උගුලට ගොදුරු නොවී ජයග‍්‍රහණය සොයා යෑම

212

ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාව පරදවා 2-1 ක එක්දින තරගාවලි ජයග‍්‍රහණයක් ලැබුවේය. එය වසර එකහමාරකට පසුව ශී‍්‍ර ලංකාව ලැබූ එක්දින තරගාවලි ජයග‍්‍රහණය විය. එක දිගට පරාජයන් ගණනාවකින් හෙම්බත්ව සිටි ශී‍්‍ර ලංකාවට මේ එක්දින තරගාවලි ජයග‍්‍රහණය අකලට වට වැස්සක් මෙන් විණ.

 ඒ සමගම තවත් වැදගත් දෙයක් එම තරගාවලියේදී සටහන් විය. එනම් ලෝකු කුසලාන සුපිරි ලීගයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට ශී‍්‍ර ලංකාවට හැකි වීමයි. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම නිමිත්තෙන් මේ සුපිරි ලීගය කි‍්‍රයාත්මක වේ.

 ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා තරගාවලිය ආරම්භ වීමට පෙර ශී‍්‍ර ලංකාව එම සුපිරි ලීග ප‍්‍රසාද ලකුණු සටහනේ 11 වැනි ස්ථානයේ පසුවූයේ ලකුණු 22 ක් හිමි කර ගනිමිනි. තරගාවලි ජයත් සමග ශී‍්‍ර ලංකාවට ප‍්‍රසාද ලකුණු 20 ක් හිමි විණි. දැන් ශී‍්‍ර ලංකාව සතු ප‍්‍රසාද ලකුණු ගණන 42 කි. ශී‍්‍ර ලංකාව එම ප‍්‍රසාද ලකුණු 20 සමගින් පියවර 6 ක් ඉහළට නගිමින් එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගතව ඇත.

 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සෘජුවම තෝරා ගන්නේ මෙම සුපිරි ලීගයේ ප‍්‍රසාද ලකුණු සටහන මතිනි. ඒ අනුව ශී‍්‍ර ලංකාවට 2023 ලෝක කුසලානයට සෘජුවම පියවර තැබීමට නම් එම කණ්ඩායම් 8 අතර සිටිය යුතුය. නැත්නම් සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි වීමට ශී‍්‍ර ලංකාවට සිදු වේ.

 එළැඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට නැම්බියාව, නෙදර්ලන්තය, අයර්ලන්තය වැනි රටවල් සහභාගි වන සුදුසුකම් ලැබීමේ තරග ජය ගෙන සුපිරි කණ්ඩායමට ඇතුළත් වීමට සිදුව ඇත්තේ ඒ නිසාය. ශී‍්‍ර ලංකාවට අත්වූ එම ඉරණම කනගාටුදායකය. ශී‍්‍ර ලංකාව වරක් පන්දුවාර 20-20 ශුරයෝ වූහ. තවත් වරක් අනුශුරයෝ වූහ. එවැනි කණ්ඩායමකට මෙසේ සුදුසුකම් ලැබීමේ තරග හරහා සුදුසුකම් ලබන්නට සිදුවීම නොවිය යුතුව තිබූ දෙයකි. එහෙත් දැන් එය සිදු වී හමාරය.

උගුලට ගොදුරු නොවී ජයග‍්‍රහණය සොයා යෑම

දැන් කළ යුතු වන්නේ එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා යෑමේදී ද එම ඉරණම අත් නොවීමට වගබලා ගැනීමයි ඒ සඳහා ශී‍්‍ර ලංකාවට සුපිරි ලීගය යටතේ ඉතිරිව ඇත්තේ තවත් තරග 9 කි. සුපිරි ලීගය යටතේ කණ්ඩායමකට ලැබෙන තරග 24 න් 15 ක්ම ශී‍්‍ර ලංකාව දැන් කී‍්‍රඩා කර හමාරය. පසුගිය 07 වැනිදා දකුණු අපි‍්‍රකාව සමග පැවැති තරගය එම ලීගයේ ශී‍්‍ර ලංකාව සහභාගි වුණු 15 වැනි තරගයයි.

 දැන් ශී‍්‍ර ලංකාව 5 ට පැමිණ ඇත. එහෙත් මේ ස්ථානය රැුක ගැනීම හෝ ඉන් ඉදිරියට යෑම හෝ අඩුම තරමේ 8 න් පහළට නොවැටී සිටීමට ශී‍්‍ර ලංකාව වගබලා ගත යුතුය.

 සුපිරි ලීගයේ වැඩිම තරග සංඛ්‍යාවකට (තරග 15) සහභාගි වී ඇත්තේ එංගලන්තය හා ශී‍්‍ර ලංකාව වේ. එංගලන්තය ඒ අනුව ප‍්‍රසාද ලකුණු 95 ක් හිමි කරගෙන ඇත. දැන් ශී‍්‍ර ලංකාව සිටින 5 වැනි ස්ථානය අනෙක් කණ්ඩායම් විසින් පසුකර යෑමට වැඩි ඉඩක් ඇත්තේ ඔවුන්ට ශී‍්‍ර ලංකාවට වඩා වැඩි තරග ප‍්‍රමාණයක් ඉතිරිව ඇති නිසාය.

 දකුණු අපි‍්‍රකාව සමග පැවැති පළමු තරගය ජය ගනිමින් ශී‍්‍ර ලංකාව  පසුගිය තරගාවලියට හොඳ ප‍්‍රවේශයක් ලබා ගත්ත ද දෙවැනි තරගය පරාජයට පත් වුණි. එම පරාජයේ මුල ආරම්භ වූයේ පළමු තරගයේදී ශතකයක් වාර්තා කළ අවිශ්ක ප‍්‍රනාන්දුගේ දැවී යෑමත්, මිනෝද් භානුකගේ දැවී යෑමත් සමගය. ඔවුන් දෙදෙනාගේ දැවී යෑම් අනුව පෙනී ගියේ ප‍්‍රතිවාදී පන්දු යවන්නන් හොඳ අධ්‍යයනයකින් යුතුව ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ දුර්වල තැන් සොයා බලා ඔවුන් දවා ගත් බවය.

 ඒ බව තවත් සාක්ෂාත් වූයේ හිටපු සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග එම දැවීයෑම් පිළිබඳව ඊට පෙර කර තිබූ අනාවැකියක් මගිනි. එනම් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ඉණ ප‍්‍රදේශයෙන් ඉහළට පන්දුව යොමු කර ඔවුන් ඉදිරි පාදයට කැඳවා අවිශ්කව සහ මිනෝද් භානුකව දවාලීමට ප‍්‍රතිවාදී පන්දු යවන්නන් දෙවැනි තරගයේදී කටයුතු කරනු ඇති බවට මාලිංග අනාවැකි කියා තිබිණි. මාලිංගගේ අනාවැකිය කිරිගහට ඇන්නා මෙන් හරි

 ගියේය. අවිශ්ක සහ මිනෝද්, මාලිංග කියූ ආකාරයෙන්ම ඒ විදිහටම දවා ගැනීමට රබාඩා සහ මල්ඩර් යන පන්දු යවන්නෝ සමත් වූහ.

 දකුණු අපි‍්‍රකා උගුලට හසුවූ ඔවුන් දෙදෙනාගේ දැවී යෑම මගින් ශී‍්‍ර ලංකාව පරාජයට තල්ලූ විණි. මෙවැනි උපක‍්‍රම සහ උගුල් කි‍්‍රකට් පිටියේ ඕන තරම් තිබෙනවා මෙන්ම ඒවා වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත. ඒ නිසා අප ඉන් මිදී තරග ජය ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා මාලිංග වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් ලබා ගන්නේ නම් එය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැත.

 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment