උඩුවේ හිමිට වරෙන්තු – මිලින්ද මොරගොඩ ඇතුළු පිරිස ගොනු කළ නඩුව:

326

කිරුලපන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා ඊයේ (28 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.

අවට ප්‍රදේශවාසීන්ට මහජන පීඩාවක් වන පරිදි එම විහාරස්ථානයේ හිමිදිරි උදෑසන සිට අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට එරෙහිව පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේ සැකකාර හිමිපාණන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එම වරෙන්තුව නිකුත් කළ විනිසුරුවරයා එම නඩුව ලබන ඔකතෝබර් 31 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය. අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රදේශවාසී දරු දැරියන්ගේ අධ්‍යාපාන කටයුතුවලට දැඩි බාධාවක් වන්නා සේම තමන්ට දැඩි මානසික හා ශාරීරික පීඩාවක් සිදුවන බවත් ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදී දැනුවත් කළත් කිසිදු සහනදායි පියවරක් නොගත් බවත් කියමින් හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ප්‍රදේශාසීන් පිරිසක් එම පෞද්ගලික නඩුකරය ගොනුකර තිබිණි.

2016 වසරේ නොවැම්බර් 23 වැනිදා එම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව සැකකාර හිමියන් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම නිසා මින් පෙර ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කොට තිබූ අතර නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කොට එම වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණයට නියම කර තිබිණි.

ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තුරු උදෑසන 5 ත් 6 අතර කාලය තුළ අවට පදිංචිකරුවන්ට හිරිහැර නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට ද අධිකරණය ධම්මාලෝක හිමියන්ට නියෝග කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment