උතුම් බුද්ධ චරිතයෙන් හෙළිවන තාදී ගුණය

2844

ලාභො අලාභො අයසෝ යසෝච නින්දා පසංසා සුඛංච දුක්ඛං”

යන බුද්ධ දේශනාවට අනුව ලොව ජීවත් වන මනුෂ්‍යයාට මෙම අටලෝ දහමට මුහුණදීමට සිදුවීම සාමාන්‍ය ලක්ෂණයකි. එය සියලු කෙලෙසුන් නැසූ බුදුරදුන්ගේ පටන් හැම දෙනාටම පොදුවූවකි. ලෝකෝත්තර තත්ත්වයට පත්වූ උත්තමයෙක්ට වඩා ලෞකික පෘථග්ජන පුද්ගලයන් මෙම කරුණු අට සඳහා මුහුණ දෙනු ලබන්නේ වෙනස්ම ස්වරූපයෙනි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංශා, සැප, දුක යන මෙකී අටලෝදහම ජාති කුල ආදී විවිධ බේදයන්ගෙන් තොරව මුහුණ දීමට සිදුවන අතරම එයට නොසැළී මුහුණ දීම සසර දුකින් එතෙරවීමේ මඟ සලසා ගැනීම නියම බුද්ධ ශ්‍රාවකයන්ගේ ප්‍රධාන පරමාර්ථයයි.

ලොව පහළවූ ආදර්ශමත් ශාස්තෲවරයා වන ගෞතම බුදුරදුන්ගේ චරිතය පුරාම මෙම ‘තාදී’ ගුණය පිළිබිඹු වන අතරම සැබැවින්ම එම අවස්ථා දෙස නුවණින් විමසා බලන කල ඇති වන්නේ බුදුරදුන් තරම් උතුම් ගුරුවරයකු ලොව පහළවී නොමැති බවයි. පන්සාලිස් වසක් පුරාවටම තමන් වහන්සේට ලැබුණු ලාභ, ප්‍රශංසා, යසස, සැප ආදියට කිසි විටෙකත් උදම් නොවූ තථාගතයන් වහන්සේ හැමවිටම කල් ගෙවුනු ලැබුවේ සම සිතිනි. විශේෂයෙන්ම බිම්බිසාර, උදේන ආදී බොහෝ රජවරු හා අනාථ පිණ්ඩිත, ඝෝෂිත, කුක්කුම වැනි විවිධ සිටුවරු මෙන්ම විශාඛා වැනි සිටු දියුණුවරුන්ද සැප පහසුව උපරිම ලෙස ගෙනෙන පරිදි කහවණු කෝටි ගණනක් වියදම් කර ඉදිකරන ලද බොහෝ ආරාම පූජා දෙස බලන කළ බුදුරදුන් කිසිවිටෙකත් උදම් නොවූහ. තමන්ට ලැබුණු ලාභ, ප්‍රසංසා යසස හා සැප ආදිය කොතරම්ද යන්න සිතා ගැනීමට පවා නොහැකි තරම්ය. පෘථග්ජන පුද්ගලයන්ට මේවා ලැබුණුහොත් එයින් අතිශයින් උද්දාමයට පත්වන බව අමුතුවෙන් කිව යුතු වන්නේද නැත. තථාගත බුදුරදුන් ලැබූ කීර්ති ප්‍රශංසා ගුණය දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේදී අජාසත් මහ රජතුමා පෙන්වා දෙන්නේ මේ අයුරිනි.

තං ඛො පන භගවතෝ ඒවං කල්්‍යාණෝ කිත්ති සද්දෝ අබ්භුග්ගතෝ” මෙවැනි ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ වෙනත් ශාස්තෘවරු ගත් කළ බුදුහිමියන්ට සමාජයෙන් ලැබුණු කීර්ති රාවය කෙබඳු ද යන්න මනාව ප්‍රකට වනු ඇත. ලාභ ප්‍රශංසා ආදිය කොතරම් ලැබුණද උන්වහන්සේ කිසි විටෙකත් උදම් නොවූ බව බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුලභ දසුනකි.

‘තාදී’ ගුණාංග අතුරින් අලාභ, නිද්දා, අයස දුක් යන කරුණුද සඳහා කිසිදු අහිතකින් තොරව මුහුණ දුන් තථාගතයන් වහන්සේ හැම විටම උපේක්ෂාවෙන් ක්‍රියා කළහ.

තම ගිහි කල මස්සිනා වූ දෙව්දත් බුදු සසුනෙහි පැවිදිව සිදු කරන ලද බොහෝ අකටයුතුකම් හා නින්දා ආදියට මෙත් සිතින් මුහුණ දුන් මෙම මහා ශාස්තෘවරයාණෝ ඉහත සඳහන් කරුණු හතරට අනුව මෙම කරුණු හතර සඳහා ද මුහුණ දෙනු ලැබුවේ සම සිතිනි.

තමන් වහන්සේට දානය පවා මාරයාගේ බලපෑමෙන් අහිමි කරවූ වස්සාන සමයක් තුළ යව හාලෙන් පිළියෙළ කරන ලද දානය වළඳනු ලැබුවේ සම සිතිනි. වසර 45 ක බුද්ධ ජීවිතය තුළ බුදු හිමියන් මුහුණ දුන් අභියෝග නින්දා අපහාස අනන්තය. එසේම ලාභ කීර්ති ප්‍රශංසා ද එසේමය. එබඳු නොසැල්වෙන ගුණාංගයන්ගෙන් ක්‍රියා කළ මෙතෙක් ලොව පහළ වූ එකම මනුෂ්‍යාද වන්නේ අප ගෞතම බුදුරදුන් බව බුද්ධ චරිතය පරිශීලනය කිරීමෙන් මනාව පැහැදිලි වෙයි. ගිහි පැවිදි හැම දෙනාටම මෙම මහා ශාස්තෘවරයාගේ චරිතයෙන් ලබාදෙන ආදර්ශය ඉතා වැදගත්ය.

සාමාන්‍ය ලෝකයෙහි සියලු දෙනාටම මුහුණදීමට සිදුවන මේ අටලෝ දහමට සම සිතින් මුහුණ දුන් බුදුපියාණෝ ඒ ආදර්ශය ලබාගෙන තම ශ්‍රාවක පිරිසටද තම දිවි මගද ආලෝකය කරා යොමුකර ගැනීමට ලබාදෙන පිටුවහල බෙහෙවින් වැදගත්ය. එම උතුම් ගුණාංගයන් නොමැති නිසා වත්මන් සමාජය කොතරම් දුරට පිරිහී ඇත්ද යන්න කදිමට අවබෝධ කර ගැනීමට එතරම් අපහසු නොවන්නකි.

ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහා පිරිවෙන් ආචාර්ය දර්ශනපති කනංකේ
විජිත නන්ද හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment