උතුරු මුහුදේ ධීවර සම්පත් කොල්ලයට තිත තබමු

390

ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති සහ සුළු පරිමාණ ධීවරයින් සඳහා වන ශ‍්‍රී ලාංකේය එකමුතුවේ (Sri Lanka Forum for Small Scale Fisheries) හි සභාපති, මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා විසින් රචිත “Caught between the Devil and the Troubled Waters ( Bizarre story of fishers hit by the Xpress
Pearl Ship Disaster) ලිපියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

අතීතයේදී ශ‍්‍රී ලාංකේය සහ ඉන්දීය ධීවර ජනතාව

‘‘ඓතිහාසික ජලය’’ (Historic Waters) ලෙසින් හඳුන්වන පෝක් සමුද්‍ර සන්ධිය ආශ‍්‍රිත මෙම මුහුදු ප‍්‍රදේශය සහයෝගයෙන් බෙදාහදා ගනිමින්, එහි ධීවර කටයුතුවල නිරත වීමට පුරුදුව සිටියහ. කෙසේ වෙතත්, පශ්චාත් යුද සමය තුළ ධීවර කර්මාන්තයේ සිදුවූ විප්ලවීය වෙනස්කම්, වෙළෙඳපොළ පුළුල් වීම් සහ පෝක් සමුද්‍ර සන්ධිය ආශ‍්‍රිත මුහුදු කලාපය වෙන් කෙරුනු දේශසීමා ස්ථාපිත කිරීම් යනාදිය ධීවර කර්මාන්තයට, විශේෂයෙන්ම ධීවර කටයුතු සඳහා යොදා ගන්නා තාක්ෂණය (යාත‍්‍රා-ආම්පන්න සංයෝජනය), ඉලක්කගත මත්ස්‍ය විශේෂ, යොදන බලය සහ මෙහෙයුම් ප‍්‍රදේශ යනාදිය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. මෙම වකවානුවේදී ඉන්දීය ධීවරයන් විශාල ලෙස ට්‍රෝලර් යාත‍්‍රා භාවිතයෙන් මසුන් ඇල්ලීමට පටන් ගත් අතර, එහි ප‍්‍රතිඵලය වූයේ, පෝක් බොක්කෙහි ඉන්දියානු පැත්තේ ධීවර සම්පත් බරපතළ ලෙස ක්ෂය වීමයි. ඉන්දීය ධීවරයන් සිය ට්‍රෝලර් යාත‍්‍රා අන්තර්ජාතික සමුද්‍රීය මායිම් සීමා උල්ලංඝනය කරමින් ශ‍්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීම සඳහා මෙහෙයවනු ලබන්නේ මින් අනතුරුව යි.

උතුරු ශ‍්‍රී ලංකාවේ ධීවරයන් 37,000 කට වැඩි ප‍්‍රමාණයක් ධීවර කටයුතුවල නියැළෙන අතර, ඒ සඳහා ධීවර යාත‍්‍රා (බෝට්ටු) 11,650 කට අධික සංඛ්‍යාවක් භාවිතා වේ. ඉන් බහුතරය අඩි 18 ක දිගින් යුත් අශ්වබල 8 සිට 25 අතර බලයක් සහිත පිටත සවි කරන ලද එංජිමකින් ප‍්‍රචාලනය වන එෆ්.ආර්.පී. (FRP) බෝට්ටු ය. පසු අස්වනු අංශයේ සේවා නියුක්තිකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ද ඇතුළුව උතුරු පළාතේ 200,000 ක් පමණ පිරිසක් ධීවර කර්මාන්තය මත යැපෙති. අඩි 30-60 දිගින් යුත්, අශ්වබල 70 සිට 190 අතර බලයක් සහිත ඇතුළත සවි කරන ලද එන්ජිමකින් ප‍්‍රචාලනය වන ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සමඟ තරග කිරීමට ඔවුනට හැකියාවක් නොමැති අතර, එම ට්‍රෝලර් යාත‍්‍රා ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් සීමාවන් (1974 සහ 1976 දී පිහිටුවන ලද) උල්ලංඝනය කරමින් පෝක් සමුද්‍ර සන්ධියෙහි ශ‍්‍රී ලංකාවට අයත් ප‍්‍රදේශයේ මසුන් ඇල්ලීමෙහි නිරත වනුයේ ශ‍්‍රී ලාංකේය ධීවරයන්ට අයත් ධීවර සම්පත් අමු අමුවේ කොල්ල කමිනි. දශක තුනක් තිස්සේ පැවැති සිවිල් යුද්ධය හේතුවෙන් උතුරේ ශ‍්‍රී ලාංකේය ධීවරයන්ට ධීවර කර්මාන්තයේ නියැළීමට අවස්ථා සීමිත වූ තත්ත්වයක් තුළ මෙම සම්පත් කොල්ල කෑමේ ක‍්‍රියාවලිය ආරම්භ වුවද, අද මෙම ප‍්‍රශ්නය රටේ වැදගත්ම ආර්ථික හා දේශපාලන ගැටලූවක් බවට පත්ව ඇත්තේ, 2009 වසරෙන් පසු යුද ගිනි දැල් නිවී ගිය රටක උතුරේ ශ‍්‍රී ලාංකේය ධීවරයන් සිය ජීවනෝපාය යළිත් ආරම්භ කර ඇති හෙයිනි.

උතුරු මුහුදේ සම්පත් මංකොල්ලකරුවෝ

ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සතියකට දින 3ක්, රාත‍්‍රියේ පැමිණ ශ‍්‍රී ලංකාවට අයත් ධීවර සම්පත් විශාල ප‍්‍රමාණයක් කොල්ල කනු ලබනුයේ, ධීවරයන්ගේ දැල් වලට හානි කිරීම මඟින් විශාල මූල්‍ය අලාභහානියක් ද සිදු කරමිනි. ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා මඟහරිනු වස් උතුරේ වෙසෙන ධීවරයන් බොහෝ විට මසුන් ඇල්ලීම සඳහා මුහුදට යෑම පසෙක ලා නිවසේ රැුඳී සිටීමට යොමු වී ඇත්තේ ඵලදායී ලෙස ධීවර කටයුතුවල නිරත විය හැකි කාලය අහිමි කර ගනිමිනි. මේ හේතුව නිසා ධීවර ජනතාවට සිදුව ඇත්තේ අඩු ලාභදායී, වෙරළාශ‍්‍රිතව සිදු කළ හැකි ධීවර මෙහෙයුම්වලට සීමා වීමටයි. වෙනත් විකල්පයක් නොමැති තැන, සිය අඹු දරුවන් පෝෂණය කිරීම පිණිස හැඹිලි දැල්, ඩයිනමයිට් භාවිතය වැනි විනාශකාරී මසුන් ඇල්ලීමේ ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමට ඔවුන් පෙළඹී ඇත්තේද මෙම හේතුව නිසාවෙනි. උතුරේ ධීවර ප‍්‍රජාවගේ දායක මුදල් හා සම්මාදම් වලින් පවත්වාගෙන යන ලද සමාජ ආයතන, විශේෂයෙන් ධීවර සමූපකාර සමිති දුර්වල වීමට මෙසේ ධීවර ආදායම දිගුකාලීනව පහත වැටීම ඍජුවම බලපා ඇත. ධීවර සමූපකාර සමිති දුර්වල වීම, ධීවර කළමනාකරණ ක‍්‍රියාවලිය කෙරෙහි ධීවර ප‍්‍රජාවගේ සහභාගිත්වය අඩපණ කිරීමට හේතු වී ඇත. එපමණක් නොව, යුද වාතාවරණය හේතුවෙන් ධීවර කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ කඩාකප්පල් වීම නිසා උතුරේ වෙසෙන ධීවර ජනතාවට ඉදිරි ධීවර කටයුතු සැලසුම් කිරීම දුෂ්කර කාර්යක් බවට පත්ව ඇති අතර, බොහෝ දෙනා ක‍්‍රමක‍්‍රමයෙන් ධීවර අංශයෙන් ඈත්වී වෙනත් දෛනික වේතන ලබන රැුකියාවන් වෙත යොමු වීමට පටන් ගෙන ඇත.

මුල් අවධියේ දී, ශ‍්‍රී ලංකාවට අයත් මත්ස්‍ය සම්පත් දඩයම් කිරීමට පැමිණි ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා අත්අඩංගුවට ගනු ලැබුවේ ආරක්ෂක හේතූන් මත ය. මන්ද, යුද්ධයක යෙදී සිටි ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ධීවර ගැටලූ කෙරෙහි එතරම් උනන්දුවක් හෝ අවබෝධයක් නොතිබූ බැවිනි. එහෙත් යුද්ධය නතර වූ දා සිට නාවික හමුදාව සමුද්‍රීය සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා අත්අඩංගුවට ගැනීමට පටන් ගත්හ. එම අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලැබූයේ 1979 අංක 59 දරන විදේශ ධීවර බෝට්ටු රෙගුලාසි පනත, 1948 අංක 20 දරන ආගමන හා විගමන පනත සහ, 1978 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. ඉන්දීය ට්‍රෝලර් ආක‍්‍රමණ වැළැක්වීම සඳහා සිදු කෙරුනු මෙම අත්අඩංගුවට ගැනීම්වල බලපෑම උදාසීන වූයේ ඉන්දියාවට අයත් සාගර කලාපයට ඇතුල් වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා බහුදින ධීවර යාත‍්‍රිකයන්ද අත්අඩංගුවට පත්ව ඉන්දීය බන්ධනාගාරවල රඳවා සිටීම හේතුවෙනි. එම නිසා බොහෝ විට සිදු වූයේ දෙරටේ තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් ඉන්දියාවේ රඳවා සිටින ශ‍්‍රී ලාංකික ධීවරයන්ගේ නිදහස වෙනුවෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව අතින් අත්අඩංගුවට පත්ව රඳවාගෙන සිටි ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා සහ ධීවරයන් නිදහස් කරනු ලැබීමයි.

මුල්කාලීන මැදිහත්වීම්

තවත් වැදගත් වර්ධනයක් වූයේ 2005 දී දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතාව සවිබල ගැන්වීමේ අරමුණින් 2016 නොවැම්බර් මාසයේ පවත්වන ලද ඉන්දු ශ‍්‍රී ලංකා අමාත්‍ය සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ ක‍්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීම යි. එය සෑම මාස තුනකට වරක් රැස්වීමටත්, සෑම මාස හයකට වරක් දෙරටේ ධීවර අතර හමුවක් පැවැත්වීමටත් එහිදී තීරණය කරන ලදී. මෙම ක‍්‍රියාකාරී කමිටුවේ රාජකාරි අතර, ට්‍රෝලර් යාත‍්‍රා මඟින් සිදු කරනු ලබන මුහුදු පත්ල පීරා මසුන් ඇල්ලීම හෙවත් ට්‍රෝලිං ක‍්‍රියාකාරකම් අවසන් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනම් කිරීම, අත්අඩංගුවට පත් ධීවරයන් මුදාහැරීම සඳහා සම්මත මෙහෙයුම් ක‍්‍රියා පටිපාටියක් Standard Operating Procedures (SOPs) සකස් කිරීම සහ දෙරටේ සේවා මුර සංචාර වල සහයෝගිතාව තහවුරු කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම යනාදිය ඇතුළත් විණි. රජයන් දෙකෙහි එකඟතාවය අනුව, දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්ෂක බළකායන් අතර පහසු සහ ශීඝ‍්‍ර ලෙස සන්නිවේදනය කිරීම සඳහා හදිසි ඇමතුම් අංකයක් පිහිටුවීමට ද තීරණය විය. ධීවර සංගම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්ෂක බළකායන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා ධීවරයන්ට කිසිදු ප‍්‍රචණ්ඩත්වයක් හෝ ජීවිත හානියක් සිදු නොවිය යුතු බවට එකඟතාවයකට පැමිණීමටද මේ යටතේ හැකි විය. එසේම, මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට සහ ඉදිරි ක‍්‍රියාකාරකම් සැලසුම් කිරීමට දෙරටේ ධීවර සංගම් නියෝජිතයන් අතර මාස හයකට වරක් සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කෙරිණි. එහෙත් අවාසනාවකට මෙන් ද්විපාර්ශ්වික අමාත්‍ය සාකච්ඡුාවලදී ගනු ලැබූ මෙවැනි බොහෝ තීරණ, අර්බුදයට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් අනුගමනය නොකෙරිණි.

ඉදිරි පියවර

අන්තර්ජාතික සමුද්‍රීය මායිම් සීමාව උල්ලංඝනය කරන ට්‍රෝලර් යාත‍්‍රා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාව ගත් තීරණය, විශේෂයෙන්ම 2013 වසරෙන් පසු කාල සීමාව තුළ තමිල්නාඩුව වෙත සැලකිය යුතු මට්ටමක පීඩනයක් එල්ල කළේය. එනමුත් පසුගිය වසර දෙක තුළ අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ ඉතා අල්ප වශයෙනි (2017 දී නීති විරෝධී ලෙස ලාංකේය මුහුදු සීමාවට පැමිණි ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා 71ක් අත්අඩංගුවට ගෙන තිබූ නමුත් 2020 වසර තුළ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ට්‍රෝලර් යාත‍්‍රා 9ක් පමණි). ඒ, අත්අඩංගුවට ගැනීම් හරහා කොවිඞ් වෛරසය පැතිරෙනු ඇතැයි තිබූ බිය නිසා විය හැකිය. වර්තමාන අර්බුදය නිරාකරණය කිරීම උදෙසා නීති විරෝධී යාත‍්‍රා මෙරට මුහුදු කලාපයට ඇතුල් වීම වැළැක්වීම අතිශය වැදගත් බව ප‍්‍රත්‍යක්ෂ කරුණකි. ඒ සඳහා, අනවසර විදේශීය යාත‍්‍රා අත්අඩංගුවට ගැනීමට හා යාත‍්‍රා හිමියන්ගෙන් රුපියල් මිලියන 4-15 දක්වා වන අති විශාල දඩ මුදල් අය කර ගැනීමට නීතිමය ප‍්‍රතිපාදන සපයන 2018 අංක 01 දරන විදේශ ධීවර බෝට්ටු රෙගුලාසි (සංශෝධිත) පනත් කෙටුම්පත දැඩිව ක‍්‍රියාත්මක විය යුතුය. එසේම, 2017 අංක 11 දරන ට්‍රෝලර් තහනම් කිරීමේ පනත ද ක‍්‍රියාත්මක විය යුතුය.

මෙම ලිපියේ පෙර සඳහන් කළ පරිදි, ආරම්භයේදී අතිශය සාර්ථක ලෙස පිළිගැණුනු 2010 වර්ෂයේ චෙන්නායි හිදී පවත්වන ලද ධීවර – ධීවර සාකච්ඡුා අසාර්ථක වීමට තුඩු දුන්නේ එම සාකච්ඡුා ක‍්‍රියාවලිය පසු විපරමකට භාජනය නොවීමයි. එසේම, අර්බුදය විසඳීම උදෙසා වූ සාධනීය වෙනස්කම් වලට පවා හේතු වූ 2016 නොවැම්බර් මාසයේ පැවති අමාත්‍ය මට්ටමේ සාකච්ඡා වලටද පසු විපරමක් සිදු නොවීම කනගාටුවට කරුණකි. එහෙයින්, රජයන්ගේ හෝ පාලනාධිකාරීන්ගේ වෙනස්වීම් නොසලකා එම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සාධනීය තීරණ ක‍්‍රියාවට නැංවීමත්, ලද ප‍්‍රතිලාභ ධීවර ජනතාව වෙත අත්කර දීමත් ඉක්මන් අවශ්‍යතාවක්ව පවතී.

නීති විරෝධී ට්‍රෝලර් යාත‍්‍රා අර්බුදයට තිත තැබීම සඳහා වන ස්ථිරසාර විසඳුමක් වෙනුවෙන් දෙරට අතර සම්මුතියක් ගොඩනැංවීමට නම් එකී සැලැස්ම සඳහා වර්තමාන ප‍්‍රවණතා, විශේෂයෙන්ම දෙරටේ දේශපාලනික වෙනස්වීම් සහ කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ. 2016 අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවලදී එකඟ වූ කරුණු සම්බන්ධව ආපසු හැරීමක් සිදු නොවිය යුතු අතර, සමුද්‍ර සීමා උල්ලංඝනය කොට මසුන් ඇල්ලීම සඳහා බලපත‍්‍ර ලබා දීම සම්බන්ධයෙන් වන ඉල්ලීම් සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කළ යුතුය.

පරිවර්තනය:
කෞමි පියසිරි

උතුරු මුහුදේ ධීවර සම්පත් කොල්ලයට තිත තබමු
advertistmentadvertistment
advertistmentadvertistment