උතුරුමැද රෝහල්වල කිරි නවත්වලා මුහුදු මාළු වෙනුවට දෙන්නේ වැව් මාළු සජිත් කියයි

98

උතුරුමැද පළාත්හි රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා කිරි සැපයීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22දා) සඳහන් කළේය.

ඊට අමතරව මුහුදු මාළු වෙනුවට ආදේශකයක් ලෙස වැව් මාළු ලබා දෙන ලෙස එම පළාතේ සෞඛ්‍ය කාර්යාලය තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද හෙතෙම කීය.

රෝගීන්ට කිරි ලබා දීම නැවැත්වූයේ ආණ්ඩුවට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනකු පත් කර ගැනීම සඳහා දැයි ප්‍රශ්න කළ ප්‍රේමදාස මහතා ඇමැතිවරුන් පත් කරනවා වෙනුවට රෝගීන්ට එම පෝෂ්‍යදායී ආහාර ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද කීවේය.

කිරි ලබා දීම අත්හිටුවීම, මුහුදු මාළු ලබා නොදීම පාර්ලිමේන්තු කැන්ටිමටත් අදාළ දැයි විමසූ හෙතෙම එම තත්ත්වය ලැජ්ජා විය යුතු කාරණාවක් බවත් එබැවින් වහාම අදාළ චක්‍රලේඛ අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා කීවේය.

පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රශ්න විමසීම අතරතුර සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment