උණහපුළුවන් බලන්නට ගිය එළුවන්කුලමේ නයිට් සෆාරිය

79

වයඹ වෙරළේ සුන්දරත්වය 2

උණහපුළුවන් බලන්නට ගිය එළුවන්කුලමේ නයිට් සෆාරිය

“සංචාරේ” මේ දිනවල සැරිසරන්නේ වයඹ දිග මුහුදු කලාපයේය. එහිදී පළමුව එළුවන්කුලමේ පිහිටි Cloud Nine Lanka Resort වෙත පැමිණ, එහි නතර වී එම පාරිසරික නිකේතනය මගින් සංචාරකයින්ට ලබාදෙන අගනා පාරිසරික අත්දැකීම් විඳීම අප ආරම්භ කළ අයුරු පසුගිය සතියේ සඳහන් කළෙමු. එසේම, මෙම නිකේතනය අයත් ප්‍රවීණ, ප්‍රකට ඡායාරූප ශිල්පී නීල් ප්‍රනාන්දු අපට මෙම නිකේතනයට පැමිණෙන්නට පෙර සිටම පැවසූ පරිදි මෙහි පැමිණ සිදුකරන්නට නියමිත එක් ආශ්චර්යාත්මක ක්‍රියාකාරකමක් වූවේ අක්කර 17 ක් පමණ වන නීල් ගේ Cloud Nine Lanka Resort ඉඩමේ “නයිට් සෆාරියක්” නොහොත් “නයිට් හයිකින්ග්” එකක් සිදුකිරීමය. නීල් කිව් සැණින් අප ඒ ආරාධනය පිළිගත්තේ හිස් මුදුනෙනි. මන්ද, මෙවන් අවස්ථා අපට ලබන්නේ ඉතා කලාතුරකින් බැවින් එමගින් අපට ලබාගත හැකි අත්දැකීම් මෙන්ම වින්දනය ද ඉතා ඉහළ නිසාය. ඇත්තටම දිවා කාලයේ සිදුකරන අනෙකුත් සංචාරවලට වඩා “නයිට් සෆාරි හයිකින්ග්” එකට මම බොහොම කැමැත්තෙන් සිටියෙමි. මගේ ඔළුවේ වැඩකළේම ගණ අඳුර මැදින් විදුලි පන්දම් දල්වාගෙන ගස් -කොළන්, හෙළවල් මැදින් ගමන් ගන්නා රසවත් චාරිකාවකි.

නීල්ගේ වැඩසටහනට අනුව සවස් වරුවේ පුත්තලම් කලපුවේ සිදුකළ බෝට්ටු සංචාරයට වඩා මම ඇත්තෙන්ම ආසා කළේ උණහපුළුවන්, කබැල්ලාවන්, වල් හාවුන්, මීමින්නන්, උගුඩුවන් බලන්නට යන නයිට් සෆාරියට ය. මෙම නයිට් සෆාරිය නීල්, රනිල්කා, ක්‍රිෂානි ඇතුළු හෝටල් කළමනාකාරිත්වය හඳුන්වන්නේ “උණහපුළුවන් නරඹන නයිට් සෆාරිය” නමිනි. පුත්තලම් කලපුවේ පිහිටි ඕඩාපිටිය හා පන්ඩිපිටිය දූපත් දෙකට ගිය සංචාරය හා මී ඔය මෝය කටේ කළ සංචාරය හනි හනික නිමකළ අපි, ඊළඟට ඇඳිරි වැටෙන යාමයේ සූදානම් වූයේ දිගු රාත්‍රී කැලෑ ගමනකට එක්වීමටය. ඒ අනුව, නැවත හෝටලයට පැමිණ ප්‍රියමනාප “වේටර් මල්ලී” ජනක රංගන ලබා දුන් සවස තේ පැන් සංග්‍රහයෙන් පසු නයිට් සෆාරියට යාමට සූදානම් වූයෙමු.

කාමරයේ සගයා රොහාන් අය්යා (ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී රොහාන් ෆොන්සේකා) ත්, නීල් සහ Cloud Nine Lanka Resort හෝටලයේ අලෙවි ප්‍රවර්ධන කළමනාකාරිනී ක්‍රිශානිත්, මමත් කැලෑ ඇඳුම් සහ ගණ සපත්තු පැළඳ එළියට බැස්සේ ක්‍රිශානි අප සැමටම ලබාදුන් රක්ත වර්ණ සහ පීත වර්ණ නිකුත් කරන හිසේ පළඳන විදුලි පන්දම් දරාගෙනය. ගමනේ පෙරමග හෝටලයේ Naturalist සුනිජු විසින් ගනු ලැබූ අතර, ඒ පිටුපසින් රොහාන් අයියාත්, නීල් සහ ක්‍රිෂානිත් ගමන් ගත්තේ පිට්ටු බම්බු මෙන් දිගැති “ටෙලි ලෙන්ස්” සහිත කැමරා අත දරාගෙනය. කැමරාවක් නොතිබූ මගේ අභිප්‍රාය වූයේ මේ අපූරු වන බිමේදී හොඳින් නිශාචරයින් දැක ගැනීමය. ඒ සඳහා හිසේ පැළඳි රක්ත වර්ණ විදුලි පන්දමට අමතරව සතුන්ට කරදරයක් නැති සුදු ආලෝකය නිකුත් කරන තවත් විදුලි පන්දමක්ද මගේ අතේ විය.

උණහපුළුවන් බලන්නට ගිය එළුවන්කුලමේ නයිට් සෆාරිය

අඳුර වෙලාගත් සන්ධ්‍යාවේ අප ගස් මුදුන් පිරික්සමින් කලපුව දෙසට ගොස්, අනතුරුව Cloud Nine Lanka Resort ඉඩමේ මායිම පිහිටි කඩොලාන කැලේ මායිම දිගේ ආපහු වනාන්තරය තුළට ඇදුණේ තරමක් වගුරු සහිත විවෘත තෘණ භූමියක් මැදිනි. එහිදී අප බිම් බස්සන් (එනම් නිශාචර කුරුල්ලන්) කිහිපදෙනකුම දුටු නමුත් රොහාන් අය්යා ඔවුන්ගේ ඡායාරූප ගන්නට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූයේ බිම් බස්සන් අප හිතනවාට වඩා ලජ්ජාශීලී කුරුල්ලන් විශේෂයක් නිසාය. නොහොත්, කුරුල්ලාට ළඟා වන විටම උන් ඉගිළී තවත් ඈතට ඈතට අපව කැඳවාගෙන ගිය නිසාය. එසේම, ඈත ගස් මත ළැග සිටි බස්සන් හා බකමුණන් කිහිප දෙනකුම අප අඳුරාගත්තේ විදුලි පන්දම් එළියට දිලිහෙන නෙත් නිසාය.

අනතුරුව අප නීල්ට අයත් වන අඩවිය තුළට ඇතුළු වීමත් සමගම දුටු දසුන්වලින් අප විශ්මයට පත්වූහ. ඒ අනිකක් නොව, අප පුල පුලා බලා සිටි උණහපුළුවන්ගේ ආගමනය ගස් වියන අතරින් සිදුවීමෙනි. සැබැවින්ම මා සජීවීව උණහපුළුවන් දුටු පළමු අවස්ථාව මෙයයි. ක්ෂණයෙන් විදුලි පන්දම් එළි ඒ දෙසට එල්ල වීමත් සමග නීල් ගේත්, රොහාන් අය්යාගේත් කැමරා සට…සට….ගා ක්‍රියාත්මක වූයේ තත්පරයට ඡායාරූප 10-12 ක් එක දිගට වදින වේගයෙනි. ක්‍රිෂානි ද හරි හරියට ඡායාරූප ගත් අතර, කැමරාවක් නැති මමත් සුනිජුත් විදුලි පන්දම් දල්වාගෙන ඔවුන්ට උපරිම සහායක් ලබාදුන්නෙමු.

ඒ අනුව අගනා ඡායාරූප ගොන්නක් දැන් නම් අප සතුව ඇතිවාට සැක නැත. ශ්‍රී ලංකාවේදී උණහපුළුවන් විශේෂ 4 ක් දැකගත හැකි අතර ඉන් දෙදෙනකු “රතු උණහපුළුවන්” වේ. වියළි කලාපයේ වෙසෙන “අළු උණහපුළුවන්” අතරින් එක විශේෂයක් (Nothern Gray Slender Loris – Loris lydekkrianus nordicus) විල්පත්තුව, එළුවන්කුලම, ඇතුළු ප්‍රදේශවලදී දැක ගත හැකි ඉතා අහිංසක සතෙකි. වඳුරන්, රිලවුන් මෙන් වානරයින් (ප්‍රයිමෙට්ස්) යටතට ගැනෙන උණහපුළුවාට වල්ගයක් නැති අතර, විශාල ඇස් පිහිටා ඇත. එනමුත් මොවුන් ඉතා අහිංසකය. මෙම දුලභ නිශාචර වාසියා දිවිගෙවන ස්ථාන අතර මේ අනුව Cloud Nine Lanka Resort වන ගහණය ඉතා විශේෂ වන අතර, මෙම වනය මේ අයුරින්ම සත්ත්ව වාසයට ලබාදෙන බව නීල් පවසයි.

මෙවන් අත්දැකීම් ලබමින් අපි නීල්ගේ වනාන්තරයේ තුරු-වැල් අතරින්, කටු වැල්වල පැටලෙමින් හා වියළී ගිය දිය කදුරු නගිමින්-බසිමින් වනාන්තරයක රාත්‍රී අසිරිය හිතේ හැටියට වින්දෙමු. මේ අසිරිය වඩ වඩාත් තීව්‍ර කරනු ලැබුවේ අප ගමන් කරන වනයේ සිටි, වල් හාවුන්, උගුඩුවන්, නරින් හා අතු පතර ළැග සිටි නේක අලංකාර සියොතුන් විසිනි. තවත් තැනක එවන් සියොතුන්ව ගිලගන්නට මාන බලන ඇහැටුල්ලෙකි. මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මැදින් Cloud Nine Lanka Resort රාත්‍රී වන අසිරිය හා “උණහපුළුවන් බලන රාත්‍රී සංචාරය” නිමා කර රාත්‍රී ආහාරයට යළිත් හෝටල් පරිශ්‍රයට පැමිණෙන විට රාත්‍රී 10 ට ආසන්න වී තිබිණි.

(මීළඟට පුත්තලම කලපුවේ මී ඔය මෝයේ කඩොලාන සංචාරය සහ ඕඩාපිටිය හා පන්ඩිපිටිය දූපත් සංචාරය අත්විඳිමු.)

උණහපුළුවන් බලන්නට ගිය එළුවන්කුලමේ නයිට් සෆාරිය

සැරිසර ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – නීල් ප්‍රනාන්දු සහ රොහාන් ෆොන්සේකා

advertistmentadvertistment
advertistmentadvertistment