උගුරේ පේර කෑල්ලක් හිරවූ මාස 18ක බබා නූලෙන් බේරෙයි

134

කුඩා දරුවන්ට මව්පිය අවධානයෙන් මිදී දුව පනිමින් ආහාර ගන්න ඉඩ දෙන්න එපා
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ

කුඩා දරුවන්ට දුව පනිමින් ආහාර ගැනීමට ඉඩ නොදිය යුතු අතර ඇට වර්ග හොඳින් පොඩිකර කෑමට දිය යුතු යැයි පේර කැබැල්ලක් ස්වරාලයේ සිරවූ මාස දහ අටක දරුවකුට අවශ්‍ය මූලික ප්‍රතිකාර සපයාදීමෙන් අනතුරුව ඌව පළාත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය. වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා එකී සිද්ධිය ගැන මෙසේ පැවැසීය.

පසුගිය දවසක හදිසියේම මවක් බිලිඳකු තුරුළු කර ගෙන අඬා ගෙන කලබලයෙන් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට පැමිණියා. දරුවාට වයස අවුරුදු එකහමාරක් බවයි කීවේ. සිරුර නිල්පැහැ ගැන්වී කඩා වැටිලයි තිබුණේ. බිලිඳාගේ හෘද ස්පන්දනය මිනිත්තුවකට 20 ක් දක්වා පහත වැටිලා තිබුණා. එවෙලේ කළ යුතු එකම කාර්ය දරුවාට කෘතිම ස්වසනය දීමයි. ඔක්සිජන් වායුව සපයන බටයක් පෙනහලු තුළට ඇතුල් කරන්න ගත්තා.

යමක් ස්වරාලය පිහිටි ස්ථානයේ සිරවී ඇති බව වැටහුණා. නමුත් අසීරුවෙන් බටය පෙනහලු තුළට ඇතුල් කර ඔක්සිජන් දෙන්න හැකි වුණා. මේ එක්කම පෙනහලු ක්‍රියාත්මක වෙලා හෘද ස්පන්දනය වැඩි වුණා. රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රනයත් ඉහළ ගියා.

දරුවා තත්පරයක් ප්‍රමාද නොකර ශල්‍යාගාරයට අරන් ගියා. උගුර, කණ සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සපුමල් ඒකනායක සහ නිර්වින්දන වෛද්‍ය කෝනාර කුසුමරත්න යන මහත්වරුන් එක්ව දරුවාගේ ස්වරාලය තුළ සිර වී තිබූ තද ද්‍රව්‍ය සුරක්ෂිතව පිටතට ගත්තා. ඒක පේර කැබැල්ලක්. දරුවාගේ වයස හැටියට ඒක විශාල එකක්. දරුවා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. දරුවා ඉතා ඉක්මනින් රෝහල වෙත රැගෙන ඒම නිසාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර දී ජීවිතය රැක ගන්න හැකි වුණා.
බදුල්ල – එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment