උත්තරයක් නැති බිත්තරේ විස්තරේ…බිත්තරේ 40ට දෙන්න පුළුවන්

128

උත්සව සමයේ බොර දියේ මාළු බාන බිත්තර සංගම්

කුකුළෙක්වත් නැති මිනිස්සු කියන කතා පදනම් විරහිතයි

කලකට පෙර මහත් ආඩම්බරයෙන් කතාකළ මෙරට මේ වනවිට වැටිය හැකි අන්තිම අඩියටම වැටී තිබේ. ආර්ථිකය ගත්තත්, දේශපාලනය ගත්තත්, අධ්‍යානය ගත්තත්, සෞඛ්‍යය ගත්තත් කර්මාන්ත ගත්තත් ඒ ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. ලෝකය ඉදිරියේ මෙරට බංකොලොත් රාජ්‍යයක් වී හමාරය. උද්ධමනය, දූෂණය වංචාව ඉහළම රටක් වී අවසානය. මන්දපෝෂණයෙන්ද එසේමය. රටක් ගොඩනැගීමට පළමුවෙන්ම ශක්තිසම්පන්න ජනතාවක් සිටිය යුතුය. හෙට දින රට බාර ගැනීමට නිරෝගිමත් බුද්ධිමත් දරු පරපුරක් සිටිය යුතුය. නමුත් අද දවස වන විට රටේ සෑම දෙනාම පාහේ පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව දවසින් දවස අසන්නට දකින්නට ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි.

මේ වනවිට වාර්තාවන ආකාරයට වයස අවුරුදු 5 ට අඩු දරුවන් සියයට විස්සකට වැඩි ප්‍රමාණය මන්දපෝෂණයෙන් පෙළෙයි. ප්‍රෝටීන් අතිරේක ආහාර ලෙස ලබාදුන්නත් හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් රෝහල්ගත කිරීමකින් තොරව සාමාන්‍ය තත්ත්වයට ගත නොහැක. ළමා, වැඩිහිටි, මහලු සියලු දෙනාටම එකසේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගත හැකි ලාභදායකම සහ මෙරට ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 30%‍ ක්ම සැපයූ දෙය ලෙස පැවතුනේ බිත්තර ආහාරයට ගැනීමයි. මීට වසරකට පෙර රු. 10 – 20 සීමාවේ තිබූ බිත්තර මිල මේ වනවිට 50 – 60 සීමාවේ පවතී. එයද ආණ්ඩුවේ දැඩි බලපෑම හමුවේ රු.50 සීමාවේ බිත්තර මිල ගැසට්ටුව පවතින නිසා යාන්තම් හැටකට අඩුවෙන් සාමාන්‍ය වෙළෙඳපළේ බිත්තර මිලට ගත හැක. නමුත් විශේෂ වෙළෙඳනාම යටතේ විශේෂ අසුරන වල ඇති බිත්තර මිල හැටෙන් එහාය. මේ සියල්ල අතරේ පසුගිය සතියේ ඇඟ හිරිවැටෙන ආකාරයේ ප්‍රකාශයන් මෙන්ම යම් කිසි සතුටුදායක ආරංචිද අහන්නට දකින්නට ලැබිණි. මේ ආරංචිවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සැබෑ තොරතුරු විමසා බැලීමට අප තීරණය කළේ එබැවිනි.

● බිත්තරයක් 100 යි

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඉදිරි උත්සව සමයේදී බිත්තරයක මිල රු. 100 ට ආසන්න වනු ඇතැයි කියාය. එම සංගමයේ සභාපති සිසිර පියසිරි මහතා පවසන්නේ දැනට බිත්තර මිල 50- 60 සීමාවේ පවතින්නේ බිත්තර නිෂ්පාදනය ඉහළ යෑම නිසා නොව බිත්තර මිල ඉහළ යෑම නිසා මිනිසුන් බිත්තර පරිභෝජනය අඩුකර ඇති බැවින් බවයි. නමුත් ඉදිරි උත්සව සමයත් සමඟ නැවත බිත්තර පරිභෝජනය ඉහළ යෑම මත බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවයි

● බිත්තර පරිභෝජනය

මෙරට ඒක පුද්ගල බිත්තර පරිභෝජනය වාර්ෂිකව 120 කි. එමෙන්ම එක් දිනක් සඳහා බිත්තර අවශ්‍යතාව ලක්‍ෂ 70 කි. මෙය එක් එක් කාල අනුව වෙනස් වේ. මෙම ඉල්ලුමට සරිලන ලෙස මෙරට කුකුල් ගොවිපළ හිමියන්ට බිත්තර සැපයිය හැකි බව බිත්තර නිෂ්පාදනය කරන බිත්තර නිෂ්පාදන සංගම් පවසයි. එසේම බිත්තර නිෂ්පාදන සංගම් රාශියක් ඇතත් ඔවුන් සියල්ල එක මතයක නැත.

● බිත්තර සංගම් මත ගැටුමක

මේ වනවිට බිත්තර මිල සම්බන්ධව බිත්තර සංගම් නොයෙක් මිල ගණන් ඉදිරිපත් කරයි. ඉල්ලීමක් දිනාගැනීමට මෙන්ම තම
පාරිභෝගිකයා ආරක්‍ෂා කර ගැනීමට එක මතයක සිටිය යුතු වුවත් ඔවුන් ඒ සියල්ල පසෙක දමා ඔවුනොවුන් කාකොටා ගනී. මේ බව මැනවින් දක්නට ලැබුණේ පසුගිය දිනකදී බිත්තර මිල සම්බන්ධ පැවති මාධ්‍ය හමුවකදී පවා ප්‍රසිද්ධියේ එම නියෝජිතයන් ගැටුම් ඇතිකර ගැනීම නිසාය.

● බිත්තර 40 ට දෙන්න පුළුවන්

පසුගිය 28 වැනිදා කුරුණෑගලදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පැවසුවේ බිත්තරයක නිෂ්පාදන වියදම 30 – 40 අතර පවතින බවත් ඒ අනුව නිෂ්පාදන මිලද සමග රු. 35 ක තොග මිලකට බිත්තර අලෙවි කළ හැකි බවයි. එවිට රු.40 ක මිලකට පාරිභෝගිකයාට බිත්තර මිලට ගත හැකි බවයි.

● සංගම් දෙකක් එකඟයි

උත්තරයක් නැති බිත්තරේ විස්තරේ…බිත්තරේ 40ට දෙන්න පුළුවන්

රුපියල් හතළිහකට පාරිභෝගිකයාට මිලට ගත හැකි වන පරිදි බිත්තර සැපයීමට හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය සහ සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එකඟතාව පළකර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරසිරි මාරසිංහ මහතා

“වර්තමානයේ රට තුළ පවතින බිත්තර මිල සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන් සහ ආහාර සුරක්‍ෂිතතා කමිටුවේ සාමාජිකයන් අදහස් දක්වන්නේ අවබෝධයකින් තොරවයි. තම සංගමය ඒ ගැන කනගාටු වනවා. අපට බිත්තරයක් විකුණාගත නොහැකි තරමට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය බිත්තර මිල පහළ නොදමා සිටියා.

මේ මාෆියාවට එරෙහිව අපේ සංගමය අවස්ථා කිහිපයකදීම විරුද්ධත්වය ප්‍රකාශ කළත් එයින් වැඩක් වුණේ නැහැ.

එසේම බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අපේ සංගම්වලට පමණක් නොව රජයටත් විරුද්ධව හිතුවක්කාරී ලෙස කටයුතු කිරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකියි. ඒ නිසයි මේ ආකාරයෙන් මාධ්‍ය හමුවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට තීරණය කළේ.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා එයට මැදිහත් වූ පාරිභෝගික සේවා අධිකාරියට පවා නඩු පවරුවා. නමුත් පසුගිය දිනක පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ලබන ලාභය කොපමණදැයි පැවසුවා. එපමණ ලාභ ලැබුවත් ඔහුට මදි. තවමත් පාඩුයි කියමින් මිල වැඩිකර ගැනීමට සූදානම් වනවා.”

● බිත්තරයක නිෂ්පාදන වියදම

මෙහිදී විශේෂයෙන්ම ගණන් හිලව් සහිතව බිත්තරයක නිෂපාදන පිරිවැය ඉදිරිපත් කිරීමට අනුරසිරි මහතා අමතක නොකළේය. කෑම වියදම, විදුලිය, ජලය ආදී වියදම් සමඟ රුපියල් 22,000 ක් කිකිළියන් දහසකට වියදම් වන බවත් අඩුම ගානේ බිත්තර ගෙඩි අටසිය පනහක් දැමුවත් බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 26.94 කි. මේ සම්බන්ධයෙන් ඕනෑම ආයතනයකට පෙන්වා දීමට තම සංගමය සූදානම් බවද අනුරසිරි මහතා පැවැසීය. අනුරසිරි මහතා කරන තවත් චෝදනාවක් වන්නේ පසුගිය කාලයේ නිපදවූ බිත්තර, නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් විකිණීමට සිදුවුණා. මේ නිසා බොහෝ ගොවිපළ වැසී ගියා. දැනට ඉතිරිව ඇත්තේ 30% වැනි පිරිසක්. මේ පිරිස ව්‍යාජ ගණන් ඉදිරිපත් කර අධික ලාභයක් ලබන්න උත්සාහ කරනවා සුළු පරිමාණ බිත්තර වගාකරුවන් අත බිත්තර නැහැ. ඉදිරියේදී සහල් මිල අඩුවෙනවා. බඩ ඉරිඟු කැඩෙනවා. මේ නිසා ඉදිරියේදී තවත් අඩුවට බිත්තර නිෂ්පාදනය කරන්න පුළුවන්.

● බිත්තරයක් 55ක් කරගන්න නිෂ්පාදකයෝ උත්සාහයක

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා දරන්නේ වෙනත් මතයකි. ඔහු පවසන්නේ පාරිභෝගික අධිකාරිය බිත්තරයක් රු. 55 ක මුදලකට විකිණීමට අවසර දෙනු ඇතැයි කියාය. ඔහු ඉල්ලන්නේ උත්සව සමය නිමවන තෙක් මෙම මිලට අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙසයි. එසේම ඔහු සමස්ත ලංකා බිත්තර වෙළෙද සංගමයට චෝදනා කරමින් පැවසුවේ රු. 25 බිත්තර දීමට නොහැකි බවයි. ඒවා ජනප්‍රිය කතා යනුවෙනි.

● චෝදනාවලට පිළිතුරු

බිත්තර මිල අඩුකිරීමට ඉඩ නොදෙන බවට අනුරසිරි මහතා එල්ල කළ චෝදනාවලට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“මේ වනවිට කුකුළෙක්වත් නැති පුද්ගලයෙක් එල්ල කරන චෝදනා පදනම් විරහිතයි. ඔහු එල්ල කරන චෝදනාවලට උත්තර දීමෙන් ඵලක් නැහැ. අනුරසිරි මහතා පවසන ආකාරයට බිත්තර නිපදවිය හැකි නම් මේ වනවිට ලංකාව තුළ බිත්තර අතිරික්තයක් පැවතිය යුතුයි. එහෙම බිත්තර ගබඩා තුළ සඟවා කල්තබාගෙන මිල පාලනය කළ නොහැකියි.

ඒ වගේම රු. 10, 15, 20 පාරවල් ගානේ බිත්තර විකුණුවා. පෝෂණ මලුවලට, ගැබිනි මව්වරුන්ට දුන්නා. ඒ කාලයේ ඔය එක් අයෙක්වත් ඒ ගැන කතා කළේ නැහැ.

කොරෝනා වසංගතය, ඉන්ධන අර්බුදය, සත්ව ආහාර මිල අධික ලෙස ඉහළ යෑම, කුකුළු පැටව් මිල, විටමින් වර්ගවල මිල ගණන් ඉහළ යෑම බිත්තර මිල වැඩිවීමට ක්‍රමිකව බලපෑවා. රු. 65 තිබූ කෑම කිලෝව දැන් 240 යි. අද වෙනකන් එක රුපියල් 10ක් කෑම මිල අඩු වුණේ නැහැ. කුකුළන්ට පොල් කුඩු දීල පෝෂණය කරන්න බැහැ. රු. 100 ට තිබූ කුකුළු පැටවෙක් දැන් 550 යි. එහෙමවත් හොයාගන්න නැහැ. මේ විදිහට වියදම් කරල හදන බිත්තරයක නිෂ්පාදන වියදම රු. 42, 45 අතර වෙනව. ඒකට තව ප්‍රවාහන වියදම් එකතු වෙන්න ඕන. එහෙම බැලුවම අපි බොහොම අමාරුවෙන් මේ කර්මාන්තය කරගෙන යන්නෙ.

මේ වනවිට වයඹ පළාතේ ඇති කුකුළු ගොවිපළ විශාල ප්‍රමාණයක් වැසීගිහින්. ඒවායෙහි මේ වනවිට පොල්ලෙලි කෑලි කපනවා. තවත් ඒවා කැලෑවටම යටවෙල. අභිජනන මධ්‍යස්ථාන 12 න් 6 ක්ම වැහිල. මේ ආකාරයෙන් තවත් ටික කාලයක් ගියොත් මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැනසී යනව. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල එක එක ඒව කියන්න කලින් කර්මාන්තය ගැනත් හිතන්න ඕන.”

තවත් මාස දෙක තුනක් යනවිට මෙම කෑම ප්‍රශ්නයත් බිත්තර මිල ප්‍රශ්නයත් විසඳෙනු ඇතැයි තමන් විස්වාස කරන බවත් එතෙක් තාවකාලිකව මාස 2 – 3 කට රු. 55 ක මිලක් බිත්තර සඳහා ලබාදෙන ලෙසත් රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.

බිත්තර කර්මාන්තය ආරක්‍ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමද ආණ්ඩුවක වගකීම වේ. මෙම සංගම් කිහිපයම ඉදිරිපත් කරන ගණන් විමසා බලා ඔවුන්ගේ ගැටලු ඇත්නම් ඒවාට විසඳුම් ලබාදී බිත්තර මිල පහත හෙළිය නොහැකිනම් පාරිභෝගිකයාට මෙරටින් නොහැකිනම් පිටරටින් හෝ බිත්තර ගෙනත් දී මේවනවිට රටේ පවතින මන්දපෝෂණ තත්ත්වයට විසඳුම් දීමට තනි තනිව නොව සියලු අමාත්‍යාංශ එකතු විය යුතුය. එසේ නොවුණහොත් ඡන්ද කාලෙට කුණු බිත්තරවලින් ජනතාව සලකනු නොඅනුමානය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment