උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ගනුදෙනු කරන ස්ථාන වැටලීම ඇරැඹේ

292

නීත්‍යනුකූල නොවන මාර්ග හරහා විදේශ මුදල් ගනුදෙනු කරන මධ්‍යස්ථාන (උන්ඩියල් ගනුදෙනු) වැටලීමේ මෙහෙයුම් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ආරම්භ කර ඇත.

රට තුළ ඩොලර් ඇතුළු විදේශ මුදල්වල උග්‍ර හිඟයක් තිබියදී හොර රහසේ විදේශ මුදල් ගනුදෙනු කරන ආයතන පිළිබඳව ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම මෙහෙයුම්වලදී පැපිලියාන ප්‍රදේශයේ නිවසක් පොලිස් විශේෂකාර්ය බලකාය මගින් පෙරේදා (15 වැනිදා) වැටලූ අතර එහිදී එම නිවසේ තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමෙන් යුත් යුරෝ 50,000ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

මෙම මුදල් ඉපයූ ආකාරයක් හෝ එම ගනුදෙනු කරන ආකාරයක් පිළිබඳව සැකකරුවන් හෙළි කර නොමැත.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඉකුත් 14 වැනිදා කළ වැටලීමකදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයක් පමණ වටිනා ඇමරිකානු ඩොලර් 47,000ක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. නීත්‍යනුකූල නොවන ආකාරයට කෙරෙන මෙම ගනුදෙනු වැටලීමට ඉතාම කඩිනමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

උණ්ඩියල් ක්‍රමයට සිදු කරන මෙම විදේශ මුදල් ගනුදෙනුව පිටකොටුව සහ තදාසන්න ප්‍රදේශවල විශාල වශයෙන් සිදු කරන බව හඳුනාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් මෙහෙයුම් ක්‍රියාත්මකවෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment