උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරනු! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදයේදී ඉල්ලයි

238

බ්‍රිතාන්‍යය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවේ එරට පාර්ලිමේන්තුව රැස්වී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය. ද්‍රවිඩයන් සඳහා වූ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායම විසින් ගොනුකර තිබූ මෙම යෝජනාවේ මෙලෙස සඳහන් විය.

“ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරනු”

කොටි ඩයස්පෝරාවට පක්‍ෂපාති බ්‍රිතාන්‍යය මන්ත්‍රීවරු වූ එලියට් කොල්බන්, සාරා මිල්න්, ස්ටීවන් ඩිමොන්ට්, තෙරේසා විලර්ස් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. අගමැති රිෂි සුනෙක්ගේ කොන්සර්වෙටිව් පක්‍ෂයට සම්බන්ධ එලියට් කොල්බන් පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා හමුදාව උතුරු නැගෙනහිරින් නිරායුධකරණය විය යුතු බව පවසනු ලැබීය.

එහෙත් මේ යෝජනාවේ පසුබිමේ සිටියේ බ්‍රිතාන්‍යය කොටි ඩයස්පොරාවයි. එසේ වුවත් ශ්‍රී ලංකාවේ හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත් කළ යුතු බව පැවසීමට මොවුන් කවුරුන්ද?

සර්ව පාක්‍ෂික ද්‍රවිඩ මන්ත්‍රී කණ්ඩායමට අරමුදල් සපයන්නේ බ්‍රිතාන්‍යය කොටි ඩයස්පෝරාවයි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ද අරමුදල් සැපයේ. උතුරු නැගෙනහිරින් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කළ යුතු යැයි පවසන බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායම ඉන්දු කාශ්මීරයෙන් ඉන්දීය හමුදාව ඉවත්කරනු යයි ඉල්ලා නැත. එසේම ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතු යැයි ද එකී මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ රජය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙක් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ එම ඉල්ලීමට අද වනතුරු විරෝධය දක්වා නැත.

මෙරට කොටි ත්‍රස්තවාදය සඳහා වසර ගණනාවක් තිස්සේ අරමුදල් සැපයුවේ බ්‍රිතාන්‍යය කොටි ඩයස්පෝරාවයි. එසේම බ්‍රිතාන්‍ය රජය මරාගෙන මැරෙන කොටින්ට දේශපාලන රැකවරණ දුන්නේය. ඊට හොඳම නිදසුන ඇඩෙලා බාලසිංහම්ය. මේ හැර කළු කොටි රැසක් බ්‍රිතාන්‍යයේ සිටිති. බෝම්බකරුවෝ ද ඔවුන් අතර වේ. මෙයට කලකට පෙර මඩකලපුව හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත විය. ඔහුගේ පියා කොටි විසින් ඝාතනය කර තිබිණි. තම පියාගේ ඝාතකයාට බ්‍රිතාන්‍යය රජය දේශපාලන රැකවරණ දීම ගැන අරුන් මවිතයට පත්විය. ශ්‍රී ලංකාවට පැමිණි අරුන් මේ බව ප්‍රසිද්ධියේ හෙළි කළේය. ඔහු ශ්‍රී ලංකා පොලිසියට ද මේ බව පැවසීය. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය ඒ ගැන තැකීමක් කළේ නැත. මින් තහවුරු වන්නේ බ්‍රිතාන්‍යය රජය මිනිමරුවන්ට ආධාර කිරීමයි. පසුගිය වසරේදී නේස්බි සාමිගේ සමුළුවකට මා ලන්ඩන් නුවරට පැමිණියෙමි. එහිදී හමුවූ නේස්බි සාමිවරයා පැවසුවේ කොටි අපරාධකරුවන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යයේ සිටින බවයි. එහෙත් මෙරට බ්‍රිතාන්‍ය තානාපතිනි සාරා එම අපරාධකරුවන් පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැත. මේ හැර කොටි සංවිධානයට අවි ආයුධ ලබාගැනීමට අරමුදල් එකතු කළ රෙජි ද ලන්ඩන් නුවර පදිංචිව සිටී. ඊළම් පොලිසියේ ත්‍රස්තයන් රැසක් සිටින්නේ ද බ්‍රිතාන්‍යයේයි. මේ ක්‍රියාදාමය බ්‍රිතාන්‍යයේ දෙබිඩි පිළිවෙත තහවුරු වීමකි. බ්‍රිතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් වුවත් මේ වසර පැවැත්වෙන කොටි මහා විරු සමරුව හෙවත් මියගිය කොටි සැමරීමේ උත්සවයට පොලිසිය අවසර දී තිබේ. මේ අයුරින් සීක් කාලිස්ථාන් ත්‍රස්තයන් සහ අල්කයිදා සහ තාලිබාන් ත්‍රස්තයන් සැමරීමට බ්‍රිතාන්‍ය රජය අවසර දෙන්නේ නැත.

මෙවන් පසුබිමක් මැද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට මැදිහත් විය හැකිද? බ්‍රිතාන්‍යය රජය ත්‍රස්ත මර්දන පනතක් සම්මත කර ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන පනතට එරෙහි වී ඇත. බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් ඉරාකයේ යුද අපරාධ කර ඇතත් එම අපරාධ වසන් වී තිබේ.

එහෙත් ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ නිලධාරීන්ව බ්‍රිතාන්‍යය හඳුන්වන්නේ යුද අපරාධකරුවන් ලෙසිනි.

මේ දක්වාම ඉරාකයේ යුද අපරාධ සිදු කළ කිසිදු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකුට එරෙහිව යුද අපරාධ චෝදනා හෝ ඔවුන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන ජිනීවා යෝජනාවක් ඉදිරිපත් වී නැත.

පසුගිය සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ 46/1 ජිනීවා යෝජනාවෙන් මෙරට හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර නීතිය යටතේ දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් සම්මත විය.

මේ යෝජනාව ගෙන ආවේ බ්‍රිතාන්‍යයි. මෙයට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඇති බ්‍රිතාන්‍ය තීරණය මෙලෙස දැක්විය හැකිය.

  1. හමුදාව ප්‍රතිසංස්කරණය කරනු
  2. ශ්‍රී ලංකා පොලිසියට ලබාදුන් ස්කොට් පොලිස් පුහුණුව නතර කිරීම
  3. බ්‍රිතාන්‍ය කෙන්ට් හමුදා පුහුණුව ශ්‍රී ලංකා හමුදාවට ලබාදීම ගැන විමර්ශනය කිරීම
  4. ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් වීම
  5. පැමිණිය හොත් අත්අඩංගුවට ගැනීම
  6. ශ්‍රී ලංකා හමුදා උපදේශකවරයකුට එරෙහිව නඩු පැවරීම

මෙවන් පසුබිමක් මැද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ බරපතළ ආර්ථික අර්බුදයට මූලික හේතුව ආරක්‍ෂක හමුදාව බවට ද චෝදනා නගා ඇත. 2022 වසරට වඩා 2023 ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක වැය වැඩි කර ඇතැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තවදුරටත් හෙළිකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment