උඩින් යන්න හැදුවට බිමටම සින්න වුණ එයාර්පෝර්ට්

230

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැයවූ රුපියල් මිලියන 36”564 මුදල පලදායී ලෙස භාවිතාකොට නැහැ…මෙහෙයුම් වියදම ආදායමට වඩා 21 ගුණයකින් වැඩිවෙලා

ඉකුත් වර්ෂයේ අලාභය රුපියල් බිලියන 4.44ක්

වසර 05 ලැබූ අලාභය රුපියල් බිලියන 20.59ක්

වසර 05ට ගමන් ගත් මගීන් සංඛ්‍යාව 91”747ක්.

යාපනය ගුවන්තොටුපළ ඉකුත් වර්ෂයේ කිසිදු ආදායමක් උපයා නැහැ.

වසර 05ට රත්මලාන ගුවන්තොටුපළේ පාඩුව රුපියල් මිලියන 1”693.66ක්.

මඩකලපුව ගුවන්තොටුපළ ඉකුත් වසර 04 තුළ කිසිදු ආදායමක් උපයා නැහැ.

පිරිවැය පලදායි ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි විගණනයෙන් නිර්දේශ

මත්තල ජාත්‍යන්තර” ගුවන්තොටුපළ වූ කලි තනි සුදු අලියෙකි. කොටින්ම කිවහොත් මෙකී ගුවන්තොටුපළ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ගුවන්තොටුපළක් බවට පත්ව ඇත. මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 190 ක ණය මුදලක් ලබාගෙන තිබුණි. එකී ණය මුදල සඳහා ණය වාරික හා පොලියද ගෙවීමට වී ඇත්තේ මේ රටේ බදු ගෙවන ජනතාවටය. තනි සුදු අලියෙක් බවට පත්ව ඇති මත්තල ගුවන්තොටුපළ නඩත්තු කිරීමේ බර කර ගසා ඇත්තේ කටුනායක ගුවන්තොටුපළින් උපයන ආදායමෙනි. මත්තල ගුවන්කොටුපොළ මාසිකව ලබන පාඩුව රුපියල් කෝටියකට අධික මුදලක් බවද පැවසේ.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකට අනුව ඉකුත් වර්ෂයේ දි (2021) මත්තල” ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ” මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02ක් වූ අතර එය මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකින් වැඩිවි තිබුණි. ඉකුත් වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු මත්තල ජාත්‍යන්තර” ගුවන්තොටුපළ ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44කි. 2017 වර්ෂයේ සිට 2021 වසර දක්වා වූ කාලය තුළ ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59කි.

මත්තල ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් පමණ වුවද පසුගිය වසර 05 තුළ ගුවන්තොටුපළ පරිහරණය කරනු ලැබූ මුළු මගී සංඛ්‍යාව 91”747කි. මෙකී දත්ත අනුව දිනකට මගින් 50 දෙනකු පමණක් මෙකී ගුවන්තොටුපළ පරිහරණය කොට තිබුණි. එමෙන්ම ඉකුත් වසර පහ තුළ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2”396කි. මේ අනුව මත්තල ජාත්‍යන්තර” ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දරනු ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 247.7ට සමාන රුපියල් මිලියන තිස්හය දහස් පන්සිය හැටහතරක් වූ (36”564) මුළු වියදම පලදායි ලෙස භාවිත කොට නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් ඩොලර් මිලියන 190ක් වූ ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරික ලෙස රුපියල් මිලියන 2610 ක මුදලක් සමාගම විසින් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී ගුවන්තොටුපළ විශාල පාඩුවක් ලැබූවද ගුවන්තොටුපළේ කාර්යමණ්ඩලය වශයෙන් 545 දෙනකු සේවය කරති. මින් ඇතමුන් කොළඹ සිට මත්තලට බස් රථයකින් ප්‍රවාහනය කරනු ලබන බවටද පසුගිය කාලයේ තොරතුරු හෙළි වී තිබුණි. අනික් කාරණය වන්නේ මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා සැලසුම් කිරිමේදී ලෝකයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමේදී භාවිත කරන නිර්ණායක කිසිවක් සම්බන්ධයෙන් අවධානයක් යොමුවී නොමැති බවය. අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ රජදහනක මෙකී ගුවන්තොටුපළ ඉදිකොට ඇත්තේය. මෙකී ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා සැලසුම් කළ නායකත්වය ලබා දුන් සියලු දෙනා ගුවන්තොටුපළ වර්තමානයේ පත්ව ඇති ඉරණමට වගකිවයුතුය.

විදේශීය රටවලින් ලබාගන්නා ණය රටේ සංවර්ධන යෝජනාක්‍රම සඳහා යොදවා ගැනීමේදී එය පලදායි ලෙස යොදවාගත යුතුය. එහෙත් මත්තල ගුවන්තොටුපළ තවත් එක් නාස්තිකාර ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

විදිමත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දේශපාලන තීන්දු තීරණ මත ආරම්භ කළ මෙවැනි බඩගොස්තරවාදී” විච්චූරණ” ව්‍යාපෘති නිසා අවසානයේ වන්දි ගෙවීමට වී ඇත්තේ මෙරටේ ජනතාවටය. මෙකී ගුවන්තොටුපළේ ඉදිකිරීම් අවසන් වීමෙන් පසු එක්තරා ජගත් සංවිධානයක් විසින් සඳහන්කොට තිබුණේ මත්තල ගුවන්තොටුපළ අනාගතයේදී ලොව වඩාත්ම හිස් ගුවන්තොටුපළ අතරට එක්වන බවය. කෙසේවුවද මේ වනවිට එම ප්‍රකාශය සත්‍ය වී ඇත. එහෙත් මෙම අනාගත දැක්ම මෙකී ගුවන්තොටුපළ ඉදිකිරීමට සැලසුම් කළ අයට තිබුණේ නම් මෙය පලදායි ව්‍යාපෘතියක් වීමට ඉඩ තිබුණි. හිස් ගුවන්තොටුපළක් බවට පත්ව ඇති මෙකී ගුවන්තොටුපළ ඉදිකිරීමට තීන්දු තීරණ ගත් සියලු දෙනා මේ සඳහා වගකිව යුතුය.

මෙහි මෙහෙයුම් කටයුතු හා වැඩිදියුණු කිරීම්” වඩාත් කාර්යක්ෂම” සහ පිරිවැය පලදායි” ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක්” ගතයුතු බව විගණනය මගින් ද නිර්දේශකොට ඇත.

මත්තල ගුවන්තොටුපළ පමණක් නොව කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළද අඛණ්ඩව පාඩු ලබන ගුවන්තොටුපළක් බවට පත්ව ඇත. ඉකුත් වසර පහ තුළ (2017-2021) මෙහි අලාභය රුපියල් මිලියන 1”693.66කි. ඉකුත් වර්ෂයේ අලාභය (2021) රුපියල් මිලියන 461.08කි. මෙහි 2020” 2021 යන වර්ෂවල දි ගුවන්යානා සංචලන සංඛ්‍යාව වසරකට 13කි. මගි සංචලනයන් පිළිවෙළින් 60 සහ 28ක් පමණ වී තිබුණි. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළද දිගින් දිගටම පාඩු ලබන ගුවන්තොටුපළකි. මෙකී ගුවන්තොටුපළ මගින් ඉකුත් වර්ෂයේදී (2021) කිසිදු ආදායමක් උපයා නොතිබුණි. එහෙත් රුපියල් මිලියන 40.74ක වියදමක් දරා තිබුණි. යාපනය ගුවන්තොටුපළ 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 17 වැනිදින විවෘතකර තිබුණි. මෙහි ආරම්භයේ සිට වාර්තා වූ ගුවන් යානා සංචලන සංඛ්‍යාව 142කි. මගී සංචලන සංඛ්‍යාව 4”441කි.

යාපනය ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් රුපියල් හැටඑක් කෝටි” හැත්තැඑක්ලක්ෂ තිස්එක්දහස් තුන්සිය විසිතුනක මුදලක් (617”131”323) වැයකොට තිබුණි. කෙසේවුවද මෙහි මෙහෙයුම් කටයුතු 2020 වර්ෂයේ මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබුණි. මේ නිසා යාපනය පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා දරනු ලැබූ වියදම පලදායි වියදමක් බවට පත්ව නොතිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

පාඩු ලබන අනිකුත් ගුවන්තොටුපළ වන්නේ මඩකලපුව ගුවන්තොටුපළයි. මෙකී ගුවන් තොටුපළ 2018 වර්ෂයේ දි සිවිල් මෙහෙයුම් කටයුතු සඳහා නැවත විවෘත කොට තිබුණි. එහෙත් මෙකී ගුවන්තොටුපළ පසුගිය වර්ෂ හතරක කාලය තුළදී කිසිදු ආදායමක් උපයා නොතිබුණි. එහෙත් වියදම ලෙස රුපියල් මිලියන 74.64 මුදලක් දරා තිබුණි. සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් මෙහි නව මගි පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 38.4ක මුදලක් වැයකොට තිබුණි. ධාවන පථය ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 482.78කි. මේ සඳහා ගුවන්සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය විසින් ධාවන පථය ඉදිකිරීමේ අවසාන ගෙවීම ලෙස රුපියල් මිලියන 53.61ක මුදලක් වැයකර තිබුණි.

රජයේ තීරණයක් මත ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් මෙකී ගුවන්තොටුපළවල් වල පරිපාලන කටයුතු සිදුකරයි. එමෙන්ම කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (රත්මලාන) ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සිදුකොට තිබුණි.

මඩකලපුව ගුවන්තොටුපළ” යාපනය ජාත්‍යන්තර් ගුවන් තොටුපළ” මීට පෙර සිදුකළ පරිදි සිවිල් මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරීමට ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් සලකා බලමින් සිටින බවට එම සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.

අනික් කාරණය වන්නේ ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් බොහෝ ප්‍රසම්පාදන කටයුතු නියමිත කාලය තුළ සිදුකර නොතිබීමයි. මේ නිසා ප්‍රසම්පාදනයේ විශාල ප්‍රමාදයක් ඇති වී තිබුණි. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බී ව්‍යාපෘතිය යටතේ පොළොවෙන් කැණීම් කරණු ලැබූ පස් විකිණීමේ කොන්ත්‍රාත්තුව සඳහා උපරිම මිල ඉදිරිපත් කළ ලංසුකරු තෝරා නොගැනීමෙන් ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමට වූ පාඩුව තුන්කෝටි” හැත්තැනමලක්ෂ අසුහතරදහස් අටසිය අනුඅටක් (37”984”898) බව විගණනය මගින් අනාවරණය කොට ඇත. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බී ව්‍යාපෘතිය යටතේ පොළොවෙන් කැණීම් කරනු ලැබූ පස් විකිණීම සඳහා ලන්සු කැඳවීමේ තාක්ෂණික කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන නොතිබුණි. ඒ අනුව ද්‍රව්‍ය ගබඩාකිරීම” සඳහා අවශ්‍ය ඉඩකඩ ලබාදීම” සහ පැකේජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව දැක්වීම මගින් තුන්වැනි ඉහළම ලංසුකරුවාට රුපියල් 16”537”102ක මිලකට විකිණීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

කෙසේවුවද වැඩිම ලංසු ඉදිරිපත් කළ ලංසුකරුවන් දෙදෙනකුට කොන්ත්‍රාත්තුව සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේපකොට තිබුණි. පසුව සමාගමේ උප සභාපතිවරයා විසින් කොන්ත්‍රාත්කරු සමග සාකච්ඡාකොට කොන්ත්‍රාත් මිල රුපියල් 16”537”102 සිට රුපියල් 17”537”560 දක්වා වැඩිකිරීමට එකඟ වී තිබුණි. කෙසේවුවද 2020 ඔක්තෝබර් මස 27 වැනිදින වනවිට කැණීම් කටයුතු ක්‍රියාත්මක කර තිබුණද සමාගම දින 105ක ප්‍රමාදයකින් යුතුව 2021 පෙබරවාරි මස 09 වැනිදින කොන්ත්‍රාත් ගිවිසුමට එළඹ තිබුණි. ගිවිසුම අත්සන් කිරීමට පෙර පස් කැණිම් කටයුතු ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

ගුවන් තොටුපළවල් පාඩු ලැබූවද නිලධාරීන් විසින් විවිධ දීමනා ලබා ගනිමින් තම මඩිය තරකරගනිති.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ කළමනාකරණ තනතුරු දරන නිලධාරීන් 27 දෙනකු සඳහා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ඉකුත් වර්ෂ හතර තුළදි (2018-2021) කළමනාකරණ දීමනාව ලෙස රුපියල් පන්කෝටි එක්ලක්ෂ” විසිඅටදහස් පන්සිය පනස්තුනක (50”128”553) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව දීමනා ගෙවිය නොහැකි වුවද අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් මත 2018 වර්ෂයේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක ව න පරිදි රුපියල් 50000 බැගින් කළමනාකරණ දීමනාවක් ගෙවා තිබුණි.

ඉකුත් වර්ෂය තුළ (2021) ගෙවනු ලැබූ කළමනාකරණ දීමනාව රුපියල් එක්කෝටි තිස්ලක්ෂ හැටඑක්දහස් හත්සියහතළිස් දෙකක් (13”061”742) බවද විගණනය මගින් අනාවරණය කොට ඇත..

මේ සම්බන්ධයෙන් ගුවන් සේවා අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බවය. ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment