උතුම්ම පිංකම

886

මව්පිය උපස්ථානය උතුම්ම පිංකමකි. හැදූ වැඩූ මව්පිය දෙපල අපට ලොව ඇති උතුම්ම වස්තුවයි. අප බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ ලෙස මව්පිය උපස්ථානය වර්ණනා කොට ඇත. අපේ පිටක ග්‍රන්ථයන්හි බොහෝ සූත්‍රවල ඒ බව සඳහන්ව ඇත. ලොව පහල වූ ශාස්තෘවරු අතර වැඩිපුරම දෙමව්පිය අගය පිළිබඳ දේශනා කොට ඇත්තේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ පමණි. අප බෞද්ධයන් හැටියට බුද්ධ ගෞරවය ඇතිව ඒ කාරණය ඉටුකළ යුතුය. ජන සමාජය තුළ වැඩි දෙනෙක් මේ පිළිබඳව දැනුවත් වුවද ක්‍රියාත්මක වීම අතින් ඇත්තේ අඩුලුහුඩු කමකි.

 දෙමව්පියන්ගේ ඒකායන ප්‍රාර්ථනය දරුවන් දෙමව්පියන්ටත් වඩා ඉහළින් සිටිය යුතු බවයි. වර්තමාන සමාජ ක්‍රමය අනුව ඉක්මනින් දරුවන් නොමඟට යන්න ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා ඔවුන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුය. “පුත්තා වත්ථු මනුස්සානං ”යන බුදු වදනට අනුව තමන්ට ඇති එකම වස්තුව දරුවන්ය. කරණීයමත්ත සූත්‍රයේදී, “මාතායථානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛී” මව සිය එකම පුතු පණ මෙන් රකින සේ යන කියමන අනුව දරුවන්ගේ වටිනාකම ප්‍රකාශ කර ඇත. මවකට හෝ පියෙකුට කරන සැලකිල්ල අන් අයට කරන සැලකිල්ලට වඩා ඉහළ එකක් විය යුතුය. මව්පියන් අගය කිරීම නිරන්තරයෙන්ම සිදු විය යුත්තකි. දෙමව්පියන්ට ඇති එකම වස්තුව දරුවන් මෙන්ම, දරුවන්ට ඇති එකම වස්තුවද දෙමාපියන් විය යුතුය. මේ දෙගොල්ලන්ම තම අගය තම වටිනාකම තක්සේරු කරගෙන සිටිය යුතුය.

 මානුෂීය ගුණ ධර්ම කලින් කලට වෙනස් විය යුතු නොවේ. ඒවා සදාකාලිකව ස්ථාවරව තිබිය යුතු වේ. සමාජ ආර්ථීක වෙනස් වීම නිතර සිදු වුවත් සමාජ හර පද්ධතිය වෙනස් විය යුතු නොවේ. වැඩිහිටියන්ට සැලකීම ගත්විට පෙර දවසද එසේ සිදු විය. දැනුදු එසේ සිදු විය යුතුමය. ”අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධාපචායිනො” වඳින සුලු, වැඩිහිටියන්ට සලසන සුලු මිනිසුන්ගේ ගුණ ධර්ම සතරක් වැඩෙන බව ධර්මයේ සඳහන් වනවා. ආයුෂ, වර්ණය, සැපත, බලය යන ගුණ ධර්ම සතර වැඳීම සහ වැඩිහිටි සැලකීම මත වර්ධනය වන බව මෙයින් කිය වේ. වැඩිහිටියන්ට සැලකීම නිහතමානිකම වර්ධනය වීමට හේතු වේ. නිහතමානි වීම තුළින් තමා සමාජය විසින් පිළිගන්නා කෙනෙක් බවට පත් වේ. සමාජ පිළිගැනීම තම දියුණුවට ඒකාන්ත වශයෙන් බලපායි. අප මෛත්‍රි වඩන විට මුලින්ම සඳහන් වන්නේ දෙමව්පියන්ට කරන මෛත්‍රියයි. ඉන් පසුවයි අන් අය කෙරෙහි මෛත්‍රිය පතුරුවනු ලබන්නේ. ඒ මූලිකත්වය අපට කිසිඳින වෙනස් කළ හැක්කක් නොවේ.

 අප නිතරම අපේ දරුවන්ට සැහැල්ලුකමේ වටිනාකම පෙන්වාදිය යුතුය. සැහැල්ලු වීම දරුවන් පෝෂණයට පහසු වේ. කරණීයමත්ත සූත්‍රයේදී ”සුභරෝ” යන්නෙන් සඳහන් කළේ වැඩිහිටි බාල කවුරුත් පෝෂණය කරන්නට පහසු නම් තම ජීවිතයත් ඉතා පහසු බවයි. දැනට පවතින කුමන ආර්ථික රටාවකට අනුව වුවද ජීවිතය ගොඩනගාගෙන යා හැක්කේ තම සැහැල්ලුකම අනුවයි. ”අතිත්තං යෙව කාමේසු” අප කැමති වන දේ කොපමණ ලැබුණත් ඉන් තෘප්තිමත් නොවන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. කැමති දේවල නිමාවක් නැත. ඒ සඳහා අප විසින් සීමා ඇති කර ගත යුතුයි. ආහාර පාන, ඇඳුම් පැලඳුම්, නිවාස සහ තමා පරිහරණය කරන දෑ කොපමණ ලැබුවත් ඉන් සෑහීමකට පත් නොවී ඊටත් වඩා හොඳ දේ ලබා ගැනීමට උත්සහවත් වීම මිනිස් ස්වාභාව යයි දකින දකින දේට ඇලුම් කිරීම, ඒවා ලබා ගැනීමට උත්සහ කිරීම තුළින් තමන්ගේ ගමන අඩාල වීමට හේතු විය හැක. අප හැමෝටම එක විධියේ ගමනක් නැත. විවිධ අපේක්ෂා ඇතත් අපට ඇති ප්‍රමාණය අනුව යම් යම් දේවල් ලබා ගන්නවා මිසක් අධික තණ්හාවෙන් ගොඩක් දේ රැස් කර ගැනීමට උත්සහ කිරීම තමන්ගේ විනාශයට හේතු වෙයි. මෙයට කියන්නේ “ මහේච්ඡතා “ යනුවෙනි. අධික ආශාව සහ ඒවා ලබා ගැනීමට විවිධ උපක්‍රම යෙදීම තුළින් ඉල්ලන ප්‍රමාණය ඉක්මවා ගොස් විනාශය කරා ලගා වෙයි. සතුට පරම ධනය කොට ගෙන වාසය කළ යුතුය. අපගේ ප්‍රධාන අපේක්ෂාවන්ට හානි නොවන, ලැබෙන දේ සතුටින් බාරගෙන ක්‍රියා කිරීම ඉතා උතුම් මනුෂ්‍ය ගතියකි. දෙමාපිය රක්ෂණයේදී මේ ගුණාංග වඩාත් ගැලපෙයි. ඇතැමුන්ට දෙමාපියන් අතහැර යන්නට සිදු වන්නේ අල්පේච්ඡතා ගුණය වර්ධනය කර නොගත් බැවිනි. තමන්ට යැපෙන්නට හැකි තත්වයෙන් ජීවිතය ගොඩ නගා ගන්නවා විනා රටේ ලෝකයේ සිදුවන ආකාරයට කටයුතු කරන්නට යාමේදී අවශ්‍යම දේ ඉටු කරන්නට අවස්ථාව නොලැබී යාමට ඉඩ ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ පාක්ෂියෙකු මෙන් ජීවත් වන ලෙසයි. තුන් සිවුර, පාත්‍රය අතැතිව චාරිකාවෙහි යෙදෙමින් පි ඉතා සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට අනුදැන වදාලහ. ගිහි අයට වුවද මේ කාරණය ඔවුන්ගේ ප්‍රමාණයට අනුව ගලපාගත යුතුය. සැහැල්ලු ජීවිතයක් ගත කරන දරුවන්ට දෙමාපියන් අමුතු බරක් නොවේ. දරුවන් ආශ්‍රිතව දෙමාපියන් ජීවත් වේ නම් එය ඔවුන්ට විශාල ශක්තියක් සහ ආශිර්වාදයක් වන්නේය. ඇතැම් දෙමව්පියන් දරුවන් යටතේ සිට පින්දහම් කර ගනිමින් ඉතා තෘප්තිමත් ජීවිතයක් ගත කරනු දක්නට ලැබේ.

 “බ්‍රහ්මාති මාතා පිතරෝ” මව්පිය දෙපළ බ්‍රහ්මයා හා සමාන කොට වදාරා සමාජයේ බ්‍රහ්මයාට සලකන අයුරින් දෙමව්පියන්ටත් සලකන ලෙස අනුදැන වදාලහ. බ්‍රහ්මයාගේ කාර්යය ලෝකය මවා එහි ජීවත්වන සත්ව ප්‍රජාවට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණ ධර්මවලින් සලකන එකයි. එයම අනෙක් අතට ගෙන දෙමාපියන්ට ඒ අයුරින්ම සැලකීමට පුරුදුවන ලෙස දේශනා කරන ලදී. අපගේ ජිවය මව්පිය දෙපළ නම් ඔහුන් පණ යන තුරුම අප සන්තකයේ තබා උත්තම සැලකිල්ල වූ මව්පිය උපස්ථානය සිදු කළ යුතුම වන්නේය. තෙරුවන් සරණයි…!!

 ● කරගම්පිටියේ සිරි සුමන හිමි
 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment