ඊළඟ කට්ටිය යෑමට පෙර

653

තව දින කිහිපයකින් විශ්‍රාම යෑමට නියමිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් පුහුණුවීම් සඳහා යැයි කියමින් අමාත්‍යාංශයේ සහ එන්ජීඕ කිහිපයක වියදමින් පිටරට ගොස් පැමිණ ඇත. මෙසේ සංචාරය කළ නිලධාරීන් ගණන 11 කි. පසුගිය මාස 2 ක කාලය තුළ යුරෝපය, ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක ඔවුන් සංචාරය කර තිබේ. එයට ඇමැතිවරයාගේ අනුමැතිය පවා ලැබී නැත.

මෙහිදී වැදගත් ප්‍රශ්න කිහිපයක් පැනනඟී. මේ ගමනට ඇමැතිගේ අනුමැතිය නොලැබුණේ නම් එම අනුමැතිය දෙන ලද්දේ කවර නිලධාරියකු විසින් ද? ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දන්නවාද? රාජ්‍ය නොවන සංවිධානයක් වෙතින් රජයේ නිලධාරීන් සඳහා මුදලක් ලබා ගන්නා විට ඒ වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවන් බොහෝමයක් තිබේ. එයින් පළමුවැන්න වන්නේ මෙසේ මුදල් එවන රාජ්‍ය නොවන සංවිධානය කවර ප්‍රමිතියකට අයත් ආයතනයක් ද යන්නය. සමහර විට එම රාජ්‍ය නොවන සංවිධානය බෙදුම්වාදයට උදව් කරන සංවිධානයක් විය හැකිය. නො එසේ නම් එම සංවිධානය කිසියම් ආගමක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාකාරී වී එම ආගම සඳහා මිනිසුන් නම්මවා ගැනීමට මුදල් වියදම් කරන සංවිධානයක් විය හැකිය. එහෙමත් නැත්නම් එම සංවිධානය කළු සල්ලි සුදු කරන සංවිධානයක් විය හැකිය. එන්ජීඕ එකකින් ආණ්ඩුවේ වැඩකට FUND කරන විට ඒ සම්බන්ධයෙන් සොයා බලන විශාල පිරිසක් සිටිති. උදාහරණයක් වශයෙන් නාසිවාදය ප්‍රවර්ධනය කරන සංවිධානයක් මේ රටේ දේශපාලනඥයන්ට වැඩමුළු පැවැත්වීමට සල්ලි වියදම් කළහොත් එතැන විශාල චර්යාත්මක ප්‍රශ්නයක් හට ගනී. ඒ නිසා ආණ්ඩුව එවැනි සංවිධානයක් රටේ හතර මායිමකට වද්දා ගන්නේ නැත. කිසියම් රටක සන්නද්ධ ගැටුම් සඳහා සහ ත්‍රස්තවාදය සඳහා උදව් කරන සංවිධානයක් ශ්‍රී ලංකා යුද හමුදාවට පුහුණු සැසියක් පවත්වන්නට ගියහොත් එය ද අවුලක් බවට පත්වේ. එහිදී එම වැඩේට ආණ්ඩුව ඉඩ දෙන්නේ නැත. එහෙත් ඉහත සඳහන් රාජ්‍ය නොවන සංවිධාන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට සියලු දෙනාගේම ඇස් වසා ගේම ගැසීමට හැකි වී තිබේ.

පසුගිය මාස 03 කට පෙර ශ්‍රී ලංකාව පැවතියේ ඉතාම නරක අරගලකාරී තැනක ය. එමෙන්ම ඉතාම නරක දේශපාලන නොසන්සුන්තාවක් රට තුළ පැවතිණ. අපගේ අදහස වන්නේ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කපටි රැළ විශ්‍රාම කාලයේදී සෞඛ්‍ය සේවා සැපයීම පුහුණුවීම සඳහා ඉහත සඳහන් සංචාරවල නිරත වූ බව ය.

රජයේ රෙගුලාසි කඩමින් මෙවැනි දේ කරන නිලධාරීන්ට විරුද්ධව පියවර ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබේ. අප බොහෝ දෙනා දන්නා පරිදි ඇතැම් රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුවද තමන් කළ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටී. ඉහත සඳහන් වංචනික ක්‍රියාව ආණ්ඩුවේ වරදක් නොව නිලධාරීන්ගේ හොරකමක් බව අපගේ මතය වේ. එබැවින් අනාගතයේදීත් මෙවැනි දෑ සිදු නොවනු පිණිස වැඩපිළිවෙළක් යෙදීම ආණ්ඩුවේ වගකීම බව අප විශ්වාස කරමු.

ඉහත සඳහන් නිලධාරීන් විසින් පුහුණු සැසිවාරය සඳහා ගිය ගමන තරුණ පරම්පරාවට අයිති ගමනකි. පුහුණුව යනු සක්‍රීය මෙහෙයුම්වල යෙදී සිටින අයගේ අයිතිවාසිකමක් බව පෙන්වාදිය යුතුව තිබේ. හෙට විශ්‍රාම යන එකාට අද ලබාදෙන පුහුණුව අනිද්දාට වතුරේ යයි. ඊට හේතුව හෙට විශ්‍රාම ගන්නා එකා අනිද්දා සිට ගෙදරට වී සිටීමය. එහෙත් ඔහුට තම ක්‍ෂේත්‍රයේම වෙනත් වෘත්තියක් ලබා ගැනීමට හැකි වුණොත් එමගින් විශාල මෙහෙවරක් කිරීමට හැකි වේ. එහෙත් ලංකාව වැනි රටවල එවැනි අවස්ථා විරල ය. එක්කෝ එවැනි අවස්ථා ඇත්තේම නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැළ පිළිබඳ සිද්ධිය පාඩමකට ගැනීම රජයේ වගකීම වේ. ඊළඟ විශ්‍රාමාපේක්‍ෂිතයන් පිරිස පුහුණුව සඳහා යෑමට පෙර සැලකිලිමත් වීමට රජය වගබලා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment