ඊළඟ ජනතා නැගී සිටීම අතිශයින්ම භයානක වෙන්න පුළුවන්

199

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල
 

 තමන්ගේ දෙමාපියන්ගේ මරණ හමුවේ පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගී සිටීමක් සිදු වුණොත් එය අප්‍රියෙල් මාසයටත් වඩා අතිශයින්ම භයානක තත්වයක් බවට අපි ආණ්ඩුවට අනතුරු අගවනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

 ඊයේ(26දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

 ඉදිරියේ දී ආහාර සහ ඖෂධ හිඟයක් ඇති වන බව පේනවා. රෝහල්වල ඖෂධ හිඟ බවට වෛද්‍යවරු මැසිවිලි නගනවා. පාසල් දරුවන් වේල් දෙකක් ආහාර නොගෙන ඉඳලා පාසලේදී ක්ලන්තේ හැදෙන බවට ගුරුවරු පවසනවා. ගෙවල්වල උයන්න දෙයක් නැති බව පවසමින් ගෘහණියන් හඬා වැටෙනවා. කවුරුන් සඟවන්න හැදුවත් ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බව තිත්ත ඇත්තක්.

 පසුගිය අප්‍රේල් මාසයේදී ජනතා නැගිටීමක් සිදුවුණේ තෙල් සහ ගෑස් හිඟය නිසා ඇති වුණු පීඩනය නිසා. ඇත්තෙන්ම විදුලිය, ඛනිජතෙල් ගෑස් වගේ භාණ්ඩවල හිඟය මාරාන්තික නෑ. මීට වසර 200කට කලින් මේ භාණ්ඩ නැතිවත් මිනිස්සු ජීවත් වුණා. නමුත් ආහාර සහ ඖෂධ නැතිව ජනතාවට පැවැත්මක් නෑ. ඖෂධ නැතුව සිය දෙමව්පියන් මිය යන විට දරුවන් මාරාවේශ වෙනවා. කුසට අහරක් නැතුව දරුවන් මොර දෙන විට දෙමව්පියන් මාරාවේශ වෙනවා. එහෙම නම් මේ අර්බුදයට කඩිනම් විසඳුම් සෙව්වේ නැතිනම් මාරාවේශ වූ ජනතාවගේ කෝපයට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවේවි. තමන්ගේ දෙමාපියන්ගේ මරණ හමුවේ පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගීසිටීමක් සිදු වුනොත් එය අප්‍රියෙල් මාසයටත් වඩා අතිශයින්ම භයානක තත්වයක් බවට අපි ආණ්ඩුවට අනතුරු අගවනවා.

 ඒ වගේම රට අරාජික වීමේ අනතුරක් තිබෙනවා. තමන්ගේ දරුවන්ට කන්ඩදී ගත නොහැකිව මානසිකව කඩා වැටිලා යක්ෂාවේශව සිටින දෙමාපියන් සුපිරි වෙළඳ සැල් වටකරලා ඒවා කඩලා ඒවායේ භාණ්ඩ මිනිසුන් අතර බෙදාගන්න පුළුවන්. වෙළඳ සැල්වලටත් කඩා පැනලා ඒවායේ තියෙන කෑම ටික පවා තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න අරන් යන්න පුළුවන්. මේක තවදුරටත් වර්ධනය වුණොත් ජනතාව යමක් කමක් තියෙන නිවෙස් වට කර උයලා තිබෙන කෑම ටික පවා මංකොල්ල කෑමට  කුසගින්නේ පෙළෙන දරුවන්ගේ දෙමව්පියන් පෙළබීමේ දැවැන්ත අවදානමක් තියෙනවා.

 රාජ්‍ය සේවය කුඩා කරන්න කියලා හැමෝම උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ වියදම අඩු කරන්න මිස වැඩි කරන්න නොවේ. නමුත් විශ්‍රාම වයස වසර පහකින් පහත දැමීමෙන් සිදු වන්නේ රාජ්‍ය වියදම වැඩිවීමක් මිස අඩුවීමක් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment