උඩිනුත් නැවෙනුත් සංචාරකයෝ එති – පහසුකම් දෙන්නැයි ඇමැති නිමල් සිරිපාල නිලධාරීන්ට කියයි

338

ඉදිරි මාස කිහිපයේ දී මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අනාවරණය වී ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඉදිරි මාස දෙකේ දී සංචාරකයින් රැගත් නෞකා 08ක් හා ලබන වසරේ අප්‍රේල් මස දක්වා මගී නෞකා 10ක් කොළඹ, ත්‍රිකුණාමල වරායන් වෙත පැමිණීමට නියමිත බවත් ඉන්දියාවේ සිට සංචාරකයින් 2800 දෙනකු හා කාර්ය මණ්ඩලය 500ක් රැගත් නෞකාවක් සහ ඕමානයේ සිට මගින් 3500ක් හා කාර්ය මණ්ඩලය රැගත් නෞකාවක් මෙම මස පැමිණීමට නියමිත බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට යුරෝපයේ සිට නව ගුවන් සේවා 05 ක් මෙරටට සංචාරකයින් රැගෙන ඒම සඳහා එකඟතාව පළ කර ඇති බව පැවසූ ඇමැතිවරයා, එම ගුවන්සේවා අතර, එරෝ ෆ්ලෝට්, එයාර් ප්‍රාන්ස්, අසූර් එයාර් ලයින් යන ගුවන්සේවා සතියට දෙවරක් ලංකාවට පියාසර කරන බව ද පැවසීය.

ඒ අනුව ඊට සරිලන සැලසුම් සහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයිද ඔහු සඳහන් කළේය.

එහෙයින් මෙම වැඩි වන සංචාරකයින්ගේ රේගු හා ආගමන විගමන සේවා සැපයීම සඳහා වරාය හා ගුවන්තොටුපොළ තුළ වැඩි කවුලු ප්‍රමාණයක් ස්ථාපිත කිරීමටත්, බදු රහිත වෙළෙඳ සල්වල සේවා වැඩි කිරීමටත් අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් වැඩිකිරීමටත් කටයුතු කළ යුතු බව ඇමැතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මේ වන විට ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් සේවා සැපයීම සඳහා ගුවන්තොටුපල සමාගම විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත. ගුවන්තොටුපළ තුළ ආගමන, විගමන හා රේගු සේවා පහසු කිරීම සඳහා කවුලු රැසක් විවෘත කර ඇති අතර තීරුබදු සාප්පු සංකීර්ණයේ පහසුකම් ද වැඩිකර ඇති බව ද ඇමැතිවරයා පැවසීය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment