උඩින් බැරි නම් මුහුදෙන් රටින් පන්නන ජාවාරම…

181

බෝට්ටුවෙන් මිනිසුන් ගෙන යන ජාවාරම්කාරයන් වගකීම බාරගන්නේ නෑ!

වැඩි පිරිසක් උතුර නැගෙනහිර පළාතේ

බොහෝ රටවල් මෙවැනි පිරිස් බාරගන්නෙත් නෑ!

ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ මිනිස් ජාවාරම යළි සක්‍රීය වී තිබෙන බවක් ඉකුත් දිනවල වාර්තා වූ සිදුවීම් රාශියකින් පැහැදිලිව පෙනී ගිය කරුණකි. එසේ වී තිබෙන්නේ ඇයි?

මුහුදු මාර්ග ඔස්සේ මිනිසුන් විදේශ රටවලට රැගෙන යෑමේ මිනිස් ජාවාරම පිළිබඳව කතා කිරීමේදී අපට ඇත්තේ දිගු ඉතිහාසයකි. එම කාලය දශක හතරක් පමණ ඈත විහිදී තිබෙන්නකි. එම ඉතිහාසය තුළ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සක්‍රීයව සිටි යුද සමයේ මෙකී මිනිස් ජාවාරම සිදු කෙරුණේ මන්නාරම් මුහුදු තීරය ඔස්සේ ඉන්දියාවට මිනිසුන් රැගෙන යෑම තුළිනි.

එහිදී බොහෝ දුරට මුහුදු මාර්ග ඔස්සේ එසේ ඉන්දියාවට පැන ගියේ එල්ටිටීඊ ත්‍රස්තවාදීන්ගෙන් සිය දරුවන් බේරා ගැනීම සඳහා රටින් පලා යෑමේ උපක්‍රමය තෝරා ගත් උතුරේ දෙමළ වැසියන්ය. ඊට පෙර මන්නාරම මුහුදු තීරය ඔස්සේ එල්ටීටීඊයට පෙර තිබූ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන්ද ඉන්දියාවට ගිය අවස්ථා තිබිණ. ත්‍රස්තවාදයේ මුල් අවදියේදී ඉන්දීය රජයේ රහසිගත අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවේ සන්නද්ධ කණ්ඩායම්වලට අවි ආයුධ පුහුණුව තමිල්නාඩුවේදී ලැබීම එයට හේතු විය. එල්ටීටීඊයේ ම්ලේච්ඡ ප්‍රධානියා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ද එසේ ඉන්දියාවට ගිය අවස්ථා ගෙවී ගිය කෙටි ඉතිහාසය තුළ සටහන්ව ඇත. උතුරේ දෙමළ වැසියන් ඒ අන්දමට ඉන්දියාවට පලා යෑම ආරම්භ කරනු ලැබුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ එල්ටිටීඊය බලවත් වීමෙන් අනතුරුවය. උතුරේ කතාව එසේ වෙද්දී දකුණේ ජනතාව විශාල වශයෙන් මුලදී මුහුදු මාර්ග ඔස්සේ විදේශගත වීම ආරම්භ කරනු ලැබුවේ මීට දශක දෙකහමාරකට පමණ ඉහතදී විය. මීගමුව, හලාවත සහ දෙවුන්දර ආදී වශයෙන් වූ දකුණේ මුහුදු තීරයන් ඔස්සේ එය ක්‍රියාත්මක වූ අතර එහිදී මුලින්ම සිදුවූයේ දකුණේ ජනතාව ඉතාලියට සංක්‍රමණය වීම විය. එම කාලයේදී මෙරට සිටිමින් බොහෝ නරුම වැඩ කළ ඇතැම් පාතාලයෝද ආරක්‍ෂක අංශවලින් හෝ ප්‍රතිවිරුද්ධ කල්ලිවලින් බේරීම සඳහා එසේ ඉතාලියට පැන ගියහ. එසේ ගොස් අදටත් ඉතාලියේ සැඟවී ජීවත් වන පාතාලයෝද වන්නාහ.

මෙසේ ඉතාලියට මිනිසුන් රැගෙන යෑමේ ජාවාරම එල්ටිටීඊයේ ත්‍රස්තවාදය මෙන්ම එයට එරෙහි ආරක්‍ෂක අංශවල යුද මෙහෙයුම් පැවති කාලයේද ක්‍රියාක්තමක කෙරුණකි. එහිදී රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් අය කළ ඇතැම් සංවිධානාත්මක පිරිස් බහුදින ධීවර යාත්‍රා යොදාගෙන ඉතාලියට ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ ජාවාරම සිදු කළහ.

එකී ජාවාරමේදී ඇතැම් නමගිය දේශපාලනඥයන්ගේ නම්ද කියැවුණු අවස්ථා පවා තිබිණි. මෙහිදී මිනිසුන් රැගෙන ගිය බහුදින යාත්‍රා ඈත මුහුදේදී අනතුරට පත්වීමෙන් ඇතැම් අවස්ථාවල ජීවිත පවා අහිමි වූ අවස්ථාද වාර්තා විය.

අද වන විට මීගමුවේ සිට හලාවත සහ ඉන් ඔබ්බට ඇති මුහුදුබඩ කලාපයේ ඉතාලි උප සංස්කෘතියක් ඇති වී තිබෙන්නේද එසේ ක්‍රියාත්මක වූ ඉතාලියට ශ්‍රී ලාංකිකයන් රැගෙන යමින් සිදු කෙරුණු මිනිස් ජාවාරම හමුවේය.එහෙත් මේ අන්දමට සිදු කෙරුණු මිනිස් ජාවාරම හමුවේ ඉතාලියේ මිලානෝ, රෝම්, නාපොලි, ෆිවෙන්සි, පාදුවා, සිසිලියා සහ කෝමෝ ආදී වශයෙන්’ වූ නගර රැසක වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයන් ගැවසීමද ආරම්භ විය. මේ අතරේ ඉතාලියේ වතිකානුවේ සිටින ශුද්ධෝත්තම පාප්වහන්සේගේ කාරුණික බව හමුවේ ගැටුම්වලට මැදිවන රටවල ජනතාවට ඉතාලියේ සරණාගතභාවය හිමිවීමද දිගින් දිගිටම සිදුවිය.

එම තත්ත්වය තුළ එහෙත් ශ්‍රී ලාංකිකයන් ඉතාලියට ගොස් ලබා දුන් සේවයට ලද ගෙවීම් වෙනත් රටවලින් පැමිණි සරණාගතයන් නිසා අවම වෙමින් ඉතාලියේ ශ්‍රම වෙළෙඳ පොළට ලැබුණු ඉහළ වටිනාකම ලාභවීම නිසා ක්‍රමයෙන් මෙරට ජනතාව ඉතාලියට රැගෙන යෑමේ මිනිස් ජාවාරමද කාලය සමඟ නතර විය.

උඩින් බැරි නම් මුහුදෙන් රටින් පන්නන ජාවාරම…

ඔස්ට්‍රේලියාවට සිදු කෙරෙන මිනිස් ජාවාරම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. එල්ටීටීඊයට එරෙහි අවසන් මානුෂීය සටන ක්‍රියාත්මක වූ ඉකුත් 2009 පමණ කාලයේ ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය බලය හිමිව තිබුණේ වාමාංශික කණ්ඩායමකට විය. මෙරට යුද්ධය අවසන් වී දෙවසරක් පමණ ගෙවී ගිය ඉකුත් 2011 වසරේදී පමණ මෙසේ ශ්‍රී ලාංකිකයන් ධීවර යාත්‍රා යොදාගෙන මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාව බලා රැගෙන යෑම ආරම්භ වූ අතර ඒ වන විට ඉන්දීය සාගරයේ බලවත් භූමිකාවක් කරමින් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිහිපදෙනකුටද එකී ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් මේ ආරම්භයේදී ඔස්ට්‍රේලියාවේ පැවති වාමාංශික රාජ්‍ය පාලනයෙන් එකී මිනිස් ජාවාරමට පැහැදිලි බලපෑමක් එල්ල නොවුණි. එවකට ඔස්ට්‍රේලියානු රජයේ බලය පවත්වාගෙන යෑමට සංක්‍රමණික කණ්ඩායම්වල සහාය ලැබී තිබීම වැනි කරුණු එම තත්ත්වයට හේතු විය. මේ හේතුවෙන් එම කාල සීමාවේදී ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් බාධාවකින් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළුවී සරණාගතභාවය සමඟ එරට රැකවරණ ලබා ගැනීමට සමත් වූහ. එහෙත් කාලයත් සමඟ මෙම තත්ත්වයද පැහැදිලි වෙනසකට ලක් විය.

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය පාලනය වෙනස් කෙරෙමින් ඉකුත් දක්‍ෂිණාංශික පාලනය බිහිවීමත් සමඟ එම තත්ත්වය ඇති විය. එහිදී කිසිදු සරණාගතයකුට අනිතික මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර මුලදී එසේ පැමිණි පිරිස් එරටට ආසන්න ක්‍රිස්මස් දූපතේ ඇති කළ සරණාගත කඳවුරක රඳවා තැබීමට කටයුතු කෙරිණි.

එහිදී ඔවුනට කිසිදු බුරුලක් ලබා නොදීම ඔස්ට්‍රේලියානු රජයේ දැඩි ස්ථාවරය විය. එසේම එරට මුහුදු අරක්‍ෂක කණ්ඩායම් මගින් නිරන්තර මෙහෙයුම් දියත් කරමින් එරටට ඇතුළු වීමට මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමද සිදු කෙරිණි. එවැනි තත්ත්වයක් ඉකුත් ඔස්ට්‍රේලියානු රාජ්‍ය පාලනය සමයේ ක්‍රියාත්මක වුවද එහි පැහැදිලි වෙනසක් සිදුවූයේ ඉකුත් වසරේදී පමණ නැවතත් ඔස්ට්‍රේලියානු පාලනය වෙනසකට ලක් කෙරෙමින් වාමාංශික රාජ්‍ය පාලනයක් ඇති වීමත් සමඟිනි.

එකී දේශපාලන පෙරළියක් සමඟ නව ඔස්ට්‍රේලියානු රජය සරණාගතයන් පිළිබඳව දක්වන ලද දැඩි බව ලිහිල් කරනු ලැබිණි. රජයට බලපෑමක් කළ හැකි කණ්ඩායම්වලින් එල්ලවූ බලපෑම් එයට හේතු වූවා විය හැකිය. නැවතත් ශ්‍රී ලංකාවේ සිට මෙරට වැසියන් රැගෙන ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කෙරෙන බහුදින යාත්‍රා ඉන්දීය සාගරයෙන් මතු වූයේ මෙම තත්ත්වයත් සමගය. එහෙත් මෙහිදී සිදුවන කිසිවකුත් අසන්නට බලාපොරොත්තු නොවන කතාවක්ද ඇත. එනම් කිසි දිනක ඔස්ට්‍රේලියාව සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොමැති අගක් මුලක් නොදන්නා පිරිස්ද ජාවාරම්කරුවන් සේ පෙනී සිටිමින් මෙරට ජනතාවගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් අයකර මිනිස් ජාවාරමට සම්බන්ධ වී සිටීමය.

එහිදී ඔවුන් සිදු කරනුයේ කුමක්ද? බහුදින යාත්‍රාවක් කුලී පදනම මත ලබාගන්නා ඔවුහු මුලින්ම ඔස්ට්‍රේලියානු සිහින පෙන්වා රටින් පිටවීමට සූදානමින් සිටින පිරිස් රවටා රුපියල් ලක්‍ෂ දෙකේ සිට පහ දක්වා මුදල් ලබා ගන්නාහ. පසුව කුලී පදනමට ලබාගත් යාත්‍රා යොදාගෙන ගමනට සූදානම් වූ පිරිස කිසියම් මුහුදු තීරයකින් පිටත් කර හරින ඔවුහු ඊළඟට කරනු ලබන පළමු කාර්ය වන්නේ අදාළ යාත්‍රාවේ සියලු තොරතුරු හෙළි කරමින් ළඟම පිහිටි පොලිසියට හෝ නාවික හමුදාවට නිර්නාමික ඇමතුමක් ලබා දී ඔත්තුවක් දීමය. පොලිසිය එසේ තොරතුරු ලැබුණහොත් ඒ ලද විගස එම සියලු තොරතුරු හැරෙන තැපෑලෙන් නාවික හමුදාව වෙත යොමු කෙරෙන අතර අවසානයේ ගමන ගිය පිරිසට සිදුවන්නේ ලක්‍ෂ ගණනක මුදලක් අහිමි කරගෙන නීතිය ඉදිරියේ චූදිතයන් වන්නටය.

මේ අන්දමට ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වූ බහුදින ධීවර යාත්‍රා රැසක් පසුගිය දිනවල ශ්‍රී ලංකා නාවික හමුදාවට හසුවීමේ කතාව පිටුපස තිබෙන සැබෑ කතාව එය බවට පත්ව ඇත. එසේම රහසිගතව එසේ මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූවන් ගමන් ගත් බහුදින ධීවර යාත්‍රා කිහිපයක්ද පසුගිය දිනවල අත්අඩංගුවට ගැනීමට තීක්‍ෂණ සෝදිසි මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

එහිදී නාවික හමුදා භාරයට ගත් පිරිස් අතර කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් සිට ඇත. නාවික හමුදාව සඳහන් කරනුයේ එසේ බහුදින ධීවර යාත්‍රා මගින් ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ යන ගමන පැහැදිලිවම මාරයාට අතවනන්නක් බවකි. එය එසේ වෙද්දී වත්මන් ඔස්ට්‍රේලියානු රජය සරණාගතයන් අරබයා සහන පිළිවෙතක් අනුගමනය කරනු ලබන බව සඳහන් කෙරුණ ද ධීවර යාත්‍රා මගින් එරටට ළඟා වූ ශ්‍රී ලාංකිකයන් දස දෙනකු පමණ එහි ළඟා වූ දාට පසුදාම ගුවන් මඟින් යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ක්‍රියා කළේය. ඉන් පෙනී යන්නේ ජාවාරම්කරුවන්ගේ බහට රැවටී මෙසේ ධීවර යාත්‍රා මගින් යන ඔස්ට්‍රේලියානු ගමන පැහැදිලිවම සිහිනයක්ම පමණක් බව සහ දින ගණනාවක් මාරයා සමඟ වාසය කිරීමක් බව නොවේද? මෙසේ ගමන් කිරීමේදී යම් ලෙසකින් ඇතිවන කෙස් ගසක පමාවකින් ගමන යන තමන්ගේ දුවා දරුවන් සමඟ මහ මුහුදේ ගිලී මරු වසඟයට යන්නට ඇති ඉඩකඩ බොහෝය.

එහෙත් සත්‍ය එය වුවද තම ඉඩකඩම් පවා විකුණා ලබා ගන්නා මුදල ජාවාරම්කරුවකුට දී ඔස්ට්‍රේලියානු සිහින දකිමින් මහ මුහුද මැද යන මේ අවිනිශ්චිත මාරක ගමන අපේ මිනිස්සු නවතනු ඇතිද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment