දා ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ සහයෝගය හිමි වූයේ ඩලස් අලහප්පෙරුම මහතාට. එම මැතිවරණය පැවැත්වීමට පෙර සමගි ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරු සඳහන් කළා ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 140 ක් පමණ ලබාගන්නා බව. නමුත් ඒ මහතා පරාජයට පත්වූවා. එම පරාජය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී නොයෙක් නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම මෙම මැතිවරණයේ දි මන්ත්‍රීවරුන්ට රටේ ප්‍රශ්නයට වඩා තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න බලපෑව. මෙම මැතිවරණයේ දී මන්ත්‍රීවරුන් තමන්ගේ ගිනි තියපු ගේ හදාගන්නේ කෙසේ ද තමන්ගේ ආරක්ෂකයා කවුද, වාහන පර්මිට් එක ගන්නේ කෙසේ ද වසර පහක පාර්ලිමේන්තු කාලය සම්පූර්ණ කරන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව සලකා බලල තිබෙනවා.

ඒ වගේම මන්ත්‍රීවරුන්ට නොයෙකුත් පොරොන්දු ලබාදීලා තිබෙනවා. අගමැතිකම ලබාදෙන බවට, ඇමැතිකම් ලබාදෙන බවට නියෝජ්‍ය ඇමැතිකම් ලබාදෙන බවට පොරොන්දු ලබාදීලා තිබෙනවා. ඊට අමතරව තවත් නොයෙකුත් පොරොන්දු ලබාදීලා තිබෙනවා. එහෙම තමයි මෙම මැතිවරණය ජයගත්තේ.

මෙම මැතිවරණයේ දී රටේ තිබෙන මතය පිළිබිඹු නොවුන බව නම් ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තුවේ තිබෙන්නේ 2019 දී රටේ තිබුණ මතය. එම ජනමතයට අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූයේ. ජනතා විරෝධය හමුවේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට රටත් දාලා යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි මේ වන විට රටේ තිබෙන්නේ 2019 දී තිබුණ ජනමතය නොවන බව. පසුගිය 20 වැනි දා පැවැති මැතිවරණයේ දී එම ජනමතය පිළිබිඹු නොවුණ බව ඉතා පැහැදිලියි.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමෙන් පසුව කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුව අමතා අදහස් පළ කළා. එම අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා ලෙස අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා තමාට අංක ගණිතය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව. සජිත් ප්‍රේමදාස මහතාගේ එම ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ ඩලස් අලහප්පෙරුම මහතාගේ පරාජය පිළිබඳව ඒ මහතාට අවබෝධයක් තිබුණු බව නේද? ඇත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා තමාට අංක ගණිතය පිළිබඳව අවබෝධයක් තිබෙන බවට කළ ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ කුමක්ද?

පිළිතුර – එම ප්‍රකාශය තුළින් එතුමා කුමක් අදහස් කළා ද කියන එක මට හරියටම කියන්න බැහැ. එම ප්‍රකාශය තුළින් සජිත් ප්‍රේමදාස මහතා කුමක් අදහස් කළා ද කියන එක එතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ සහයෝගයත් අපේක්ෂා කරන බව සඳහන් කළා. එම ඉල්ලීම පිළිබඳව සමගි ජන බලවේගයේ තීරණය කුමක්ද?

පිළිතුර – අපි පළමුවෙන්ම මෙම ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක් ද කියන එක බලනවා. ඒ වගේම අපි දිගින් දිගටම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. අපි විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු සමග මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින මන්ත්‍රීවරු සමගත් සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. අපි බලනවා ආණ්ඩුව කටයුතු කරන්නේ එම වැඩපිළිවෙළ අනුව ද එසේත් නොමැති නම් වෙනත් වැඩපිළිවෙළක් අනුව ද කියන එක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද කියන එක සලකා බැලීමෙන් පසුව අපි අපගේ තීරණය ගන්නවා.

රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා අපට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙනවා. මේක අපේ දේශපාලන අනාගතය පිළිබඳව සලකා බලලා තීන්දු තීරණ ගන්න අවස්ථාවක් නොවෙයි. මෙම රට පිළිබඳව සලකා බලලා තීන්දු තීරණ ගත යුතු අවස්ථාවක්. අපි බලමු ආණ්ඩුවේ වැඩපිළිවෙළ න්‍යාය පත්‍රය කුමක් ද කියන එක. ඒ අනුව අපි රටට ජනතාවට හොඳක් වන තීරණයක්ග න්නවා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ දෙකකින් පරාජයට පත්වූවා. ඉන් අනතුරුව ඒ මහතා සරත් ෆොන්සේකා මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ජනාධිපතිවරණ දෙකක් මගහැරිය. එක්සක් ජාතික පක්ෂයේ සිටි බොහෝ දෙනකු සමගි ජන බලවේගය සමග එක්වූයේ වික්‍රමසිංහ මහතා දිනන්න බැරි නායකයකු ලෙස සලකායි. නමුත් අද වන විට ඒ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වී තිබෙනවා. ඒ පිළිබඳව මෙම අවස්ථාවේ දී ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – එතුමා ජනාධිපති ධුරයට පත්වූයේ ජනමතයෙන් නොවෙයි. එම ධුරයට පත්වී තිබෙන්නේ පස්ස දොරෙන්. ජනාධිපති ධුරයට පත්වීම එතුමාගේ ඉලක්කයක් වෙන්න ඇති. එම ඉලක්කය නම් එතුමා අද වන විට සපුරාගෙන තිබෙනවා. නමුත් එතුමා ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙක්. රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය විසින් එතුමා ජනාධිපති ධුරයට පත්කර තිබෙනවා.

ප්‍රශ්නය – ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට තවදුරටත් වසර දෙකකට අධික කාලයක් බලයේ රැඳී සිටීමේ හැකියාව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එම සම්පූර්ණ කාලයම ධුරයේ රැඳී සිටිනවාට සමගි ජන බලවේගය එකඟද?

පිළිතුර – කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මූලික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් පසුව මැතිවරණයකට යා යුතුය කියන එක තමයි අපගේ ස්ථාවරය.

ප්‍රශ්නය – ගාලු මුවදොර පවතින අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – අද වන විට රට පත්වී තිබෙන තත්ත්වයට රාජපක්ෂ ආණ්ඩුව වගකිය යුතුයි. නමුත් ජනාධිපතිවරයා පමණක් මේ වන විට ගෙදර ගිහින් තිබෙනවා. අනෙක් අයත් සමග අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් හදලා තිබෙනවා. අරගලයෙන් අපේක්ෂා කළ ප්‍රතිඵලය මේක නොවෙයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

ජනතාව ඉල්ලුවේ අනුර…! ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ඊලගට ආණ්ඩුවට වෙන්නේ මොකක්ද?

පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජාතික ජන බලවේගය පිළිගන්නවාද?

පිළිතුර:- මේ ජනාධිපතිවරයා කිසිසේත් පිළිගන්නෙ නෑ. මේ ජනතාවගේ කැමැත්තෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි. සැබෑ ජනමතය වත්මන් පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණේ නෑ. මේ පාර්ලිමේන්තුවෙ තියෙන්නෙ විකෘතියක්.

ප්‍රශ්නය:- නමුත් ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් හරහා ජනාධිපතිවරයා පත්ව අවසන්. ඔහු ජනාධිපති ධුරය හිමි වීමෙන් අනතුරුව සැවොම එක්ව කටයුතු කරන මෙන් විවෘත ආරාධනාවක් ද පාර්ලිමේන්තුවේදී සිදු කළා.

පිළිතුර:- ජනමතයට එරෙහිව පත්වුණු ජනාධිපති කෙනෙක් එක්ක අපට සම්මුතියක්, එකඟතාවක් නෑ. මුළු රටේම ජනතාව අරගලය කරන්නෙ ගෝඨා, රනිල් දෙන්නම ගෙදර යන්න කියල. සම්මුතියකට යන්න අවස්ථා තිබුණ. ඒක පැහැර හැරල තමයි මේ ජනාධිපතිවරයා පත්වුණෙ. දැන් ඒකට ඉඩක් නෑ.

ප්‍රශ්නය:- මොකක්ද ඒ මග හැරුණු තැන…

පිළිතුර:- අපි පක්ෂයක් විදිහට යෝජනා කළා වත්මන් කථානායකවරයාම සියලු දෙනාගේ එකඟත්වයෙන් ඉතිරි ධුර කාලයට ජනාධිපති විදිහට පත් කරන්න. ඊළඟට කෙටිකාලීන අමාත්‍ය මණ්ඩලයක් සියලු පක්ෂ එකතුවෙලා හදාගන්න. එහි අගමැති ධුරය පක්ෂවල එකඟතාවෙන් පත් කරන්න. ඒ පත්වෙන කෙනා ඊළඟ බල ව්‍යාපෘතියේ ප්‍රධානියෙක් නොවිය යුතු කියල අපි යෝජනා කළා. එහෙම ගත්තාම ඉතාම පැහැදිලි අවස්ථාවක් තිබුණ එකතුවෙලා වගකීම් භාර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. අපිත් ඒකෙ වගකීම් භාරගන්න සූදානම්වෙලා හිටියෙ. එහෙම තියෙද්දි තමයි මේ හිතුවක්කාර තීරණය අරන් තියෙන්නෙ.

ප්‍රශ්නය:- එකඟ වෙන්නෙ නැත්නම් ඊළඟට මොකක්ද කරන්න බලාගෙන ඉන්නේ…?

පිළිතුර:- මේ ජනාධිපතිවරයා පත්වුණේ හොරු රකින්න, ජනතාව බලාපොරොත්තු වුණේ හොරු අල්ලන නායකත්වයක්. එනිසා මේ රනිල් එක්ක රට හදන්න බෑ. මේ රටේ ආර්ථිකය වට්ටන්න විශාල දායකත්වයක් දුන්නෙ රනිල්. බැඳුම්කර කොල්ලය, 2015-2019 කාලයේ තමයි විශාල වශයෙන් බැඳුම්කර ගත්තෙ. ඒ කාලයේ තමයි රාජ්‍ය සම්පත් විකුණන්නෙ. ඒ නිසා එයත් එක්ක එකතුවෙලා කිසිදු ආකාරයකින් වැටිච්ච ආර්ථිකය ගොඩගන්න බෑ. ඒ නිසා රනිල් රාජපක්ෂ පාලනය පලවා හරින සටන අපි දිගටම ගෙනියනව.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තු රහස් ඡන්දයේදි අනුර කුමාර දිසානායක කිව්වෙ ඔහුට ලැබී තියෙන ප්‍රතිඵලය ගැන පුදුමයක් නෑ කියල. ඒ කියන්නෙ ඔබලා ඉදිරිපත් වෙන්නෙ පරදින බව දැනගෙනමයි…

පිළිතුර:- අපිට ඕන වුණේ ජනතා මතය වෙනුවෙන් පෙනී ඉන්න. ජනතාව ඉල්ලුවෙ අනුරව තමයි. ඔබ දැක්ක ඩලස්ව යෝජනා කරන්නෙ සජබයේ නායක සජිත් ප්‍රේමදාස. ඩලස් කියන්නෙ පොහොට්ටුවෙ භාණ්ඩාගාරික. අනෙක් පැත්තට ඒක ස්ථිර කරන්නෙ පොහොට්ටුවෙ සභාපති. රනිල් වික්‍රමසිංහව යෝජනා කරන්නෙ දිනේෂ් ගුණවර්ධන පොහොට්ටුවේ ලේකම් කණ්ඩායම. ඉතින් පොහොට්ටුවෙ සභාපතියි, පොහොට්ටුවෙ ලේකම් දෙපැත්තට බෙදිල අපේක්ෂකයො දෙන්නෙක් ඉදිරිපත් කළා. ඒකෙන් රට බලාපොරොත්තු වෙන තත්ත්වය ඇතිවෙන්නෙ නෑ. අපි ඉදිරිපත් වුණේ ජනතාවගෙ සැබෑ නියෝජනය වෙනුවෙන්.

ප්‍රශ්නය:- ජවිපෙට 3 ඉලක්කමත් සමග එක්ක තියෙන්නෙ කිට්ටු බැඳීමක් කියල තමයි සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන්නෙ. මේ තුන අතික්‍රමණය කරන්න ජවිපෙට බැරිද?

පිළිතුර:- මහපොළොවෙ ඒක අතික්‍රමණය කරල ඉවරයි. පාර්ලිමේන්තුවෙ ඔය 225 කියන්නෙ මුදල්වලට එහා මෙහා වුණු පිරිසක්. ඡන්දයට පෙර දින රාත්‍රියේ තමන්ට නින්ද ගියෙ නැති බව හරීන් ප්‍රනාන්දු කියනව. නිදානොගෙන මෙහෙයුමක් කළ බව කියනව. ඒ මෙහෙයුම තමයි එහාට මෙහාට වෙන්දේසි වුණ එක. මේ විකිණුන මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඵලය තමයි දැක්කෙ. එහෙම විකිණෙන තත්ත්වයකදි අපේ ඡන්ද තුන වටිනා වැදගත්කමක් තියෙන ඡන්ද තුනක්. හැබැයි සැබෑ ජනතා මතය තියෙන්නෙ මේ අවුරුදු 74 අතර රට විනාශ කරපු මේ දෙගොල්ලන්ටම එරෙහිව රට ඉල්ලන්නෙ අනුර.

ප්‍රශ්නය:- සියයට 3 ගැන ඇතැම් කොට්ඨාස උසුළු, විසුළු කරනවනෙ. ජාතික ජනබලවේගයට ඒ ගැන කියන්න තියෙන්නෙ මොකක්ද?

පිළිතුර:- එහෙම උසුළු විසුළු කරපු අය දැන් උඩබලාගෙන කෙළගහගත්ත තත්ත්වයට පත්වෙලා. එහෙම විහිළු කරපු අයට දැන් ජනතාව අතර බලයක් නෑ. ඒ විහිළු කරපු අය දැන් ගලේ පහරපු උගුඩුවා තත්ත්වයට පත්වෙලා ඉන්නෙ.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවෙ සංයුතිය ගත්තම ඒක ව්‍යවස්ථානුකූලව ජනතා මතය කියල පිළිගන්න වෙනවනෙ. ඇයි ජවිපෙට මේ නියෝජනයෙන් මන්ත්‍රීවරු 3කට වඩා දිනාගන්න බැරිවුණේ?

පිළිතුර:- මේ දෙපැත්තෙම හිටියෙ මම අර කියපු විවිධ වුවමනා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන අය. ප්‍රතිපත්ති වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන අය නෙමෙයි. ඒක තමයි මේ ඡන්ද ප්‍රතිඵලය ආවෙ. අපට ඕන වුණේ අපේ අනන්‍ය වූ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉන්න.

ප්‍රශ්නය:- ජවිපෙ පිළිගත්තත් නැතත් දැන් ජනාධිපති රනිල්. අරගලය හා පාර්ලිමේන්තුව අතර සම්මුතියක් ඇති කරගන්න රනිල් මොනවගේ ක්‍රියාමාර්ගයන් ගනී කියල හිතනවද?

පිළිතුර:- රනිල් මොන ප්‍රතිචාරයක් දැක්වුවත් මේ හැප්පෙන්නෙ ජනතාව එක්ක. එයා හිතනව නම් 71, 89 දේශපාලන පක්ෂ මැඬල බලය තහවුරු කරගන්න දැන් ඒ තත්ත්වය නැහැ. මේ තියෙන්නෙ ජවිපෙයි ආණ්ඩුවයි අතර හැප්පිල්ලක් නෙමෙයි. ජනතාවයි ආණ්ඩුවයි අතර හැප්පිල්ලක්. රනිල් වික්‍රමසිංහයි ආණ්ඩුවයි අතර හැප්පිල්ලක්. අනෙක අද සමස්ත ජනතාවම දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක ඉන්නෙ. කන්න බොන්න නෑ, ගෑස් නෑ, තෙල් ටික නෑ. ඒ නිසා යම් යම් මර්දනකාරී ක්‍රියාමාර්ග අද හරියන්නෙ නෑ. රනිල් පෙන්නන්න හදන්නෙ ඒක.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment