උඩහ පළාතේ ඡන්ද පදනම

542

නුවරඑළියේ ගොවීන්ට ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රශ්නය උඩහ පළාතේ ගොවිතැන් කරන හැම ගොවියකුටම තිබෙන ප්‍රශ්නයකි. ඒ වූකලී ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර සහ කෘමිනාශකවල මිල ඉහළ යෑමත් ඒවායේ ප්‍රමිතිය ඉතා බාල වීමත්ය. මේ චෝදනාවම මේ රටේ ෂෙඩ් වලින් පොම්ප කරන තෙල්වලට තිබේ. දැනට අප පරිහරණය කරන පෙට්‍රල්වල කොලිටිය 20% කින් අඩුවී ඇති බවට ආරංචියක් පවතී. මේ නිසා එම තෙල් ඉක්මණින් පිලිස්සෙන්නේලු. තෙල් මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එසේ මිල ඉහළ ගොස් තෙල්වල කොලිටිය බැස්ස විට තෙල් වෙනුවෙන් දරන්නට වෙන වියදම තවදුරටත් වැඩිවේ.

දැනට ශ්‍රී ලංකාවේ තිබෙන රසායනික පොහොර මිටියක මිල රුපියල් 25000 කි. මේ රසායනික පොහොරවලින් වැඩිහරිය යූරියා ය. මීට කලකට පෙර යූරියා පොහොර මිටියක් රුපියල් 3500 කි. ඊටත් කලකට පෙර රුපියල් 1000 කි. රුපියල් දාහේ කතාව පැත්තක දමා රුපියල් තුන්දහස් පන්සියයේ සිට ගණන් කලත් පෙනී යන්නේ යූරියා මිටිය හත් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය. මෙවිට එළවළු ගොවියාට කිරීමට සිදුවන්නේ තම නිෂ්පාදනයේ මිලද හත් ගුණයකින් මිල ඉහළ දැමීමය. එසේ බඩු මිල හත් අට ගුණයකින් ඉහළ යෑමේ පරිප්පුව කෑමට අපට සිදුවී තිබේ. අද එළවළු මිල ඉතා ඉහළය. සහල් මිලද බලාගෙන සිටිද්දී ඉහළ යනු පෙනේ. අපේ quality of lifeහෙවත් ජීවන තත්ත්වය පහළටම ගමන් කරයි. ඒ ගමන නවත්වා ගැනීමට බැරි වුණොත් අපේ ජීවන මට්ටමට සිදුවන්නේ පොළොවද පලාගෙන ඇතුළටම කිඳා බැසීමය.

මේ රටේ ගොවි ජනතාවට මුහුණ දීමට සිදුවන තවත් වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම් එළවළු බීජවල මිල බෙහෙවින් ඉහළ යෑමය. එළවළු බීජ ගෙන්වනු ලබන්නේ බහුජාතික සමාගම් වලිනි. ඩොලරයට සාපේක්ෂව බීජවල මිල ඉහළ දැමීමට එම සමාගම්වලට සිදුවී ඇතැයි අපි විශ්වාස කරමු. උදාහරණයක් වශයෙන් කැරට් බීජ මිල කොපමණ ඉහළ නැඟ ඇත්ද යත් තව හය මාසයකින් පමණ කැරට් කිලෝවක් රුපියල් 800 ට වත් වෙළෙඳපොළට නිකුත් කිරීමට බැරිවන තත්ත්වයක් හටගන්නවා ඇත. කැරට් වගාවේ ප්‍රධාන සතුරා ගොළුබෙල්ලාය. මේ සතා නන්නත්තාර කළ හැක්කේ කෘමිනාශක වලින් පමණි. එහෙත් මේ කෘමිනාශක මිල ඉතා ඉහළ බැවින් ගොළුබෙල්ලන් වැනසීම සඳහා ඒවා යෙදීමට ගොවීන්ට නොපුළුවන. මෙයට අවුරුදු 25 ට පෙර ගොළුබෙල්ලන් මර්දනය කරන ලද්දේ ඇටිකුකුලන් විසිනි. එහෙත් විවිධ කෘමිනාශක නිසා මියගිය සතුන්ගේ මළකුණු කෑමෙන් ශ්‍රී ලංකාවේ ඇටිකුකුළු ගහනය වඳ වී ගිය බව වැඩිදෙනා නොදනිති. මෙයට අවුරුදු 10 ට පෙර ඔබේ ගෙවත්තේ සිටි ඇටිකුකුලන් අදත් එසේම සිටිනවාදැයි බලන්න. වෙනදා ඔබේ ගෙවත්තට පැමිණි පක්ෂීන්ගෙන් 10% ක් වත් අද මේ රටේ නැත. ඒ සියලු දෙනා කෘමිනාශක අනුභව කොට මිය පරලොව ගොස්ය.

ඉහත සඳහන් ප්‍රශ්නය මාරම ප්‍රශ්නයකි. කෘමිනාශක යනු තිබුණත් විනාශය ගෙනදෙන නොතිබුණත් විනාශය ගෙනදෙන ද්‍රව්‍යයකි. කෘමිනාශක වෙනුවට පාරම්පරික කෙම් ක්‍රම සහ දේශීය ශාක සාර මිශ්‍රන තිබෙන බව කියනු ලැබේ. ශාකසාර මිශ්‍රනයකට විද්‍යාත්මක පදනමක් තිබිය හැකි නමුත් කෙම් ක්‍රමයකට විද්‍යාත්මක පදනමක් නැත. මේ නිසා වැඩිදුර නොහිතා කෘමිනාශකවලින් ප්‍රශ්න විසඳා ගැනීමට මිනිස්සු කැමැත්තාහ. උඩහ පළාතේ ගොවීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුමක් සැපයීම ආණ්ඩුවේ වගකීමකි. උඩහ පළාතේ ගොවියා යනු විශාල ඡන්ද පදනමක් බව ආණ්ඩුව මතක තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment