උණුසුම්ව හදවතින් සුවකරමු “අම්මා”

83

ලෝක ඉතිහාසය තුළ එක් එක් යුගයන්හි දී විවිධ දේශයන්හි නැගී සිටීම් මෙන්ම පසු බැසීම්ද, සමෘද්ධිමත් යුගයන් මෙන්ම පසුගාමී යුගයන්ද අප දැක තිබෙනවා. මේ ඉතිහාසය තුළින් බොහෝ පාඩම් උගත හැකිව තිබෙනවා.

අප දන්නා වූ ඉතිහාසය තුළ අපේ රට කිසි දිනෙක අත් නොදුටු පසුබෑම් සහිත පසුගාමී තත්ත්වයකට අද අප මුහුණ දී සිටිනවා. දැන් අප සිටින්නේ අප යා යුතු ගමන් මගේ තීරණාත්මක සන්ධිස්ථානයකය.

ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා වන්නා වූ, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තුළ ජනතාවගේ දුක් ගිනි නිවන, මේ විපතින් පාඩම් උගෙන සැපත උදා කරගත යුත්තා වූ නිවැරදි ගමන් මගකට අපේ රට අවතීර්ණ විය යුතුව තියෙනවා. හුදු ආකර්ෂණීය සටන් පාඨ හෝ ආවේගශීලී කථාවන්ගෙන් නැවත නැවතත් රට මං මුළා කිරීමකට ඉඩ නොතැබිය යුතුව තිබෙනවා. රටේ පුරවැසියන් සියලු දෙනා දුරදැක්මෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක අප අද සිටින්නේ.

අපේ සමාජය අද මුහුණදී ඇති ආර්ථික අභියෝගයන් දෙස බලන කල මට සිතෙන්නේ, චීනයේ ඩෙංග් ෂියාවෝ පෙංග් ගේ ආර්ථික ලෙගසිය හෙවත් උරුමය අපේ සමාජයට ලබාදෙන්නේ මහා පාඩමත් බවයි. ඔහුගේ ඒ ගමන් මග තවමත් ආරක්ෂිතව සහ ධනාත්මකව පැවතීම අප දකිනවා.

ඩෙංග් ෂියාවෝ පෙං චීන ජනතාවට දිනාදුන් සියල්ලටම වඩා අද ලෝකය ඉහළින් කථා කරන්නේ, ඔහු චීනයේ ආර්ථික ක්‍රමය තුළ ඇතිකළ ප්‍රතිසංස්කරණ සහ එහි සාර්ථකත්වය තුළින් ලෝකයේ ඉහළම ජනගහනය වන චීන ජන සමාජය තුළ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ඒසවීමට කටයුතු කර ඇති ආකාරය ගැනයි.

උතුරු කොරියාව මෙන් එදා ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනය, අද ලෝකයේ බලවත්ම ආර්ථිකයක් බවට පත්ව තිබෙන්නේ ඩෙංග් ඇතිකළ ආර්ථික ප්‍රතිසංස්කරණය හේතුවෙන්. අද කාර්මික නිෂ්පාදනය අතින් අමෙරිකාව වැනි රටවලට චීනය සැබෑ අභියෝගයක් බවට පත්ව අවසන්. 1990 දසකය පුරා සීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය, 2001 දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණා. වෙනත් රටවලට පනවා තිබූ වෙළෙඳ සීමා සහ තීරු බදු ලිහිල් කළ චීනය, මුළු ලෝකයේම වැඩපළක් බවට පත්වුණා. ආයෝජනයට මෙන්ම දියුණු තාක්ෂණයට දොරටු විවෘත කරනු ලැබුවා. න්‍යාය ධර්ම අතින් නම්‍යශීලී වෙමින් ලාභය අරමුණු කරගත් ලොව ඉහළම මට්ටමේ ධනවත් සමාගම් වැලඳ ගැන්ම සිදු කළා.

ඩෙංග් ෂියවෝ පෙංග් මේ මහා වෙනස්කම් වලට මුල පුරමින් සිටි අවධියේදී අන්තවාදී මතධාරීන්ගේ ප්‍රබල විරෝධතාවන්ට මුහුණදීමට ඔහුට සිදුවුණා. ආරම්භක අවධියේදී මා ඕ සේතුං ගේ බිරිඳ ඇතුළු හතර දෙනාගේ කල්ලියේ “සංස්කෘතික විප්ලවය” යටතේ “ ධනවාදී, ප්‍රතිසංස්කරණවාදී මතධාරීන්” ලෙස හංවඩු ගසමින්, බොහෝ වද වේදනාවන්වලට බඳුන් කිරීම්වලට ඩෙං ඇතුළු පිරිස ලක්වුණා. ලාභය සූරාකෑමක් වෙනුවට, වඩාත් කාර්යක්ෂමතාවක් ඇති කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස සලකමින් කුඩා පරිමාණයේ පෞද්ගලික අයිතීන්ට අවසර දීමද ඩෙංග් ගේ යුගයේ ආරම්භ වීම ජාත්‍යන්තර මාධ්‍ය හෙළිකරනු ලැබුවා.

හුදෙකලාව සිටින තාක් කල් ලෝකය ජයග්‍රහණය කළ නොහැකි බව අවබෝධ කරගත් ඩෙංග්, කාලාන්තරයක් තිස්සේ පස මිතුරුව සිටි අමෙරිකා එක්සත් ජනපදය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා මුල පිරුවා. නව වෙළෙඳ මාර්ග සඳහා මං විවර කිරීමත්, ප්‍රායෝගික වූ වෙළඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දීමත් සිදුවුණේ ඔහුගේ යුගයේදී.

70 දසකයේදී චීනයේ අගනුවර ප්‍රධාන වීදිවල අතිශය බහුතර ජනතාවකගේ ගමනාගමනය සිදුවුණේ පා පැදිවලින්. සියලු දෙනාම වාගේ ඇඳ සිටියේ මා ඕ සේතුං ඇඳුමයි. ආර්ථික අතින් මහා යෝධයෙක් ලෙස චීනය අවදි වන්නට පටන් ගත්තේ ලෝකයත් ඒක්ක පාලම් බැඳ ගැනීමත් ඒක්කයි. 70 දසකයේදී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප නිරීක්ෂණයට චීන නියෝජිත පිරිස් ආ ගමන පිළිබඳ පුවතද මගේ සිහියට නැගෙනවා.අද අපේ රට මුහුණ දී ඇති අයුරින්ම රටේ යහපත උදෙසා බරපතළ තීන්දු තීරණ ගතයුතු සන්ධිස්ථානයකට කොමියුනිස්ට් වියට්නාමය පැමිණ සිටියා. නරසිම්හරාවෝ සහ මන්මෝහන් සිං යුගලය, සාම්ප්‍රදායික ඉන්දියානු ආර්ථික ගමන් මාර්ගයේ ඇතිකළ විප්ලවීය වෙනස්කම් හේතුවෙන් ඉන්දියාව අද තම විශාල ජනගහනයේ අභියෝගත් සමග ආර්ථික අතින් ලොව යෝධයෙකු බවට පත්වෙමින් සිටීම අප දකිනවා.

අද අපේ රට වැටී ඇත්තේ ආර්ථික අතින් මහා ප්‍රපාතයකට. මෙයින් ගොඩ ඒමට යායුතු මග රෝසමල් පිරි මාවතක් නොවේ. සතියෙන් දෙකෙන්, මාසයෙන් දෙකෙන් ප්‍රාතිහාර්ය පෑම ගැන කරන කථාවන් හුදු ප්‍රලාප මිසෙක යථාර්ථයන් නම් නොවේ.

දිළිඳු ජනතාව අන්ත අසරණ තත්ත්වයකට වැටී තිබෙනවා. මධ්‍යම පන්තියෙන් සෑහෙන කොටසක් දිලින්දන් බවට පත්ව තිබෙනවා. එදාවේල සොයාගන්න පිරිස් මෙන්ම, මාසික වැටුප, මාසික විශ්‍රාම දීමනාව ලබාගන්නා උදවියගේ මුදල් ප්‍රමාණයේ වටිනාකම, මුදල් අච්චු ගැසීම් නිසා අගය පහළටම ඇදවැටී තිබෙනවා. කුසගින්න නිසා මිය යන ජනතාවක්, පෝෂණය නොමැතිකම නිසා වැඩිවී ඇති මන්දපෝෂණය සහිත දරුවන් ආදී වශයෙන් සමාජයේ අවදානමට ලක්වී ඇති ජනතාවගේ ජීවිත රැකගැන්ම පළමු ප්‍රමුඛතාව වේ.ඒ හා සමානව රට අවම වශයෙන් කලින් තිබූ තත්ත්වයට ගෙන ඒම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් ඒකඟතාවක් ඇතිකරගෙන, රටේ ජනතාවගේ පිළිගැන්ම දිනාගත හැකි ස්ථාවර රජයක් මෙන්ම ලෝකයා පිළිගන්නා වූ පිරිසිදු ප්‍රජාතන්ත්‍රීය පාලන තන්ත්‍රයක් ගොඩ නගා ගැන්ම අප්‍රමාදව සිදුවිය යුතුව තිබෙනවා. ජනතාවට සංවේදී, දූෂණයෙන් තොර, නීතියේ ආධිපත්‍ය සුරැකෙන ජනවරමක් ඇති රජයන් පිහිටුවා ගැන්මට ඉදිරියේදී හෝ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුවෙනවා. ගෙවන සෑම තත්පරයක්ම මාතෘ භූමියේ ඉරණම කෙරේ ඇතිකරන බලපෑම ඉමහත්ය. මේ විපතින් සැපත උදාකරගන්නට අදිටන් කරගනිමු. බෙදීම් වෙන්වීම් වෙනුවට ශ්‍රී ලාංකීය ජාතිය එකමුතු කිරීමට අදිටන් කරගනිමු. මාතෘ භූමියේ අභිමානය, යහපත සඳහා එක්ව කැපවෙමු. අරමුණ යහපත් නම් ප්‍රතිඵල සාර්ථකවීම නියතයි.

අද අපේ මව් පොළව මේ මොහොතේ සිටින්නේ අසාධ්‍ය රෝගියෙක් ලෙසින් මරණාසන්නව ඒ අම්මව සුවකළ හැක්කේ සමස්ත පුරවැසියන්ගේ උණුසුම් හදවත්වලින් පමණයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment