උගත් විනයධර ධර්මධර භික්‍ෂූන් වහන්සේලා  ලොවට බිහි කිරීම සියක් නමක්  එක අරමක් සංකල්පයේ අරමුණයි

207

– සිළුමිණි පිරිවෙන් මහා විහාරාධිපති ජූලම්පිටියේ පඤ්ඤාලෝක නාහිමි

 ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා හිඟ වෙමින් පවතින යුගයක සියක් නමක් පැවිදිකර සසුනඹර ආලෝකවත් කරන මහා යතිවරයාණන් වහන්සේ නමක් වන පිළියන්දල, මඩපාත, පොල්හේන සිළුමිණි පිරිවෙන් මහා විහාරාධිපති සහ කොළඹ රාජකීය විiාලයේ හිටපු ධර්මාචාර්ය පරිවේණාධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජනීය ජූලම්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකි.

උගත් විනයධර ධර්මධර භික්‍ෂූන් වහන්සේලා  ලොවට බිහි කිරීම සියක් නමක්  එක අරමක් සංකල්පයේ අරමුණයි

අපේ නායක හාමුදරුවන් වහන්ස “සියක් නමක් එක අරමක්” යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද?

 මගේ බලාපොරොත්තුව මේ රටට ලෝකයට

 ගැළපෙන පරිදි උගත් බුද්ධිමත්, බහුශ්‍රැත, විනයධර, ධර්මධර භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් දායාද කිරීමයි. එම බලාපොරොත්තුව ඇතිව මීට වසර පහකට පමණ පෙර සිළුමිණි පිරිවෙන ආරම්භ කරන්නට යෙදුණා. මූලික අදියරේදී සියක් නමක් දක්වා පැවිදිකර පිරිවෙන් අධ්‍යාපනය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අද දිනය වනවිට 85 නමක් මා ළඟ පැවිදිභාවය ලබා වැඩසිටිනවා. ඒ සියලුම භික්‍ෂූන් වහන්සේලා මාගේ ශිෂ්‍යයන් වීම විශේෂත්වයක්. මේ වැඩසටහන තමයි සියක් නමක් එක අරමක් කියල කියන්නේ.

 අපේ නායක හාමුදුරුවන් සමීපයේ පැවිදි භාවය ලබන්න මෙපමණ කුල දරුවන් ප්‍රමාණයක් ලැබෙන්නේ කොහොමද?

 රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වන දෙමාපියන්ගේ පින්වන්ත දරුවන් අප පිරිවෙනේම පැවිදි කිරීමට උනන්දුවක් දක්වනවා. එය අපට සතුටට කාරණාවක්. අපගේ පරිපාලන ව්‍යුහය මෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාවත් උපරිමයෙන් සොයා බැලීම දෙමාපියන්ගේ විශේෂ ඇගයීමට ලක්වී තිබෙනවා.

 ඇත්තෙන්ම අපේ නායක හාමුදුරුවන් වහන්ස, කොහොමද මෙපමණ පිරිසක් පාලනය කරන්නේ.

 පාන්දර පහේ සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වන කාලසටහනකට අනුවයි පරිපාලනය ගෙනයන්නේ. සියලු දේ සිදුවන්නේ මෙම කාලසටහනට අනුවයි. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා මුදල් පාවිච්චියක් නැහැ. දුරකථන භාවිතය සපුරා තහනම්. ඉගෙන ගැනීමට අවශ්‍ය දේ පමණයි ළඟ තබා ගත හැකි වන්නේ. බෙල් එකට සියලු දෙනා අවනතයි. අපට කිසිම කරදරයක් නැහැ. සියලු දේ නිසි වේලාවට කෙරෙනවා. අපේ පිරිවෙන පවත්වන්නේ උදේ 7.30 සිට සවස 1.30 දක්වා පාසල් වෙලාවෙමයි. ධර්ම දේශනා පුහුණුව, පිරිත්, ධම්මපදය, පාඩම් ගැනීම, භාවනා කිරීම, ත්‍රිපිටකය පැහැදිලි කිරීම ආදිය අනිත් වේලාවන්හිදී සිදු වෙනවා.

 දෙමාපියන්ගෙන් වෙන්වෙලා උතුම් පැවිදි භාවය ලැබූ කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේලාට දැන් ඉන්නෙ අම්ම තාත්තා වෙනුවට ඔබ වහන්සේයි. කොහොමද අපේ හාමුදුරුවනේ ඒ සෙනෙහස ලබාදෙන්නෙ.

 මගේ ළඟ පැවිදිවෙලා ඉන්නව අවුරුදු පහේ ඉඳන් කුඩා දරුවො. ඇතැම් අයගෙ අම්ම නැහැ. ඇතැම් අයගෙ තාත්ත නැහැ. ඇතැම් අයගේ අම්මත් තාත්තත් දෙන්නම නැහැ. නමුත් සියලු දෙනාම පුදුම විදියේ සතුටින් ඉන්නව. මම සහ පරිවෙණාධිපති හාමුදුරුවො ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම රට පුරා විසිරී සිටින අපගේ දායක පිංවතුන්ගේ නොමඳ ආදරය, සෙනෙහස අපේ පොඩි හාමුදුරුවන්ට ලැබෙනවා. එවිට බාහිර සියලු දේ අමතක වෙලා යනව, හොඳින්

 ඉගෙන ගන්නවා.

 පිරිවෙනෙන් සිදුවන ජාතික, ආගමික සේවාවන් කෙටියෙන් සඳහන් කළොත්?

 මේ වනවිට භික්‍ෂූන් වහන්සේලා නොමැතිව වැසී ඇති විහාරස්ථාන තෝරාගෙන ඒවා සංවර්ධනය කර අපගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා එම විහාරස්ථානවල වැඩසිටීමට සලස්වනවා. එය විශාල ජාතික වැඩපිළිවෙළක්. මෙම විහාරස්ථාන සංවර්ධනය කිරීමට ඔබටත් දායක විය හැකියි. මේ වනවිටත් භික්‍ෂූන් වහන්සේලා නොමැති විහාරස්ථාන කීපයක්ම භාරගෙන තිබෙනවා. රටේ විවිධ ප්‍රදේශවල ජාතික ආගමික වැඩසටහන් සඳහා භික්‍ෂූන් වහන්සේලා වැඩම කරනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙන ගන්නා දරුවන් සඳහා උපකාර කිරීම, අප පිරිවෙනේ පැවිදිභාවය ලබා තිබෙන පොඩි හාමුදුරුවන් වහන්සේලා ගිහි කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල්වල දරුවන්ට වාර්ෂික අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ලබාදීම ආදිය අප පිරිවෙනෙන් සිදුවන ප්‍රධාන කාර්යයන් ලෙස සැලකිය හැකියි.

 යුගයේ කාර්යභාරය තේරුම් අරගෙන ඔබවහන්සේ කරගෙන යන මෙම දැවැන්ත සත්ක්‍රියාවට දායක වීමට බොහෝදෙනකු කමැත්තෙන් සිටිනවා. අපි කොහොමද දේශීය – විදේශීය කෙනෙක් මෙම වටිනා වැඩසටහනට දායක වෙන්නේ.

 අප පිරිවෙනට පවතින ප්‍රධාන අඩුපාඩුව තමයි ගොඩනැඟිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම.

 කාමර සියයකින් සමන්විත භික්‍ෂු නේවාසිකාගාරය ඉදිකර ගැනීම. දැනට තිබෙන දාන ශාලාව ප්‍රමාණවත් නොවීම නිසා සියක් නමකට වැඩසිටිය හැකි දාන ශාලාවක් ඉදිකර ගැනීම සෝලා පැනලයක් සවිකර ගැනීම පිරිවෙනට ගිලන් රථයක් සහ බස් රථයක් අවශ්‍ය කර තිබෙනවා.

 රටේ ජනතාවට තිබෙන ආර්ථික තත්ත්වය හමුවේ මෙපමණ මහා සංඝරත්නය ප්‍රමාණයකට දානය පූජා කිරීම අපහසු කාරණාවක්. මේ කාලයේ දානවල අඩුපාඩු පවතිනවා. ඕනෑම කෙනකුට දාන වේලක් භාර ගන්න පුළුවන්. එම දානය පිළියෙල කර හෝ වියළි සලාක වශයෙන් හෝ මුදල් වශයෙන් හෝ භාර ගන්න පුළුවන්.

 සිවුරු හෝ සිවුරු රෙදි, බෙඩ්ෂීට්, තුවා, සබන්, දත් බෙහෙත්, බිස්කට්, සීනි, තේ කොළ, කිරිපිටි, අභ්‍යාස පොත්, පිරිවෙන් පොත්, පෑන්, පැන්සල්, වයිට් බෝඩ්, ප්‍රථමාධාර බේත් දෛනිකව අවශ්‍ය කරනවා.

 සාමණේර ස්වාමීන් වහන්සේ නමකගේ කැපකරු දායකත්වය ලැබීමේ මහඟු අවස්ථාව උදාකර ගත හැකියි. ඔබේම දරුවකු ශාසනයට දායාද කර පැවිදි කිරීමට නොහැකි වුවත් පැවිදි වී සිටින පොඩි හාමුදුරුවන් වහන්සේ නමකගේ මවෙක් පියෙක් වීමේ උතුම් දුර්ලභ අවස්ථාව මේ තුළින් උදාකර ගත හැකිය. ඒ සඳහා වැඩිවිස්තර පිරිවෙනෙන් ලබාගත හැකිය.

 පිරිවෙනේ ලිපිනය සහ සම්බන්ධ විය හැකි දුරකථන අංක 0112-052514, 071-8563081, 076-4495257.

සාකච්ඡා කළේ – වසන්ත ලියනගේ
 
 ඡායාරූප – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment