උඩින් යන්න ගිහින් බිමටම සමතලා කළ ගුවන් සේවය

852

කෝප් කමිටුව විගණනය හෙළි කළත් අක්‍රමිකතාවල අඩුවක් නෑ!
කඩා වැටෙන ආයතනයකට වැඩි පඩියට උපදේශක ගොන්නක්

2000 වර්ෂයේ කෝප් කමිටුව ආරම්භයේ සිටම දූෂණ අක්‍රමිකතා සිදුවන ආයතන ගැන කතා කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නම නිතර කියවුණු බව අරුමයක් නොවේ. 2000 වර්ෂයේ සිට අද දක්වාම එම ක්‍රියාවලියෙහි වෙනසක් නැත. කෝප් කමිටුව සහ විගණන දෙපාර්තමේන්තුව සඳහන් කළ කාරණා ඇසුරින් අප මේ ලිපිය සකස් කරන්නේ එබැවිණි.

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික, සාමාජීය, දේශපාලනික ආදී සෑම ක්‍ෂේත්‍රයකින්ම වැටිය හැකි අන්තිම අඩියටම වැටී තිබේ. තවත් වැටෙන්නට තැනක් නැත. වැටුණු තැනින් ගොඩ එන පාටක්ද පේන තෙක් මානයකවත් නැත. මෙයට හේතු වී ඇත්තේ මෙරට තුළ ඉහවහා ගිය වංචාව හා දූෂණය. මෙයට දශක කීපයකට පෙර කුඩා අවධියේ සිටි අය මේ වනවිට තරුණ විය ඉක්මවා වැඩිහිටියන් වී ඇත. නමුත් අප කුඩා අවධියේදී අපට අසන්නට දකින්නට ලැබුණු සංවර්ධනය වෙමින් පවතින රටක් යන්න අදටත් එසේමය. වංචාව දූෂණයද ඒ අයුරින්ම නොව ඊටත් වඩා දෙතුන් ගුණයකින් වැඩිව අසන්නට දකින්නට ලැබේ. මෙවැනි වංචාව දූෂණය ඉහවහා ගිය ආයතන කීපයක් සෑම වසරකම පෙරමුණේ පසු වේ.

එයින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා සතොස ආදී ආයතන පෙරමුණේම පසු වේ. එයිනුත් හැමදාමත් වගේ ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙතටය. අප මේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගැන කතා කරද්දී පසුගිය කාලය මුළුල්ලේම දක්නට ලැබුණේ ලක්ෂ ගණන් වැටුප්වලට සභාපතිවරු, නැදෑ හිතවතුන්, අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කර ගැනීම්, ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට ගුවන් යානා අවභාවිත කිරීම් ආදී නොයෙකුත් විෂමාචාර ක්‍රියාවන්ය. මෙවර ද ඊට නොදෙවැනි ආකාරයේ පුවතක් පසුගියදා පළවිය. ඒ මේ වනවිට දැවැන්ත පාඩුවක් ලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත උපදේශකයන් 18 දෙනකු බඳවා ගැනීමයි. මේ සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් කෝටි 14 කි. ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ගුවන් යානයක් තුළ කළමනාකරුවකු බැගින් මේ වනවිටත් සේවයේ යොදවා සිටින අතර ඔවුන් අධීක්ෂණය කිරීමට මෙම උපදේශකයන් 18 දෙනා බඳවා ගෙන ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය දෙස බැලීමේදී පෙනී යන්නේ වැඩ බැලීමට පඳුරකට පයින් ගැසූ විට 10 ක් 15 ක් විසිවන තරමට පිරිස සිටියත් වැඩ කිරීමට, වැඩ පෙන්වා ආයතනය ගොඩනැඟීමට නම් කිසිවෙක් නොමැති බවය. අවසානයේ ගුවන් සේවය උපදේශකයන්ගෙන්ම පිරීමට ඉඩ තිබේ. මෙම එක් උපදේශකවරයකුගේ වැටුප මසකට ලක්ෂ 5 කට අධිකය. වාර්තාවන අන්දමට මේ උපදේශකයන් කරනුයේ ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය බෙහෙත් හේත් හා අනෙකුත් අවශ්‍යතා ඉටුකිරීමයි. මෙම පිරිස ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශයට අනුයුක්තව සේවයේ යොදවා ඇත.

ලෝකයේ ගුවන් සේවා කර්මාන්තය යනු ඉතාමත් ලාභ ලැබිය හැකි කර්මාන්තයකි. එසේම ලාභ ලබන කර්මාන්තයකි. එමිරේට්ස් වැනි ගුවන් සේවා සමාගම් එයට හොඳම උදාහරණ වශයෙන් දැක්විය හැක. නමුත් අපේ ගුවන් සේවා සමාගම හැමදාමත් ලබන්නේ පාඩුව පමණි. එය ද එසේ මෙසේ නොව මිලියන ගණන්වලිනි. කෝප් කමිටුවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී හෙළි වුණේ 2021 වර්ෂයේදී ගුවන් සමාගමේ ශුද්ධ පාඩුව රුපියල් මිලියන 45,674 ක් වන බවයි. එහිදී හෙළිවුණේ මෙතරම් පාඩු ලබද්දීත් ඉහළ කළමනාකරණ නිලධාරීන් ලක්ෂ 30 කට අධික වැටුප් ලබන බවයි. මේ වැටුප් ගෙවන්නේ ලාභ ලබන ආයතනයක නම් කිසිදු ගැටලුවක් නැත. මේ ගෙවන්නේ දිනකට මිලියන ගණන් පාඩු ලබන ආයතනයකය. මේ සඳහා වැය වන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ජනතා බදු මුදල්ය. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන, ඖෂධ ගෙන්වීමට ඇති මුදල්ය. එසේම 2020 වර්ෂයේදී ද භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව අතිරේක ප්‍රාග්ධන යෙදවුමක් සිදු කර ඇත. මේ ආකාරයෙන් දිගින් දිගටම රටට බරක් වන ආයතනයකට මෙලෙස මුදල් වෙන්කිරීම එදා වේල ටුවර්ස් ආර්ථිකයක් හිමි අප වැනි රටකට කෙසේවත් දරාගත නොහැක. එසේම අනෙකුත් වැඩ කටයුතු සඳහා ද මෙය ඉමහත් බාධාවකි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයිය හැකි ධන උල්පතක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයතනය තුළින්ම ලාභ ලබා ප්‍රාග්ධනීකරණය වී තිබුණේ නම් ජනතා ප්‍රසාදයට පත්වන ප්‍රමුඛම ආයතනය වීමට ඉඩ තිබිණි. එසේම ගුවන් සේවයට අදාළ වියදම් විදේශ මුදල්වලින් ගෙවීමට සිදුවීම ද මෙරටට ඉතාම අහිතකර තත්ත්වයකි. විදෙස් සංචිත බින්දුවටම වැටී ඇති අවස්ථාවක මෙය තදින්ම බලපායි.

● සැලසුමක් නොමැති වීම

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉදිරි සැලසුම් පිළිබඳ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ මාස තුනකට සැලසුමක් සාදා ඇති බවයි. රටේ ප්‍රමුඛතම ව්‍යාපාර රාශියක් හිමි ඒ පිළිබඳ දැනුම ඇති පුද්ගලයකු වන අශෝක් පතිරගේ මහතා මාස තුනකට නොව වසර පහකටවත් සැලසුම් සකස් කළ යුතුය. ඒ පිළිබඳ කෝප් කමිටුවේ ද දැඩි විරෝධය එල්ල වී ඇත. මෙරට ප්‍රමුඛ පුද්ගලයන් මේ සඳහා පත්කරන්නේ ඡන්දවලට උදව් කළ පමණින්ම නොවේ. ඔවුන්ගෙන් රට වෙනුවෙන් යම් සේවයක් ලබා ගැනීමටයි. නමුත් එවැනි පත් කිරීම් බොහොමයකදී සිදුව ඇත්තේ තමන්ගේ ව්‍යාපාර දියුණුවට කරුණු සලසා ගැනීම මිස අදාළ ආයතනය ගොඩ දැමීම නොවේ.

● කෝප් කමිටු තීරණ

කෝප් කමිටුවේදී එයාර් බස් ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් වැඩිපුර ගෙවා තිබීම, මිලදී ගත් ගුවන් යානා 8 ක් මේ වනවිට නිෂ්ක්‍රීයව පැවතීම පිළිබඳ ගුවන් සේවා සමාගමෙන් කරුණු විමසා ඇති අතර ඒවාට අදාළ තොරතුරු ඉදිරි කමිටු වාරයකදී ඉදිරිපත් කරන ලෙස දන්වා ඇත.

එසේම මෙහිදී හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සතු ශුද්ධ ඝෘණ වත්කම රුපියල් මිලියන 289,547 ක් වන බවත් වගකීම් වත්කම ඉක්මවීමට නම් ඩොලර් බිලියන 1.5 ක පූර්ණයක් අවශ්‍ය බවයි. මේ ආකාරයෙන් පාඩු ලබන ජාතික ගුවන් සේවය යථාරූපී නොවන සැලසුම් මත, තවදුරටත් පවත්වාගෙන යා යුතුය යන්න කමිටුවේදී අවධානය යොමුව ඇත. කළමනාකරණයේ සැලසුම් ධනාත්මක ඉදිරි දැක්මකින් යුතුව පුරෝකථනය කළ ද එයින් ලැබුණු ප්‍රතිඵලය ඝෘණාත්මකය. ඒ නිසා මේ පිළිබඳ පුළුල් ලෙස ඉදිරියේදී අධීක්ෂණය කළ යුතු යැයි තීරණය විය.

● දූෂිත අතීතය

උඩින් යන්න ගිහින් බිමටම සමතලා කළ ගුවන් සේවය

මහාචාර්ය චරිත හේරත් මහතා සභාපතීත්වය දරන අවස්ථාවේදී හෙළි වූ තවත් සිදුවීමක් වන්නේ 2016 වර්ෂයේදී එක්සත් රාජධානියේ නයිරාස් ගුවන් සේවා උපදේශකවරුන් විසින් සකස් කරන ලද ආයතිනක හා උපායමාර්ගික සැලසුම් වාර්තාව සඳහා වැය කළ ඩොලර් මිලියන 2.7 ක මුදල ද ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගොස් ඇති බවයි. ඒ එම වාර්තාවට අනුව වැඩ නොකිරීම නිසාය. මෙම වාර්තාව සකස් කිරීම පිළිබඳ තොරතුරු හෙළි කිරීමට පවා ගුවන් සමාගම දැඩි මැලිකමක් දැක්වීය. පසුව 2019 දී තොරතුරු දැනගැනීම් පනත යටතේ කළ ඉල්ලීමකට අනුව මේ තොරතුරු අනාවරණය විය.

අතීතය විමසීමේදී පෙනී යන්නේ අද පමණක් නොව මීට පෙර ද නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිස ආයතනය පාඩු ලබා ඇති බවයි. 2011 වසර වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් මිලියන 202.3 පාඩුවක් ලැබීය. ඒ හිටපු සභාපතිවරයකුගේ අයථා ක්‍රියාවන් නිසාය.

ඇතැම් සභාපතිවරුන්ගේ කාලවලදී සමාගම සතුව අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැතිව මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ගිවිසුම්ගතවීම මෙන්ම අවශ්‍ය විටෙක එම ගිවිසුම්වලින් ඉවත්වීමේ වගන්ති ඇතුළත් නොවීම නිසා ගුවන්යානා මිලට ගැනීමට වඩා වැඩි මුදලක් ගිවිසුමෙන් ඉවත්වීමට ගෙවීමට සිදුවීම නිසා සමාගමට ඉමහත් පාඩු සිදුවීමට හේතු වූ කාරණා ලෙස දැක්විය හැක.

එසේම මීට පෙර හිටපු ප්‍රධානියකු කූට ලේඛන සකස් කොට සුඛෝපභෝගී මෝටර් රථයක් මිලට ගෙන තිබුණේ බෙන්ස් රථයක් හා ප්‍රාඩෝ රථයක් තිබියදීය. ඒ තම පෞද්ගලික පරිහරණය සඳහාය. එදා වෘත්තිය සමිති මේ පිළිබඳ හඬක් නැගුව ද ඉන් සිදු වූ බලපෑමක් නැත. එපමණක් නොව දේශපාලන ප්‍රධානීන්ගේ පුතුන්ගේ ඡන්ද වැඩ සඳහා ද සේවක සේවිකාවන් යොදවා තිබුණේ වැටුප් හා අතිකාල ද සමගින්ය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ එයාර් බස් ගනුදෙනුව, පසුගිය කාලයේ කුලී පදනම මත එයාර්බස් මිලදී ගැනීමට සූදානම් වීම, ප්‍රංශ ගුවන් යානා සමාගමක් අතරමැදියන් යොදවා ගුවන් යානා කොන්ත්‍රාත් ලබාදීමේ අරමුණින් අල්ලස් ලබාදුන් බවට චෝදනා එල්ල වීම ආදිය මේ දූෂිත ආයතනය වෙලාගෙන ඇත.

මෙම එයාර් බස් මිලට ගැනීම හා බද්දට ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට ඇ. ඩො. මිලියන 16 ක අල්ලසක් ලබාදීමට ඉහත ප්‍රංශ සමාගම කටයුතු කර තිබිණි. ඒ පිළිබඳ පැවති නඩු තීන්දුවේ ද සඳහන් වෙයි. එසේම එම ගනුදෙනුවේදී බ්‍රෝකර්වරයාට සෑම ගුවන් යානයක් වෙනුවෙන්ම ඇ. ඩො. මිලියන 1.6 ක කොමිස් මුදලක් ගෙවීම ද ගිවිසුමට ඇතුළත් කොට තිබිණි. මෙවන් දූෂිත නිලධාරීන් සිටින කොමිස් මරුවන් සිටින ආයතන ගැන නිසි තීන්දු තීරණ නොගතහොත් කවුරුන් ජනපති වුණත් කවුරු අගමැති වුණත් මොන අරගල කළත් වැඩක් නොවේ. පසුගිය කාලයේ සිදුවූ බොහෝ ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව සිදුව නැත. ප්‍රසම්පාදන කටයුතු නිසිපරිදි සිදුව නැත.

1998 දී එමිරේට්ස් ගුවන් සමාගමට භාරදුන් මෙරට ගුවන් සේවය 2008 දී නැවත ලබාගන්නා විට ලැබූ ලාභය බිලියන 4.9 කි. නමුත් 2009 – 2019 විතර කාලය තුළ ලැබූ පාඩුව රුපියල් කෝටි 24,000 කි. මේ සඳහා 2013 – 2014 වසරවලදී ගුවන් යානා ආදිය ප්‍රතිස්ඨාපනය කිරීමට එළඹි ගිවිසුම ඈවර කිරීමේදී ගෙවීමට සිදු වූ රුපියල් මිලියන 17058.1 ක මුදල මුදල තදින්ම බලපෑවේය. තම පෞද්ගලික අවශ්‍යතා ඉටු නොවූ කල මෙතරම් ලාභ ලැබූ ආයතනයක් මේ ආකාරයෙන් විනාශ කිරීම සහගහන අපරාධයකි.

මෑතකදී හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයු කාලය කොපමණදැයි කිව නොහැකි බවයි. එසේම ශ්‍රී ලංකන් එක විකුණා සල්ලි ගැනීමට නොව තිබෙන ණය ගෙවාගෙන යෑමට කාට හෝ දිය යුතු බවයි. රුපියල් දස දහසක්වත් ගෙවීමට කිසිවකු අකැමැති බවයි. රටෙහි ආර්ථිකය වැටීමට ප්‍රධානම හේතුව ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. ඒ තරම්ම ණය කන්දක් ශ්‍රී ලංකන් තුළ පවතින බව පැවසේ. ගුවන් සේවය භාවිත කරන්නේ මෙරටේ කීයෙන් කී දෙනාද. ඔවුන් ද මෙය භාවිත කරන්නේ නිසි පරිදි ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුවය. නමුත් මෙවන් විශාල ණය කන්දක් ගොඩ නැගුනේ පාලකයන්ගේ වරදිනි. එම වරදට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත රටේම ජනතාවටය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment