ඊසීජී මැෂිම වැරදියට සම්බන්ධ කළ බවට පෞද්ගලික රෝහලකට චෝදනාවක්… සෞඛ්‍ය සේවිකාව ගේ වරද තහවුරු වෙයි

723

ඊසීජී මැෂිමේ ලීඩ්ස් (වයර්) වැරදි ආකාරයට පපුවට සවිකර ඊසීජී ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලකට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. පානදුර ෆොන්සේකා පාරේ පදිංචි අයිරාංගනී සමරසිංහ නැමැති කාන්තාවක විසින් පැමිණිල්ල කර ඇතැයි සදහන් වේ.

අදාල කාන්තාව පපුවේ වේදනාවක් හේතුවෙන් ඊසීජී පරීක්ෂණයක් සඳහා ඉකුත් දිනෙක පානදුර පෞද්ගලික රෝහලක් වෙත ගොස් ඇති අතර, එහි වාර්තාව අනුව ඇයට කිසිදු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව එම රෝහලේම බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා දැනුම්දී තිබේ.

කෙසේ වුවද අදාල කාන්තාවගේ පුත්‍රයාට එම ඊසීජී පරීක්ෂාව පිළිබඳ විශ්වාසයක් නොතිබූ බැවින් වෙනත් වෛද්‍යවරයකු වෙත පෙන්වා ඇත. ඊසීජී පරීක්ෂාවකදී රෝගියාගේ ශරීරයට සවිකරන ඊසීජී මැෂිමේ ලීඩ්ස් ( වයර්) වැරදි ස්ථාන වලට සවිකර පරීක්ෂණය සිදුකර ඇති බව පවසා ඇති බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ පුත්‍රයකු රෝහලට පැමිණිලි කර ඇති අතර, ඒ මොහොතේ ප්‍රධාන හෙද නිලධාරිනිය ඊසීජී ලබාගත් සෞඛ්‍ය සේවිකාව කැදවා මැෂිම ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ විමසීමේදී වැරදි ආකාරයට ඊසීජී ලබාගෙන ඇති බවට තහවුරුවූ බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයිද පැවසේ. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩ් ඉෂ්මි මහතා, සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. නමුත් මෙය විභාග කිරීමට මට බලයක් නැහැ. පැමිණිල්ල කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යොමුකළා. මීට මාස දෙකකට පෙර සමේ රෝගයකට ප්‍රතිකාර ගැනීමට මෙම රෝහලට ගිය පාසල් ගුරුවරියකගේ මුහුණේ ක්‍රීම් වර්ගයක් වෙනුවට ඇසිඩ් වර්ගයක් තවරා මුහුණ පිළිස්සීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවද පානදුර සෞඛ්‍ය බළධාරියෙක් සදහන් කළේය.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment