ඊළඟ සැරේවත් රෙද්ද තියලා යන්න…

955


ඉන්දියාව සිය ඉතිහාසයේ මුල් වතාවට දිය යටින් දුම්රියක් ධාවනය කර ඇත. ඉන්දියාවේ හූඩ්ලි ගඟ යටින් ඉදි කෙරුණු මීටර් 500 උමං මාර්ගයක් ඔස්සේ පසුගිය 12 දා මෙට්‍රෝ දුම්රියක් ධාවනය කරමින් මෙම දිය යටින් දුම්රිය ගමන ආරම්භ වී තිබේ. උමග පිහිටා ඇත්තේ ගඟට මීටර් 53 ක් යටිනි. මෙම දුම්රිය උමග දිගේ ගඟ හරහා යෑමට තත්පර 45 ක් වැය වෙයි.

 මේ සමගම ඉන්දියාව ජාත්‍යන්තර දුම්රිය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් බවට පත්වන්නේය. සාමාන්‍යයෙන් ලෝකයේ විශාලතම දුම්රිය මාර්ග ජාලය පවත්නා රටවල් දෙක තුනෙන් එකක් ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය. එහෙත් උසස්ම තාක්ෂණික මට්ටමේ දුම්රිය ධාවනය සිදුකෙරෙන්නේ ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක්, ෂැංහයි ආදී නගර මූලික කරගෙනය. මේ හැම රටකම මෙට්‍රෝ දුම්රිය තිබේ. ශ්‍රී ලංකාවට මෙට්‍රෝ දුම්රිය හඳුන්වාදීමට ගෙනා ව්‍යාපෘතිය විටක යහපාලන ආණ්ඩුව විසිනුත්, යහපාලන ආණ්ඩුව අත්සන් කළ ගිවිසුමක් ඊට පසු බලයට පත්වූ පොහොට්ටු ආණ්ඩුව මගිනුත් අවලංගු කිරීම නිසා එකී දුම්රිය සේවයේ විදේශීය පාර්ශ්වකරුවා වූ ජපානය අප සමග හොඳටම තරහ විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ ගිවිසුම යළි අලුත් කරගෙන මෙට්‍රෝ දුම්රිය ලංකාවේ ස්ථාපනය කර ජපන් රජය ශේප්කර ගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹී ඇත. මෙහිදී වැදගත් යමක් කියමු. ඉන්දියානුවා දිය යටින් දුම්රිය ගමන් කරවන්නට පටන්ගන්නේ මීට සති දෙකකට පමණ පෙරය. එහෙත් දිය යටින් දුම්රිය පමණක් නොව ප්ලේන් පවා ධාවනය කළ හැකි දේශපාලඥයෝ මේ රටේ සිටිති. එක්ස්ප්‍රස් පර්ල් නැව මහ මුහුදට ගිලා බැස්සේ ඩොලර් මිලියන 250 ක ජරාවක් චාමර ගුණසේකර නමැති පුද්ගලයකුගේ ගිණුමකට බැර කරවමින් බව කියනු ලැබේ. නැව යටගිය නමුදු මුදල ඇත්තේ ගොඩය. 2020 සැප්තැම්බර් 3 දා විශාල තෙල් නැවක් වූ නිව් ඩයමන්ඩ් යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදේදී ගිනි ගත්තේය. සතියක් පමණ ගිනි ගැනීමෙන් පසු ඒ නැවද මුහුදට ගිලා බැස්සේය. මේ නැවට අදාළ මූලික වන්දියක් හෝ මූලික වන්දියක් ගෙවීම සඳහා වෙන්කළ මුදල මෙන් ඩොලර් මිලියන 5 ක් අස්ථානගතවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මේ රට පුදුම විය යුතු තරම් දූෂිත රටකි. මුළු ලෝකයක් බලා සිටියදී ආණ්ඩුවක් යටතේ පවත්නා සල්ලි මේ ආකාරයෙන් හොරකම් කළ හැකිද? එය එසේම කළ හැකි බව එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් ගසාකෑම්වලින් පැහැදිලි වෙයි. පසුගිය අවුරුදු 50 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී විශාල නැව් 50 ක් පමණ මුහුදුබත් විය.

මෙසේ මුහුදුබත් වූ නැව්වලින් එකල පැවති ආණ්ඩුවලට අයවිය යුතු වන්දි හෝ දඩ අයකරගෙන ඇති බවක් නොපෙනේ. නැවක් මුහුදුබත් වූ විට සිදුවන ලොකුම දේ වන්නේ එම නැවේ යකඩ ටික කපා ගැනීම සඳහා දේශපාලඥයන් සහ ව්‍යාපාරිකයන් එකතු වීමය. සාමාන්‍යයෙන් රුපියල් කෝටි ගණනක් වටිනා යකඩ නැවකින් කපාගත හැකිය. නැවේ ජෙනරේටරය කොතරම් විශාලද යත් එවැනි ඇතැම් ජෙනරේටරයකින් මුළු මහත් නගරයකටම ලයිට් දිය හැකිය. යකඩවලට අමතරව තඹ සහ ඇළුමිනියම්ද නැවක නිර්මිතය තුළ තිබේ. නැවක් ගිලුණු ආරංචියට වෙරළට දුවන දේශපාලනඥයෝ සතුටු කඳුළු හෙළන්නට පටන් ගනිති. ඒ නැව ගොඩගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ බලවත් ඇමැතිවරු නැව ගිලී තිබෙන මුහුදු සීමාවට යාබද ප්‍රදේශයේ ප්‍රාදේශීය මන්ත්‍රී ඇතුළු විශාල පිරිසකට නැව ගොඩගැනීමේදී පගා දිය යුතුය. නැවක් ගිනි ගත්තාට යකඩ දැවෙන්නේ නැත. එය කලකට පසු යළි ගොඩගෙන උණුකර යකඩ බවට පරිවර්තනය කරගත හැකිවේ. තවත් අවුරුදු කිහිපයක ඇවෑමෙන් එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් යන නැව් දෙකටම යළි ගොඩඒමට චාන්ස් එක ලැබෙනවා ඇත. මේ නැව් දෙක පිළිබඳ අර්බුදය අවසන් වනතුරු යකඩ කාක්කෝ කෙළ හලමින් බලා සිටිති.

නැව් කතාව මෙතැනින් කෙළවර වන්නේ නැත. එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය අයකර ගැනීම ප්‍රමාද කිරීම සඳහා ඩොලර් මිලියන 50 ක මුදලක් ලබාගත් චාමර ගුණසේකර නමැති පුද්ගලයකු එය එංගලන්තයේ බැංකුවක තැන්පත් කළ බවත් එහි බැංකු එකවුන්ට් අංකය පවා තමා දන්නා බවත් පසුගියදා ප්‍රකාශයට පත්කළ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඒ තොරතුරු සියල්ලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය. එහෙත් චාමර ගැනවත් එංගලන්ත බැංකු ගිණුම ගැනවත් කිසිම තොරතුරක් ලබාගැනීමට මේ වනතුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එංගලන්ත බැංකුවකට කතාකර බැංකු ගිණුම් අංකයක් කියා එහි ඇති මුදල් ගණන ප්‍රකාශ කරමින් සහතික ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලුවොත් එම බැංකුව කවදාවත් එම ඉල්ලීමට ඉඩ දෙන්නේ නැත. බැංකුවට ගනුදෙනුකරුවකු යනු ඉතා වැදගත් සාධකයකි. එබැවින් කිසිදු විදේශික බැංකුවක් තම ගනුදෙනුකරුවන් පාවාදීම අපේක්ෂා කළ නොහැකිය. එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් යන නැව් දෙක සාගරයේදී ගිනිගෙන මුහුදු පත්ලට කිඳා බසින්නේ මේ රටේ දේශපාලනඥයන්ගේ රෙද්දත් රැගෙනය. කුඩයක් අතින් ගෙන එක කනකින් රිංගා අනෙක් කනෙන් එළියට ඒමට හැකියාවක් ඇති මිනිසුන් සිටින මෙවැනි රටකදී ගිලෙන්නට අපේක්ෂා කරන සියලු නැව් වලින් අප ඉල්ලා සිටින්නේ මුහුදු පතුලට කිඳා බසින විට දේශපාලනඥයන්ගේ රෙද්ද දිය යටට රැගෙන නොයන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment